කුරුණෑගල, මැල්සිරිපුර, ‘උමංදාව‘ බෞද්ධ විශ්ව ගම්මානයේ නිර්මාතෘ සිරි සමන්තභද්‍ර නායක ස්වාමීන් වහන්සේගේ සංකල්පයක් මත දේශීය වශයෙන් කාබනික ලෙස වගා කරන ලද බිත්තර වී ප්‍රදේශයේ ගොවීන් වෙත බෙදාදීම වාර්ෂිකව සිදු කරනු ලැබූ අතර, ඊට අමතරව කාලය හා ශ්‍රමය අවම වශයෙන් වැය කර වැඩි බිම් ප්‍රමාණයක් වගා කළ හැකි නවීන වගා ක්‍රම පිළිබඳ ගොවීන්ට ප්‍රායෝගිකව හඳුන්වා දීම ද මෙවර වැඩසටහන යටතේ සිදු විය. ඒ යටතේ පැරෂුට් ක්‍රමවේදයට අනුව කෙටි කාලයක් තුළ වැඩි බිම් ප්‍රමාණයක පැළ සිටුවීමේ ක්‍රමය ගොවීන්ට ප්‍රායෝගිකව හඳුන්වා දීම ද මේ අවස්ථාවේ සිදු කෙරිණි.

එහිදී අදහස් දැක්වූ ප්‍රවාහන, මහාමාර්ග හා ජනමාධ්‍ය ඇමැති, ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවසුවේ උමංදාව බෞද්ධ විශ්ව ගම්මානය ආගමික හා ආධ්‍යාත්මික වශයෙන් රටට මඟ පෙන්වන අතරම දැවැන්ත ජාතික මෙහෙවරක නිරත වන ආගමික ස්ථානයක් බවයි. වැඩිදුරටත් අදහස් දැක්වූ ඇමැතිවරයා:

“සාම්ප්‍රදායිකත්වයෙන් ඔබ්බට ගමන් කරමින් කෘෂි කර්මාන්තයේ නිෂ්පාදනය ඉහළ නංවන්නට උමංදාවෙන් සිදු වන මෙහෙවර අගය කළ යුතුයි. රට දැවැන්ත ආර්ථික අර්බුදයකට මුහුණ පා සිටින මේ මොහොතේ සාම්ප්‍රදායිකව සිදු කළ අපනයන මත පමණක් පදනම්ව විදේශ විනිමය ඉපයීමේ හැකියාවක් නැහැ. ඒ හේතුවෙන්ම සිතනවාට වඩා යමක් සිතමින් විදේශීය වෙළෙඳපොළ සඳහා නව නිෂ්පාදන හඳුන්වාදීම ඉතා වැදගත්. මේ සියලු කරුණු පිළිබඳ අවධානය යොමු කරමින් දේශපාලන පක්ෂ පාට බෙදීම්වලින් තොරව බිඳවැටුණු රට යළි ගොඩනඟන්න අප සියලු දෙනා කැප විය යුතුයි. අපේ භූමියේ නිපදවන දේ නවෝත්පාදන ලෙස ජාත්‍යන්තරය වෙත ඉදිරිපත් කරන්න හැකි නම් ඒ මඟින් පවතින අර්බුද රැසකට විසඳුම් සපයාගැනීමේ හැකියාව පවතිනවා. එලෙස සියලු දෙනා සතු ශක්තිය, හැකියාව යොදාගනිමින් රට යළි ගොඩනඟන්න එක්ව කටයුතු කරන්න අත්වැල් බැඳගන්නා ලෙස මම සැමට ආරාධනා කරනවා.“

කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍ය මොහාන් පී. ද සිල්වා, පශු සම්පත් රාජ්‍ය ඇමැති ඩී.බී. හේරත්, ජනමාධ්‍ය අමාත්‍යාංශ ලේකම් අනූෂ පැල්පිට මහත්වරුන් ඇතුළු රාජ්‍ය නිලධාරීහු සහ ප්‍රදේශයේ කෘෂිකර්මාන්තයේ නිරත වන විශාල පිරිසක් ද මේ අවස්ථාවට සහභාගි වූහ.