රජයේ ආයතන වියදම් කළමනාකරණය කරගනිමින්, පාඩු නොලබන ආයතන ලෙස ක්‍රියාත්මක වීම සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග අනුගමනය කළ යුතුයැයි ප්‍රවාහන, මහාමාර්ග හා ජනමාධ්‍ය ඇමැති, ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා හික්කඩුවේදී ඊයේ (01) පැවසීය.

ඇමැතිවරයාගේ සංකල්පයකට අනුව ක්‍රියාත්මක කෙරෙන ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව සතු ඉඩම් අනවසරයෙන් භුක්ති විඳින පිරිස් නියමානුකූල කිරීම සහ ඔවුන්ගෙන් හිමි විය යුතු බදු මුදල් අය කරගැනීම සඳහා වන ජංගම සේවා වැඩසටහනේ තවත් අදියරක් හික්කඩුව ප්‍රාදේශීය ලේකම් කාර්යාල පරිශ්‍රයේදී පැවැත්විණි.

මෙම වැඩසටහන යටතේ හික්කඩුව, රත්ගම මාදම්පාගම යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල දුම්රිය ඉඩම් භුක්ති විඳින විශාල පිරිසකගේ දුම්රිය ඉඩම් සම්බන්ධ ගැටලු සඳහා විසඳුම් දීම සිදු විය. එහිදී දුම්රිය සතු ඉඩම් නියමානුකූල කිරීමේ ක්‍රමවේද හඳුන්වා දීම, ඒ පිළිබඳ නෛතික පසුබිම පිළිබඳ ජනතාව දැනුම්වත් කිරීම, සුදුසුකම් සම්පූර්ණ කරන ලද පිරිස් වෙනුවෙන් තාවකාලික බලපත්‍ර නිකුත් කිරීම ඇතුළු සේවා රැසක් ජංගම සේවය යටතේ ක්‍රියාත්මක විය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා:

“නිදහස ලැබීමෙන් පසු මුහුණ දී සිටින දැවැන්තම ආර්ථික අර්බුදය හමුවේ විශාල අපහසුතා රැසකට අප මුහුණ පා සිටිනවා. මතුව තිබෙන ආර්ථික අර්බුදය විසඳීම සඳහා ඊට ආර්ථිකමය විසඳුමක් සෙවිය යුතුයි. ඒ සඳහා දේශපාලන මතිමතාන්තරවලින් තොරව මේ තත්ත්වය තේරුම් ගැනීම අවශ්‍යයි. විශේෂයෙන්ම රජයේ ආයතන වියදම් කළමනාකරණය කරගනිමින් හැකිතාක් පාඩු නොලබන ආයතන ලෙස ක්‍රියාත්මක වීම සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග අනුගමනය කළ යුතුයි. ඒ අනුව දීර්ඝ කාලයක් තිස්සේ පාඩු ලබන දුම්රිය දෙපාර්තමේන්තුව තවදුරටත් පාඩු නොලබන ආයතනයක් බවට පත් කිරීම සඳහා මූලික ක්‍රියාමාර්ග රැසක් පසුගිය කාලයේදී ගනු ලැබුවා. නව සංචාරක දුම්රිය සේවාවන් හඳුන්වා දීමෙන්, ගාස්තු සංශෝධනය කිරීමෙන් මෙන්ම විශාල කාලයක් නියමිත බදු නොගෙවා දුම්රියේ ඉඩම් භුක්ති විඳි අනවසර පදිංචිකරුවන් නියමානුකූල කිරීමෙන් දුම්රිය වෙත ලැබිය යුතුව තිබූ විශාල මුදලක් නැවත ලබාගැනීමට අපට හැකියාව ලැබුණා.

“කිසිදු බදු මුදලක් ගෙවීමකින් තොරව දුම්රියේ ඉඩම් භුක්ති විඳින ජනතාවට, පවතින ආර්ථික අපහසුතාද සැලකිල්ලට ගනිමින් රජයට හා දුම්රිය දෙපාර්තමේන්තුව වෙත අය විය යුතු බදු නියමිත පරිදි ගෙවීම සඳහා සහනදායි අවස්ථාවක් මෙම ජංගම සේවය යටතේ සලසා දෙනවා. වසර දහයකට වැඩි කාලයක් අනවසර පදිංචිකරුවන් ලෙස සිටින ජනතාවට අදාළ බදු මුදල් ගෙවා තාවකාලික බදු ගිවිසුම්වලට එළඹීමේ අවස්ථාවත්, බදු ඔප්පු සහිතව වුවත් බදු නොගෙවා සිටින පිරිසට නියමිත බදු මුදල් ගෙවීම් සඳහා සහනදායි වැඩපිළිවෙළක් සහ මාස තුනක සහන කාලයක් දීමටත් මේ යටතේ අප පියවර ගන්නවා.

“දැනට ප්‍රයෝජනයට නොගන්නා දුම්රිය සතු ඉඩම් වඩාත් ඵලදායි ආයෝජන සඳහා යෙදවීමට එහි වත්කම් කළමනාකරණ වැඩපිළිවෙළ යටතේ අප පියවර ගනු ලබනවා. ඒ සඳහා ඉදිරිපත් වීමට කැමැති ඕනෑම අයකුට රජයේ කොන්දේසිවලට යටත්ව එම ආයෝජන සඳහා අවස්ථාව සලසා දීමට ඕනෑම අවස්ථාවක සූදානම්.

“ඉදිරි කාලයේදී දුම්රිය සේවා තවදුරටත් කාර්යක්ෂම කිරීම සඳහා බහුකාර්ය බළකායෙන් තුන් දහසක පිරිසක් දුම්රිය සේවයේ ස්ථිර පත්වීම් සඳහා ඇතුළත් කරගැනීමට අප පියවර ගන්නවා. එසේම වේයන්ගොඩ සිට පාණදුර දක්වා විදුලි දුම්රිය ව්‍යාපෘතියක් මේ වසර තුළ ආරම්භ කිරීමට සැලසුම් කරනවා.”

මෙහිදී පැමිණ සිටි ජනතාව ඉදිරිපත් කළ ගැටලුවලට ක්ෂණික විසඳුම් දීම සඳහා අවශ්‍ය නිලධාරීන්ගේ අවධානය යොමු කළ අමාත්‍යවරයා හික්කඩුව නාගරික ප්‍රදේශය ආශ්‍රිතව දුම්රිය සංඥා පද්ධතියේ පවතින ගැටලු සඳහා මාස දෙකක් තුළ විසඳුම් දීමට පියවර ගන්නා බවද ප්‍රකාශ කළේය. එම ප්‍රදේශයේ සංචාරක ව්‍යාපාරය තවදුරටත් වර්ධනය කළ හැකි ආකාරයේ ආයෝජන ව්‍යාපෘති සඳහා ප්‍රදේශයේ ආයෝජකයන් සහ පළාත් පාලන ආයතන මගින් ඉදිරිපත් කරන යෝජනා සඳහා විශේෂ ප්‍රමුඛතාවක් දීමට කටයුතු කරන බවත් ඇමැතිවරයා මෙහිදී අවධාරණය කළේය.

ජංගම සේවා වැඩසටහනෙන් අනතුරුව හික්කඩුව දුම්රියපොළ ආශ්‍රිතව නිරීක්ෂණ චාරිකාවකද නිරත වූ අමාත්‍යවරයා එහි තත්ත්වය පිළිබඳ ද සොයා බැලීය.

කෘෂිකර්ම රාජ්‍ය ඇමැති නීතිඥ මොහාන් ද සිල්වා, දුම්රිය සාමාන්‍යාධිකාරිවරයා ඇතුළු දුම්රිය දෙපාර්තමේන්තුවේ සියලු අංශ නියෝජනය කරන නිලධාරීන්, ප්‍රදේශයේ පළාත් පාලන ආයතන නියෝජිතයන් සහ ප්‍රදේශවාසීන් ඇතුළු පිරිසක්‌ මේ වැඩසටහනට සහභාගි වූහ.