ඉන්ධන හිගය හමුවේ ආර්ථිකය සහ ජනජීවිතය අඩාල නොවී පවත්වාගෙන යාම අරමුණු කර අද සිට පොදු ප්‍රවාහන සැලැස්මක් ක්‍රියාවට නංවන බව ඇමති බන්දුල ගුණවර්ධන මහතා කියයි.

මගින් වැඩි සංඛ්‍යාවක් තම ප්‍රවාහන අවශ්‍යතා සපුරා ගැනීමට දුම්රිය භාවිතා කරන බැවින් නව සැලැස්ම යටතේ දුම්රිය ගමන්වාර කිහිපයක් අලුතින් ආරම්භ කෙරේ. ඒ යටතේ කොළඹ සිට මහනුවර දක්වා සුඛෝපභෝගී දුම්රියක් අද සිට ධාවනයට එක්කෙරෙනු ඇත. කැළණිවැලි දුම්රිය මාර්ගයේ ද වග දුම්රිය ස්ථානයේ සිට කොළඹ කොටුව දක්වා නව කාර්යාලයීය දුම්රියක් අද සිට ධාවනයට එක්කර තිබේ. ගල්කිස්සේ සිට යාපනය දක්වා සතිඅන්ත දුම්රියක් ධාවනයට විධිවිධාන යොදා ඇත. එය ලබන සිකුරාදා සිට ක්‍රියාත්මකයි. අත්හදා බැලීමක් ලෙස ආරම්භ කළ කොළඹ අනුරාධපුර සිග්‍රගාමී දුම්රිය ස්ථාවර දුම්රියක් බවට පත් කෙරේ.

නව සැලැස්ම යටතේ පාසල් බස් රථ සේවා පුළුල් කරන බවද ප්‍රවාහන ඇමතිවරයා කියයි. ඒ අනුව නව පාසල් බස්රථ සේවා 20 ක් අද සිට ක්‍රියාත්මකයි. මසක් තුළ එම බස් රථ සංඛයාව 50 දක්වා ඉහළ නැංවීම ඉලක්කයයි.

පාර්ක් ඇන්ඩ් රයිඩ් සේවාවද අද සිට යළි ක්‍රියත්මකයි.  මාකුඹුර, කඩවත, කටුබැද්ද සිට කොටුව දක්වා එම බස්රථ ධාවනය කෙරේ. පෙරවරු 06.30 සිට පෙරවරු 08.00 දක්වා සෑම විනාඩි 10 කට වරක් බස් සේවා ක්‍රියාත්මකයි. පස්වරු 04.00 සිට පස්වරු 06.00 දක්වා විනාඩි 15 කට වරක් එම බස්රථ කොළඹ කොටුව සිට මාකුඹුර, කඩවත සහ කටුබැද්ද දක්වා ධාවනය කෙරේ.