කඩාවැටුණු මෙරට ආර්ථිකය නැවත නඟාසිටුවීමට ජනාධිපතිවරයා නිසි මාර්ග සිතියමක් සකසා ඇති බවත්, එම මාර්ග සිතියම අනුව කටයුතු කිරීමෙන් මේ වන විට සාර්ථක ප්‍රතිඵල අත්වී ඇති බවත්, ජනමාධ්‍ය රාජ්‍ය අමාත්‍ය ශාන්ත බණ්ඩාර මහතා පවසයි.

මෙරට ආර්ථික තත්වය සම්බන්ධයෙන් පැහැදිළි කිරීමට ඊයේ (09) පැවති මාධ්‍ය සාකච්ඡාවකදී අමාත්‍යවරයා මේ බව පැවසීය.

මේ වනවිට ආනයනය හැකිතාක් අඩු කිරීමට ක්‍රියාකර අපනයන හැකිතාක් වැඩි කිරීමට ක්‍රියාකළ බවත්, ආර්ථිකය ශක්තිමත් හා ප්‍රකෘති මට්ටමට පැමිණෙන තෙක් පමණක් බදු වැඩිවීම වැනි දේ දරා ගැනීමට සිදුවනු ඇති බවත්, මේ සියලු උපක්‍රම හේතුවෙන් ආර්ථිකය අද තිබෙන මට්ටමට පැමිණ ඇති බවත්, අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

එමෙන්ම ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ලබාදුන් උපදෙස් අනුව ක්‍රියාකිරීමද මෙම තත්වයට හේතු වූ බවත්, මේ වන විට මෙරටට ඉන්දියාව, චීනය, ජපානය සහ ඇමරිකාව වැනි රටවල සහය ලැබී ඇති බවත්,රාජ්‍ය අමාත්‍යවරයා තවදුරටත් පැවසීය.