කොවිඩ් වසංගතය යළිත් වරක් රට තුළ සීඝ්‍රයෙන් පැතිර යාම වළක්වා ගැනීම සදහා පුරවැසි වගකීමක් ලෙස තෙවැනි මාත්‍රාව ලබා ගැනීමට ජනතාව යොමු කළයුතු බව ජනමාධ්‍ය අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා පවසයි. කැබිනට් තීරණ දැනුම් දීම සදහා කොළඹදී අද පැවති ප්‍රවෘත්ති සාකච්ජාවේදී ඇමතිවරයා මේ බව කියා සිටියේය.

කොරෝනා වෛරසයේ නවතම ඔමික්‍රොන් ප්‍රභේදය රට තුළ සීඝ්‍රයෙන් පැතිර යමින් පවතී. ඊයේ දිනයේ ආසාදිතයන්ගේ සංඛ්‍යාව දහසකට ආසන්න බැව් වාර්තා විය. රෝගය මෙලෙස යළි හිස එසවීමට ප්‍රධානතම හේතුව තෙවැනි එන්නත ලබා ගැනීමට සමාජයේ ඇති මැලිකම විය හැකි බැව් ඩලස් අලහප්පෙරුම මහතා පවසයි. යම් යම් පුද්ගලයින් විසින් සිතා මතා ගෙන යනු ලබන අසත්‍ය ප්‍රචාර සහ මිථ්‍යා මත පදනම් කර ගනිමින් තෙවෙනි එන්නත ලබා ගැනීමට ජනතාව උන්නදු නොවන බවක් පෙනෙන්නට තිබේ. නැවත වතාවක් සමාජ-ආර්ථික ව්‍යසනයකට රට යොමු නොකොට පුරවැසි වගකීම් ඉටු කිරීමට ජනතාව ක්‍රියා කළ යුතු බව ඇමතිවරයා අවධාරණය කරයි.

පළමු සහ දෙවන එන්නත ලබාදීමේදී බාල එන්නත්, චීන එන්නත් යනුවෙන් සංවාදයක් පැවතිණ. එම එන්නත් වෙනුවට ෆයිසර් එන්නත ලබාදිය යුතු බවට ද හඩක් නැගිණ. උසස් කුලයේ එන්නත් සහ පහත් කුලයේ එන්නත් ලෙස වැඩවසම් යුගයේ ප්‍රාථමික ලක්ෂණ ඒ තුළ මතු විය. නමුත් රටේ වාසනාවකට අතිගරු ජනාධිපතිතුමා ලබාදුන් ධෛර්‍ය සම්පන්න නායකත්වය හේතුවෙන් සියයට 98 ක පමන පිරිසකට පළමු එන්නත ලබාදීමට හැකිවිය. දෙවන එන්නත ද ඒ හා සමාන ප්‍රතිශතයකට ලබා දුන්නේය. එවකට එන්නත්කරණය කිසියම් වරප්‍රසාදයක් ලෙසින් ඇතැම්හු සැළකූහ. නමුත් දැන් කිසිදු ප්‍රමාදයකින් තොරව ඕනෑම අයෙකුට එන්නත ලබා ගැනීමේ හැකියාව පවතී. නිරෝගීභාවය ආරක්ෂා කරගැනීමට නම් තුන්වැනි එන්නත නොපමාව ලබා ගන්නැයි ජනමාධ්‍ය ඇමතිවරයා ජනතාවගෙන් ඉල්ලීමක් කරයි. අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා ද මේ අවස්ථාවට එක්විය.