ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවට අයත් ත්‍රිකුණාමලය කුච්චවේලි හි පවතින, දැනට කිසිදු ප්‍රයෝජනයකට නොගන්නා අක්කර 270 ඉඩම මෙගාවොට් 100 ක සූර්ය බලශක්තිය උත්පාදනය කෙරෙන ව්‍යාපෘතියක් වෙත බදු පදනම යටතේ භාර දීම සිදුවිය.

කැනේඩියානු සමාගමක් 3W බලශක්ති කළමනාකරණ පුද්ගලික ආයතනය මේ වෙනුවෙන් සිදුකරන ලබන ආයෝජනය ඇමෙරිකානු ඩොලර් මිලියන 150 කි.

ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථා පරිශ්‍රයේදී පැවැති වැඩසටහනකදී මෙම ව්‍යාපෘතියට අදාළ ඉඩම භාරදීම ප්‍රවාහන මහා මාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් සිදුවිය.

මෙම අවස්ථාවේ දී අදහස් දැක්වූ අමාත්‍යවරයා:
අප රට මුහුණ දී ඇති වත්මන් ආර්ථික අර්බුදය හමුවේ රට ගොඩ නැගීම වේදිකාවල සිදු කරන කතා වලින් සිදු කළ හැකි වන්නේ නැහැ. මෙම ආර්ථික අර්බුදයට ඇත්තේ ආර්ථිකමය විසඳුමක් පමණයි. එබැවින් මේ මොහොතේ රටක් ලෙස ගත හැකි වැදගත්ම ක්‍රියාමාර්ගය වන්නේ විදේශ විනිමය හා ආයෝජන මෙරටට වැඩිපුර ලබා ගැනීමට හැකි පියවර ගැනීමයි. එහිදී සෘජු විදේශ ආයෝජන පිළිබඳව අවධානය යොමු කිරීම ඉතාමත් වැදගත්.


මෑත කාලීනව වේගයෙන් සංවර්ධනය වූ ඉන්දියාව, චීනය, සිංගප්පූරුව, වියට්නාමය වැනි රටවල් එම ඉලක්කයට ළඟා වූයේ විදේශ ආයෝජන දිරි ගැන්වීම තුළින්. නමුත් අපේ රටට වසරකට බිලියනයක හෝ විදේශ ආයෝජන ලබා ගැනීමට නොහැකි වීම අවාසනාවන්ත තත්ත්වයක්. විදේශ ආයෝජකයින් දිරිගන්වන, ඒ සඳහා ආකර්ෂණීය, නිර්ලෝභී වැඩපිළිවෙළක් අපේ රට අනුගමනය කර නැහැ. සෑම දෙයක් දෙසම අප බලන්නට පුරුදු වී තිබෙන්නේ සැකයෙක්. නමුත් ලෝකයේ බොහෝ රටවල් මෙම ආයෝජන දිරි ගැන්වීමේ උපක්‍රමය ඉතාමත් සාර්ථකව ප්‍රයෝජනයට ගනු ලබනවා.


වත්කම් වඩාත් කාර්යක්ෂම ලෙස කළමනාකරණය කිරීම තුළින් පාඩු ලබන ආයතන පවා දියුණු කළ හැකි බව මා විශ්වාස කරනවා. වත්මන් රජය විදේශ ආයෝජන සඳහා වඩාත් හිතකාමී පරිසරයක් ගොඩ නගමින් සිටිනවා. ඒ අනුව මෙරට දේශීය ආයතන සහ සංවිධාන ද මෙරටට විදෙස් ආයෝජන ලබාගත හැකි ආකාරයෙන් කටයුතු කිරීමට වඩ වඩාත් උනන්දු විය යුතුයි. මෙවැනි පසුබිමක් යටතේ ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාව සිදුකරන මෙම ආයෝජනය රටට වඩාත් ආදර්ශමත් ව්‍යාපෘතියක්‌ ලෙස කඩිනමින් ක්‍රියාත්මක වනු ඇති බව මා විශ්වාස කරනවා.

මෙම අවස්ථාව සඳහා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් අනුෂ පැල්පිට,ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ සභාපති හඩ්සන් සමරසිංහ මහතා ඇතුළු , ව්‍යාපෘතියට ආයෝජනය කරන සමාගමේ නිලධාරීන් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.