- ලෝකයේ දක්ෂයන් අතර දක්ෂයකු වීම පිළිබඳ ආඩම්බර වෙනවා
- වසර 24ක මලල ක්‍රීඩා පදක්කම් පිපාසය යුපුන් සංසිඳවයි

ලෝකයේ දක්ෂයන් අතර දක්ෂයකු වීමට ලැබීම සතුටක් බව කෙටිදුර ධාවන ශූර යුපුන් අබේකෝන් පවසයි. බර්මින්හැම්හී ඇලෙක්සැන්ඩර් ක්‍රීඩාංගණයේ ඊයේ අලුයම් කාලයේ පැවති මීටර් 100 අවසන් තරගයේ ලෝකඩ පදක්කම තත්පර 10.14කින් දිනාගත් යුපුන් අබේකෝන් එදා මෙදාතුර වසර 92ක පොදු රාජ්‍ය මණ්ඩල ක්‍රීඩා උලෙළ ඉතිහාසයේ මීටර් 100 ඉසව්වෙන් පදක්කමක් දිනාගත් පළමු ශ්‍රී ලාංකික ක්‍රීඩකයා බවට පත් විය.

පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උලෙළේ වේගවත්ම මිනිසා බවට පත් වෙමින් කෙන්යාවේ ඔමන්යාලා ෆර්ඩිනැන්ඩ් තත්පර 10.02කින් රන් පදක්කම දිනාගත් අතර, දකුණු අප්‍රිකාවේ සදිම්බිනී අකානී තත්පර 10.13කින් රිදී පදක්කම දිනා ගත්තේය.

එමෙන්ම පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උලෙළකදී වසර 24කට පසු ශ්‍රී ලංකාවට මලල ක්‍රීඩා පදක්කමක් දිනාදීමට යුපුන් අබේකෝන් සමත් වීම ද විශේෂත්වයකි. අවසන් වරට මලල ක්‍රීඩාවෙන් පොදු රාජ්‍ය මණ්ඩලීය පදක්කමක් ශ්‍රී ලංකාව දිනා ඇත්තේ 1998 ක්වාලාලාම්පූර් ක්‍රීඩා උලෙළේදී ශ්‍රියානි කුලවංශ මීටර් 110 කඩුලු මතින් දිවීමේ රිදී පදක්කම හා සුගත් තිලකරත්න මීටර් 400න් ලෝකඩ පදක්කම පමණි. එතැන් සිට මලල ක්‍රීඩාවෙන් ශ්‍රී ලංකාවට තිබූ පදක්කම් පිපාසය යුපුන් අබේකෝන් නිමා කළේය. පොදු රාජ්‍ය මණ්ඩලීය පළමු පදක්කම ශ්‍රී ලංකාවට ගෙන ආවේ 1950දී ඩන්කන් වයිට්ය. ඒ යාර 440 කඩුලු ඉසව්වෙන් නවසීලන්තයේදීය.

ලෝකඩ පදක්කම දිනා ගැනීමෙන් අනතුරුව මාධ්‍ය ඇමැතූ යුපුන් අබේකෝන් පැවසුවේ “මම මේ ක්‍රීඩා උලෙළට ආවේ අවසන් මහා තරගයට සුදුසුකම් ලබන්නයි. ඒ දේ මා පළමුව ඉටු කළා. කිසිම පීඩනයක් නැතිව මට දුවන්න කියා මගේ පුහුණුකරු මට උපදෙස් දුන්නා. ඔහු කිව්වේ පදක්කමක් සමඟ තරග අවසානයක් මට කරන්න පුළුවන් කියලයි. මේ වගේ තත්ත්වයකින් මෙවැනි තරගයක් නිමා කිරීමට ලැබීම සතුටක්. මගේ මීළඟ ඉලක්කය පියවරෙන් පියවර ගොඩනැඟීම අපේක්ෂාවයි” යුපුන් අබේකෝන් පැවසීය.

යුපුන් මේ ක්‍රීඩා උලෙළේ අවසන් පූර්ව තරගය තත්පර 10.20කින් නිමා කොට අවසන් මහා තරගයට පිවිසියේය. එම අවසන් පූර්ව වටයේදී ක්‍රීඩකයන් 27කින් 8 වැනියා බවට පත් විය. පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උලෙළක පිරිමි මීටර් 100 අවසන් මහා තරගයට සුදුසුකම් ලැබූ පළමු ශ්‍රී ලාංකිකයා ලෙස එහිදී යුපුන් ඉතිහාසයට එක් විය. මෙහි මූලික වටයේ තරගයට එක් වූ යුපුන් අබේකෝන් තත්පර 10.06කින් තරගය නිම කොට අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගත්තේය.