එක එක ජාතියේ සෙල්ලම් අවුරුද්දේ හැම දිනයකම දාන සියලු දෙනාට අද දවසේ ජාති දෙකෙන් සපත්තු පැලඳීමට හැකියාව ලැබේ. ලෝක සම්මතය නොතකන ඕනෑම අයෙකුට ඕනෑම දවසක මේ විදිහට ජාති දෙකෙන් සපත්තු දමාගෙන යා හැකිය. එහෙම වුණත් අද දවසේ එය අවුලක් නැතුව කළ හැක්කේ, අද ලෝක ජාති දෙකෙන් සපත්තු දමන දිනය නිසාය. එහෙම දවසක් තියෙන බව වැඩි දෙනා දන්නේ නැත. ඒ නිසා එවැනි අත්හදා බැලීම් සඳහා අප යොමු නොවන තරම්ය. අනිත් අතට එහෙම දවසක් තිබෙනා වග අපි දැනගෙන ජාති දෙකෙන් සපත්තු දමාගෙන ගිය ද කාර්යාලයේ සහ පාරේ යන වුන් ඒ දින ගැන දන්නේ නැත. අපිව නාඳුනන සියලු දෙනා අපිට පෙනී හෝ නොපෙනී මේ ‘වැරදීම’ ගැන සිනාසීම, මේ දිනය සැමරීම සඳහා ඇති පළමු අවුලය.
දෙක, අපි දන්නා වුන් ‘ජාති දෙකේ සපත්තු දෙක’පෙන්වූ විට, අපි එහෙම කරන්නේ ඇයි කියා කතාව කීමට යෑම තරම් මහන්සියක් තවත් නැත. ඇහේ නගනයක් ඒම සාමාන්ය දෙයකි. එහෙම වුණත් නගනයක් ඇසේ හටගත් විට ඔෆිස් යෑම ඊට වඩා වේදනාකාරිය. දකින හැම එකාම මුලින්ම අහන්නේ නගනයක් ඇවිල්ලා ද? කියාය. ඊළඟට හැමෝම දන්නා ප්රතිකාර ලැයිස්තුවක් කියවාගෙන යති. එක්කෝ තුත්තිරි ගහක හීය බඳු කොටස ගලවා අග වෙන තෙක් මිරිකා, එයින් නිකුත් වන ‘යුෂ බින්දුව’ ඇහේ ගා ගන්න යැයි කියති. උදේ නැගිට්ට සැණින් පිටකරන මුත්ර ස්වල්පයක් ‘ඒ හරියේ’ ගාන්න යැයි තව සමහරු කියති. නගනය ආපු එකා බොහෝ විට ඊට දිනකට දෙකකට පෙර මේ සියල්ල කර තිබේ. එක්ටැම් ගෙදරක සිටිය ද සමහර දේවල් සිද්ධ වීම වැළැක්විය නොහැකි සේ, නගනය ද මේ සියලු කෙම් ක්රම පරදවා, ඇසේ අගට පැමිණෙන්නේය.
තවත් කරුණක් වන්නේ මේ දවස්වල ‘අතේ කොළේ’ නැති වීමය. වැඩට යෑම සඳහා පලඳින සපත්තු දෙකට අමතරව සාමාන්ය ලාංකික කාර්යාල සේවකයෙකු හට ඇත්තේ කැෂුවල් දවසට කාර්යාලයට අඳිනා ඇඳුමට දමනා, සෙරප්පු දෙක සහ අහල පහලට වත්ත පිටියට දමනා ‘රබර් කෑලි’ දෙක පමණය. එහෙම තියාගෙන ජාති දෙකෙන් සපත්තු දමාගෙන යෑමට නම් ඊට පෙර දිනයේ දන්නා කියන එකෙක්ගේ සපත්තුවක් සමඟ තමන්ගේ ‘හාල් පොත’ මාරු කර ගත යුතු වෙයි. මේ දුෂ්කර ක්රියාව දෙස බලන විට දිනයක් ඇති බව දැන ගත්ත ද ‘තියෙන දෙක’ දමාගෙන ගමන යෑම හොඳය.
ජාති දෙකේ සපත්තු පලඳින දිනය සේම අද ලෝක නිදහස් මාධ්ය දිනය ද වේ.
මේ සඳහා යුනෙස්කෝව විශේෂ සංවත්සර උත්සවයක් නිව්යෝර්ක් හි එක්සත් ජාතීන්ගේ මූලස්ථානයේදී සංවිධානය කර තිබේ. ලෝක නිදහස් මාධ්ය දිනය එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය විසින් මීට වසර තිහකට පෙර ජාත්යන්තර දිනයක් ලෙස ප්රකාශයට පත් කළේය. සෑම වසරකම මැයි මස 3 වෙනිදා සමරනු ලබන මේ දිනයේ, මෙවර තේමාව වී ඇත්තේ,‘අයිතිවාසිකම්හි අනාගතය හැඩගැස්වීම: අනෙකුත් සියලුම මානව හිමිකම් සඳහා ධාවකයක් ලෙස ප්රකාශනයේ නිදහස’යන්නයි.
මේ රටේ මාධ්ය නිදහස සඳහා ඇති ප්රධාන බාධක හතර මෙතැනදී වැදගත්ය. මෙහෙම දිනයක් තබා ‘එහෙම දෙයක්’ වේදැයි නොදන්නා පිරිසක් සමඟ අද දිනය සැමරීම හරියටම ‘ජාති දෙකෙන් සපත්තු දාගෙන’ මඟට බැසීම මෙන් ය. සමහරු එහෙම දෙයක් දන්නේ නැත. සමහරු දනිති; සිදුකර ගැනීම සඳහා ශක්යතාවක් ඇත්තේ නැත. සමහරු දනිති, එහෙත් නොතකති. දැන දැන වැරදි කරන පිරිස් ද වෙති. පවතින ආණ්ඩුවට ප්රිය පිරිස හැමවිට පවසන්නේ, මේ ආණ්ඩුව දුන් මාධ්ය නිදහස කිසිවෙක් නොදුන් බවය. විපක්ෂයේ පිරිසට‘ඕනෑම ආණ්ඩුවකම මාධ්ය නිදහස මල්ලේ සියඹලා ඇත්තෙම නැත’.
මාධ්ය නිදහස යන්න ද ජාති දෙකේ සපත්තු සේය. එය දමන්නා, වැඩේ තේරුම දැනගත යුතුය. ඒ දෙස බලන්නා ද ඒ අර්ථයෙන් ක්රියා කළ යුතුය. පත්තරේක ප්රධාන පුවත, කතු වැකිය ආදී සියල්ලටම අත දමන දේශපාලකයන් මේ රටේ කලක් සිටියේය. ආණ්ඩු විරෝධය හෝ විපක්ෂයේ නම් තමන්ගේ මතයට එරෙහි යමක් පත්තරේක ගිය සැණින් ඔවුන් කෝල් කරන්නේ කර්තෘට නොව හිමිකාරයාටය. බොහෝ හිමිකරුවෝ තමන්ගේ ජවනිකාව නොදනිති. ඔවුන් ලෝකයා ඉදිරියේ පොරක් වීමට සහ තමන්ගේ බිස්නස් වැඩ ආදිය සඳහා පත්තරේ පාවා දෙති. මෙවැනි ප්රශ්න අතරේ ශ්රී ලංකාවේ මාධ්ය නිදහස යන්න ද ඉතිරිව පවතියි. මේ රටේ මාධ්ය, ආණ්ඩුවට එහා ගොස් ප්රචණ්ඩ දේශපාලනයේ නිරත වූ ආකාරය ද මීට වසරකට පමණ උඩදී දැක ගත හැකි විය.
සමහරු සජීවී විකාශනයන් ලබා දෙමින් රටේ අගමැතිවරයාගේ පුද්ගලික නිවෙස ගිනි තැබීමට පිරිස් කැඳවූයේය. ඒ සිද්ධියේ එක් චෝදනාකරුවෙකු වූ 'මාධ්යවේදියෙකු' අද අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය. මාධ්ය නිදහස නම් මාතෘකාව භෞතික විද්යා පාඩමේ සුමට කප්පි සේය. පූර්ණ ප්රත්යස්ථතාවය සේ ය. අරය ශුන්ය ලක්ෂ්යය සේය. එහෙම ඒවා ගණන් හදන විට පොතේ තිබුණ ද මේ ලෝකයේ කොහෙවත් නැත. දිනයක් ලෙස මාධ්ය නිදහස ආදී කතා තිබිය හැක්කේය. උගන්වන විට හෝ පර්යේෂණ සඳහා ද ඒවා වලංගුය. ඒත් නිදහස් මාධ්යයක් වාර්තා වනු ඇත්තේ කේතුමතියේ පමණය.