පස් අවුරුදු සැලැස්මක් යටතේ ආර්ථිකය ශක්තිමත් කිරිමට මෙවර අයවැය මගින් පියවර තැබූ බව, ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.

අද වව්නියාව නගර ශාලාවේදී පැවැති දිස්ත්‍රික් සංවර්ධන ප්‍රගති සමාලෝචන රැස්වීමේදී ජනාධිපතිවරයා මේ අදහස් පළකළා. 2023 වසරේ සිට 2027 වසර දක්වා ආර්ථිකයේ පරිවර්තනීය වෙනසක් ඇති කිරීමට මෙවර අයවැය මගින් හැකියාවක් පවතින බවයි, ජනාධිපතිතුමා සඳහන් කරන්නේ.  වව්නියාව දිස්ත්‍රික්කයේ ආහාර සුරක්ෂිතතා වැඩසටහනේ ප්‍රගතිය පිළිබඳව ද ප්‍රාදේශීය ලේකම්වරුන්ගෙන් ජනාධිපතිතුමා මෙහිදී විමසා සිටියා. ප්‍රගති සමාලෝචන රැස්වීම සඳහා අමාත්‍යවරුන්, රාජ්‍ය අමාත්‍යවරුන්, දිස්ත්‍රික් ලේකම්වරුන් ඇතුළු රාජ්‍ය නිලධාරීන් පිරිසක් එක්ව සිටියා.

වව්නියාව දිස්ත්‍රික් සංවර්ධන කමිටු රැස්වීම දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී අද පැවැත්වුණේ ද ජනාධිපතිතුමාගේ සහභාගීත්වයෙන්. උතුරු පළාතේ වව්නියාව, මන්නාරම සහ මුලතිව් යන දිස්ත්‍රික්ක තුන ආවරණය වන පරිදි මෙම සංවර්ධන කමිටු රැස්වීම පැවැත්වුණා.  ඉඩම් ගැටලු නිරාකරණය කිරීමට පළාත් මට්ටමින් කමිටු 8ක් පත් කිරීමට කටයුතු කරන බව, ජනාධිපතිතුමා මෙහිදී සඳහන් කළා. ඒ අනුව උතුරේ සහ දකුණේ සියලු ඉඩම් ගැටලු නිරාකරණය කිරීමට හැකිවනු ඇති බවද ජනාධිපතිතුමා පෙන්වා දුන්නා.  

පළාතේ ඉඩම් නිවාස, සෞඛ්‍ය, වාරිමාර්ග සහ කෘෂිකර්ම යන ක්ෂේත්‍රයන්හි මතුව ඇති ගැටලු සහ ඒවාට ලබාගත හැකි විසඳුම් පිළිබඳව මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා කෙරුණා. මේ අතර දිස්ත්‍රික්කයේ වැව් ප්‍රතිසංස්කරණය, පොහොර ගැටලුව විසඳීම සහ බෙදාහැරීමේ ගැටලු විදිමත් කිරීම පිළිබඳ ද රැස්වීමේදී සාකච්ඡාවට ගෙන තිබෙනවා.  ජනාධිපතිවරයා මෙහිදී නිලධාරීන්ට උපදෙස් ලබාදුන්නේ, උතුරු පළාතේ සෞඛ්‍ය ගැටලු හා වෛද්‍යවරුන්ගේ හිඟය පිළිබඳ අවධානය යොමුකර ඒවා කඩිනමින් විසදීමට පියවර ගන්නා ලෙසයි. මන්නාරම දිස්ත්‍රික්කයේ ධීවරයින්ට භූමි තෙල් ලබාදීමේදී සිදුවන විවිධ අක්‍රමිකතා පිළිබඳව ද මෙහිදි කරුණු පැහැදිළි කෙරුණා.

ජනාධිපතිවරයා නිලධාරින්ට දැනුම් දුන්නේ, ඒ සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් සිදුකරන ලෙසයි. මහජන නියෝජිතයින් ඇතුළු පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියා.   ජනාධිපති කාර්යාලය යටතේ ක්‍රියාත්මක උතුරු පළාත් සංවර්ධන විශේෂ ඒකක උප කාර්යාලය වවුනියාවේදී අද විවෘත කෙරුණා.    ඒ, ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතින්.  මෙහිදී අදහස් දැක්වූ ජනාධිපතිතුමා කියා සිටියේ, උතුරේ ප්‍රශ්නයට විසඳු ම් ලබා දී සියලු ජනතාව ඒකරාශි කර ගැනීමට තමන් සූදානම් බවයි.  

75 වැනි නිදහස් උළෙලේදී හෝ  මෙරට ජනතාව එක මවකගේ දරුවන් ලෙස ජීවත් වීමට හැකිවේවායි තමා ප්‍රාර්ථනා කරන බවද ජනාධිපතිවරයා කියා සිටියා.   බොහෝ කලක් උතුරේ මෙන්ම දකුණේ ජනතාව විවිධ හේතූන් මත දුක් විඳි බවත්, ඔවුන්ගේ ගැටලුවලට විසඳුම් ලබාදීමට කටයුතු කරන බවත් ජනාධිපතිතුමා ප්‍රකාශ කළා. වවුනියාව දිස්ත්‍රික්කයේ රජයේ සේවක නිවාස යෝජනා ක්‍රමයේ නිවාස ලාභීන් 120 දෙනෙකුට නිවාස හිමිකම් ඔප්පු ප්‍රදානය යටතේ සංකේතාත්මකව 30 දෙනෙකුට මෙහිදී හිමිකම් ඔප්පු ලබා දුන්නා. 

උතුරේ පැවති යුද ගැටුම් හේතුවෙන් දේපල හානි සඳහා වන්දි හිමි 96 දෙනෙකු වෙනුවෙන් මුදල් පිරිනැමීමද ජනාධිපතිවරයා අතින් මෙහිදී සිදු කෙරුණා.   වවුනියාව දිස්‍ත්‍රික්කයේ ගොවීන්ට පොහොර බෙදාදීම සංකේතවත් කරමින්, කිහිප දෙනෙකුට පොහොර බෙදාදීමද සිදු කෙරුණා.   ජනතා නියෝජිතයන් ඇතුළු පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියා.