අර්බුදකාරී අවස්ථාවක රට වෙනුවෙන් වැඩිම කැපකිරීම් කළ යුත්තේ ප්‍රතිපත්ති සම්පාදකයින් බව ජනමාධ්‍ය අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා පවසයි. කැබිනට් තීරණ දැනුම්දීම සඳහා කොළඹදී ඊයේ (25) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවේ දී විදුලි අර්බුදය පිළිබඳව මාධ්‍යවේදීයෙකු නැඟූ ප්‍රශ්ණයකට පිළිතුරු දෙමින් ඇමතිවරයා මේ බව කියා සිටියේ ය.

විදුලිය කප්පාදුවක් පිළිබඳව ඊයේ දිනයේ පළවූ මාධ්‍ය වාර්තා පිළිබඳව අදහස් දැක්වූ ඇමතිවරයා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ඊයේ දවස තුළ සාකච්ඡා මේසයේ දී ගනු ලැබූ තීන්දු සහ කැබිනට් මණ්ඩලයේ දී සාකච්ඡාවලින් අනතුරුව ගන්නා ලද තීන්දු ප්‍රකාරව විදුලි කප්පාදුවක් තවදුරටත් සිදු නොවිය යුතු බව ජනාධිපතිතුමා අවධාරණය කොට ඇත.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා මෙසේ පැවසීය.

“මේ පිළිබඳව අපේ පැත්තෙනුත් යම් යම් කැපකිරීම් කළ යුතුයි. උදාහරණ වශයෙන් අපිට පුළුවන් නම් වොට්ස් 25 ක බල්බ් එකක් පීක් අවර්ස් වල - ඒ කියන්නේ සවස 6 ඉදල රාත්‍රී 10 දක්වා නිවල තියන්න පුළුවන් නම් ඒ පැය පහ තුළ අපට මෙගාවොට්ස් 140 ක් ඉතිරි කරගන්න පුළුවන්. ඒ කියන්නේ විශාල විදුලි බලාගාරයක් නිර්මාණය කරගත්තා වගේ තමයි පැය පහක් අපි හැමෝම පීක් අවර්ස්වල වොට්ස් 25 ක බල්බ් එකක් නිවල තියනවා කියන්නේ. නමුත් අපි ඒක විතරක් කරල මදි. පුරවැසියන්ගේ පැත්තෙන් විතරක් ඒ කැප කිරීම කරල මදි. ප්‍රතිපත්ති සම්පාදකයන් විදිහට මේ මොහොතේ අපි තමයි වැඩිම කැප කිරීම කරන්නට ඕනේ. ඇමතිවරු, මන්ත්‍රීවරු ඇතුළු ජනතා නියෝජිතයන් ප්‍රතිපත්ති සම්පාදකයන් විදිහට ඒ කැප කිරීම කරල පෙන්වන්න ඕනේ. විදුලිය අරපිරිමැස්මෙන් පාවිච්චි කිරීම එතෙන්දි අතිශයින්ම වැදගත්. සමහර රජයේ කාර්යාලවල වායු සමීකරණය සෙල්සියස් 18 ට 19 ට අඩු කරලා තියෙනවා. බලශක්ති විශේෂඥයන් කියන්නේ සාමාන්‍යයෙන් වායු සමීකරණය 26 ට තිබ්බහම ඇති කියලා. මොකද අපි අයිස්ලන්තයේ ජීවත්වන අයි නෙවෙයිනේ”.