කාලාන්තරයක් පුරා සමාජ, ආර්ථික, දේශපාලන ප්‍රශ්න රාශියකින් පීඩා විඳින සමාජයක් බවට ලාංකීය සමාජය පත්ව ඇත. ආර්ථික අපහසුතා, අඩු සමාජ තත්ත්ව, විරැකියාව, සෞඛ්‍ය උපදෙස් ලබා ගැනීමට දැනුම්වත්කමක් නොමැතිවීම, මානසික අසහනයන් ඇතුළු මනෝ විද්‍යාත්මක සාධක සහ සමාජ විද්‍යාත්මක කරුණු ගණනාවක් මෙම පීඩාවට හේතු වී ඇත. එහෙත් මෙම ප්‍රශ්න ගැටලු‍ හමුවේ ඒ සියල්ල දරාගනිමින්, ජීවිතයට ශක්තිමත්ව මුහුණ දෙන පිරිසක් මෙන්ම එයට ඔරොත්තු නොදෙන තවත් විශාල පිරිසක් ජිවිතය, ජීවත් කිරීම වෙනුවට ජිවිතයෙන් පලායාම තෝරා ගෙන සිටිති.  

ජීවිතය අන්තයටම එපාවි, සියල්ල අත්හැර ජිවිතයෙන් සදාකාලිකවම සමුගන්නට සිතුවිල්ලක් ඔබට මට කිසියම් මොහොතක ඇති වුවහොත්, ජීවිතයට සාර්ථකව මුහුණ දෙන්නට, ජීවිතය ජීවත් කරවන්නට මහත් පිළිසරණක්, දයාබරත්වයේ දෑතක් ඇති බව ඔබ නොදන්නවා ඇත. ජාතික මානසික සෞඛ්‍ය විද්‍යායතනය මෙම සෙනෙහබර දෑත ඔබට දිගුකර ඇත. ඕනෑම ප්‍රශ්නයක්, ගැටලු‍වක් වෙනුවෙන් ඉතාම සාර්ථක උපදෙසක් 1926 දුරකථන අංකයට ඇමතීමෙන් හෝ 075 5551926 වට්ස්ඇප් අංකය ඇමතීමෙන් නොමිලේ ලබාගත හැකිව ඇත.

1995-96 කාලයේ සිය දිවි නසා ගැනීම් සම්බන්ධව ලෝකයේම පළමුවෙනි හා දෙවැනි ස්ථානවල සිටි ශ්‍රී ලාංකීය සමාජය, අද වන විට රට තුළ සිය දිවි නසා ගැනීම් වර්ධනය අඩුවුව ද, ලෝකයේ අනික් රටවලට සාපේක්ෂව තවමත් ඉහළ අගයක පවතී.

ලාංකේය සමාජය තුළ වර්ෂයකට අවම වශයෙන් සිය දිවි නසා ගැනීම් තුන් දහසක් පමණ නිල වශයෙන් වාර්තාවන බව මානසික සෞඛ්‍ය ඒකකයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය රොහාන් රත්නායක මහතා ඊයේ (16දා) පැවැසීය. ඒ සෞඛ්‍ය අමාත්‍යාංශයේ මානසික සෞඛ්‍ය ඒකකය සහ ජනමාධ්‍ය අමාත්‍යාංශය එක්ව සංවිධානය කළ ශ්‍රි ලංකා පරිපාලන ආයතනයේ පැවති මාධ්‍යවේදීන් දැනුවත් කිරීමේ වැඩමුළුවකට එක්වෙමින්.

ශ්‍රී ලංකාව සියදිවි නසාගැනීම් අතින් ලෝකයේ 30 වැනි ස්ථානයේ සිටියද පළමු රටවල් තුන අතරට ශ්‍රී ලංකාව ඇතුළත් කරමින් ලෝක සෞඛ්‍ය සංවිධානය වැරදි දත්ත සකස් කර තිබූ බවට ද අධ්‍යක්ෂවරයා චෝදනා කළේය. ඒ අනුව කඩිනමින් නිවැරදි කිරීම් සිදුකරන ලෙසට දැනුම් දුන් බව පැවැසූ හෙතෙම ලෝකයේ රටවල් අතර ලංකාවේ ස්ථානයේ වෙනසක් ඇතිවුවද සියදිවි නසාගැනීමේ ප්‍රවණතාව අඩුවී නොමැති බවද ප්‍රකාශ කළේය.

මෙරට පැය හතරකට වරක් දිවිනසා ගැනීමක් වාර්තා වන බව පැවැසූ අධ්‍යක්ෂවරයා, 2022 වසරේදී පුරුෂයන් 2833ක් හා කාන්තාවන් 574 දෙනකු සියදිවි නසාගෙන තිබෙන බවයි. එම වර්ෂයේදී ආර්ථික අවපීඩනය හේතුවෙන් ඇඟලුම් කම්හල් ආශ්‍රිතව සියදිවි නසාගැනීම් වැඩිවීමක් සිදුව ඇති බවත්, ඒ අනුව ගම්පහ දිස්ත්‍රික්කයේ සියදිවි නසාගැනීම්වල වැඩිවීමක් පෙන්නුම් කරන බවත් හෙතෙම සඳහන් කළේය. සියදිවි නසාගැනීම්වලින් 66%ක් හැඟීම්වලට යටවීමෙන් ඊට පෙලඹී ඇතැයි පැවැසූ හෙතෙම කෘමිනාශක භාවිතයෙන් 18%ක් ජීවිත හානි කරගෙන තිබෙන බව ද සඳහන් කළේය.

පසුගිය වසරේදී සියදිවි නසාගැනීමට උත්සාහ කළ පුද්ගලයන් 90,000ක් අවසන් මොහොතේ එම තීරණය වෙනස් කරගෙන තිබෙන බවද අධ්‍යක්ෂවරයා පැවැසීය. ලෝකයේ දැනට තත්පර 40කට එක් පුද්ගලයෙක් වශයෙන් සියදිවි නසාගැනීම් වාර්තා වන බව පැවැසූ හෙතෙම එය වසරකට පුද්ගලයන් ලක්ෂ 08ක් වන බවත් පැවැසීය.

මිනිසුන් ජිවිතයෙන් පලා යන්නේ ඇයි? සියදිවි නසා ගැනීම්වලට හේතු සාධක වර්ග 2 ක් තිබේ. එනම් මනෝ විද්‍යාත්මක කරුණු සහ සමාජ විද්‍යාත්මක කරුණු ය.  

විශේෂයෙන්ම මානසික රෝග සහ මානසික අසහනය. මානසික රෝග ගත්විට විශාදය, පෞරුෂත්ව ඌණතා රෝග, මත්ද්‍රව්‍ය සහ මත්පැන් භාවිතය, භින්නෝන්මාදය, ද්විද්‍රව උන්මාදය නැතහොත් බයිපොල රෝගය වැනි ප්‍රබල මානසික රෝග වැනි මනෝ විද්‍යාත්මක කරුණු සහ මානසික අසහනය, ප්‍රේම සම්බන්ධතාවන් බිඳ වැටීම, රැකියාව අහිමි වීම, තම දරුවකුගේ ලෙඩ රෝග නිසා තාවකාලිකව මතුවෙන මානසික අසහනය කෙනෙකුට ජීවිතය එපා කරවන පීඩාවන් අතර වෙයි.  

එසේම ආර්ථික අපහසුතා, අඩු සමාජ තත්ත්ව, විරැකියාව, වෛද්‍ය උපදෙස් ගැනීම පිළිබඳව අනවබෝධය මෙන්ම විශේෂ අවස්ථාවන් වන එක් රටක සිට වෙනත් රටකට ගොස් රැකියාවක් කිරීම වැනි සමාජ විද්‍යාත්මක කරුණු ද ජීවිතය ප්‍රබල ලෙස කලකිරවන දේ බවට ඇතැම් සිත් තුළ හේතු සාධක වී ඇත. කෙසේ වුවද මනෝ විද්‍යාත්මක සහ සමාජ විද්‍යාත්මක කරුණු දෙකම එකට එක්වීමෙන් සියදිවි නසා ගැනීම් ඇතිවෙන බව ද හෙතෙම සඳහන් කළේය.

මවක් තම දරුවාට වස පොවා සිය දිවි නසා ගැනීමේ පුවත්, ප්‍රේමවන්තිය හෝ ප්‍රේමවන්තයා අහිමි වීම නිසා දරාගත නොහැකිව සිය දිවි නසා ගත් පුවත්, පාසලේදී ගුරුවරුන්ගේ අවවාදයකට, සම වයසේ වුන්ගේ කෙළි කවට බසක් දරාගත නොහැකිව සියදිවි නසා ගත් දරු දැරියන් ගැන පුවත්, ගොවි ණය ගෙවා ගැනීමට නොහැකිව ජීවිතය නසා ගත් පුවත් මේ ආදී සිත මහත් සේ පීඩාවට පත්කරන පුවත් අපි කොතෙකුත් අසා ඇත්තෙමු.  

සියදිවි නසාගැනීම පිළිබදව සාමාන්‍යයෙන් අප ගොඩක් දේවල් ඇතුළත් කළාත් අප මනෝ වෛද්‍ය විද්‍යාවේ දී ඒක කොටස් තුනකට බෙදෙනවා. එකක් තමයි සම්පූර්ණ කරන ලද සියදිවි නසා ගැනීම. ඒ කියන්නේ මරණයකින් කෙළවර වන සියදිවි නසා ගැනීම. දෙවැන්න. සියදිවි නසාගැනීමට උත්සාහ කළා, හැබැයි මැරුණේ නැහැ. තුන්වැන්න, තමාම තමාට හානි කරගැනීම, පළිගන්න, අවධානය දිනා ගන්න, ඒක ගොඩක් වෙලාවට මෙහිදී කරන්නේ. අත කපා ගන්නවා, වේදනා නාශක පෙති ගණනාවක් එකවර බොනවා. සියදිවි නසා ගන්නවා කියලා කියන්නේ කාලයක් තිස්සේ ප්ලෑන් කරලා, බෙල්ලේ වැල දා ගන්නවා හෝ අතිවිශාල කෘෂි රසායනිකයක් පානය කරනවා වගේ දෙයක්. මේ තුනට බලපාන සාධක එකිනෙකට ටිකක් වෙනස්.  

විද්‍යාත්මකව තහවුරු කරගත් කරුණක් වන්නේ අවිධිමත් මාධ්‍යවාර්තාකරණය මෙයට ප්‍රධාන හේතුවක් බවයි. සියදිවි නසාගැනීම් වැළැක්වීම සඳහා සියදිවි නසාගැනීම් සමිබන්ධව වගකීමෙන් වාර්තා කිරීම අත්‍යාවශ්‍යය සාධකයකි.

මනෝජා සමරනායක