ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ මැදිරි අංක 2 - " මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍රයන් " නමින් නම් කිරීමේ අවස්ථාව ප්‍රවාහන , මහාමාර්ග හා ජනමාධ්‍ය අමත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතාගේ සහභාගීත්වයෙන් ඊයේ (09) සිදුවිය. මෙම උත්සවයට සමගාමීව නව SLBC වෙබ් අඩවිය එළිදැක්වීම සහ SLBC දුරකථන යෙදවුම ජනගත කිරීමද අමාත්‍ය වරයාගේ ප්‍රධානත්වයෙන් සිදුවිය.

එහිදී අදහස් දැක්වූ අමාත්‍යවරයා,

අපේ රටේ සමාජ, සංස්කෘතික හා කලාවේ ප්‍රගමනය උදෙසා අනූපමේය සේවාවක් සිදුකරමින් කලා ක්ෂේත්‍රයේ ඉතිහාසයේ ගමන්මග වෙනස් කිරීම උදෙසා නිර්ව්‍යාජ දායකත්වයක් දැක්වූ මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍රයන්ගේ නමින් ගුවන් විදුලි මැදිරිය සංකීර්ණයක් නම් කිරීම ඓතිහාසික අවස්ථාවක්.

මහාචාර්ය සරච්චන්ද්‍ර අපේ රටට බර වැඩි යුග පුරුෂයෙක්. නව යොවුන් තරුණයන් ලෙස අප ‍පොත පත ඇසුරු කරන විට " මළවුන්ගේ අවුරුදු දා", " මළගිය ඇත්තෝ" ආදී කෘති වලින් එතුමා මානව සමාජයට දැක්වූ දයාව, කරුණාව,ප්‍රේමය බෞද්ධ දර්ශනය තුලින් ලැබූ තියුණු ජීවිත අවබෝධය ආදී ගුණාංග හඳුනා ගැනීමට හැකිවුණා. එතුමන් දැක්වූ මානව දයාව, මෘදු ගුණය, බැදීම් අත් හැරීම හා ජීවිතය පිළිබඳ සිතන්නට අපට හුරු කළේ "මළගිය ඇත්තෝ" හා "මළවුන්ගේ අවුරුදු දා"යන කෘති වලින්.

එතුමා සිය කලා කෘති තුළ ප්‍රචණ්ඩත්වය හා හිංසනය වෙනුවට ලාංකීය සමාජය සුවපත් කිරීමට විශාල මානව දයාවක්, සෙනෙහසක්‌, ආදරය පිළිබඳව තියුණු මතවාදයක් ලොවට කාන්දු කළ මහ ඇදුරුතුමෙක්‌. කිසිදාක ප්‍රචණ්ඩත්වයට සම්බන්ධ නොවූ එතුමාට ප්‍රචණ්ඩත්වය විසින් සංග්‍රහ කිරීම පිළිබඳව අත්දැකීම් ජීවත්ව සිටියදී ම අත්දකින්නට ලැබුණා.

කෙනෙකු ජීවත්ව සිටියදී ඔහුගේ දක්ෂතා, කුසලතා හා නිර්මාණ ශක්තිය ඇගයීමට බොහෝ දෙනා කිසිදු කැමැත්තක් නොදැක්වූවත් මහාචාර්ය සරච්චන්ද්‍රයන් අන් අය අගය කීරීම ජීවිත කාලය තුළදීම පුරුදුව සිටියා. එවැනි මහා සත්පුරුෂයෙක්, යුගපුරුෂයෙක් මේ පොළොවට බර වැඩියි. එවැනි පුද්ගලයෙක් පිළිබඳව අනාගතයට කතිකාවතක් ගොඩනගන්නට ගුවන් විදුලි සංස්ථාවේ මැදිරි සංකීර්ණයක් එතුමන්ගේ නමින් නම් කිරීම ඒ උතුම් මිනිසාට ගරු කරන්නට අනාගත පරපුරටද ලබාදෙන භාග්‍යයක් ලෙස මා සලකනවා.

මෙම අවස්ථාව සඳහා ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ සභාපති හඩ්සන් සමරසිංහ මහතා, අධ්‍යක්ෂ ජනරාල් නලීන් කුමාර නිශ්ශංක මහතා, සම්මානිත මහාචාර්ය සුනන්ද මහේන්ද්‍ර මහතා, ලලිතා සරත්චන්ද්‍ර මැතිණිය ඇතුළු ආරාධිතයින් පිරිසක් එක්ව සිටියහ.