මෙම දිනවල දරුවන් අතර ඩෙංගු, ඉන්ෆ්ලුවෙන්සා සහ පාචන රෝග තත්ත්වයන් වැඩි වශයෙන් වාර්තා වන බව ළමා රෝග විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා පවසයි.

ඔහු මේ බව කියා සිටියේ අද (07) පැවති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමිනි.

මේ හේතුවෙන් දරුවන්ට දින 02ක් 03ක්  උණ පවතී නම් පූර්ණ රුධිර පරීක්ෂාවක් (Full Blood Count) සිදුකරගන්නා ලෙසද, ඩෙංගු පවතින ප්‍රදේශ වල විශේෂයෙන්ම කල්පනාකාරීව පසුවන ලෙසද වෛද්‍යවරයා අවධාරණය කළේය.

ඩෙංගු මදුරුවන් බෝ වන ස්ථාන තම නිවාස සහ පාසල් අවට පවතී නම් ඒවා පිරිසිදු කරගන්නා ලෙසද, අප නොදන්නා ස්ථාන වලද ඩෙංගු මදුරුවන් බෝවිය හැකි බැවින් කල්පනාකාරීව පසුවන ලෙසද ළමා රෝග විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා ජනතාවගෙන් ඉල්ලා සිටියේය.

පසුගිය දින කිහිපයේ ඉන්ෆ්ලුවෙන්සා රෝගීන්ගේ ඉතා සීඝ්‍ර ව්‍යාප්තියක් වාර්තා වුණු බව කියා සිටි ළමා රෝග විශේෂඥවරයා මෙය අන් අයට පහසුවෙන් බෝ විය හැකි බැවින්  දරුවන්ට කැස්ස, සෙම්ප්‍රතිශ්‍යාව පවතී  නම් මුඛ ආවරණයක් පළඳා නිවසේ රඳවා තබා ගැනීම යහපත් බව අවධාරණය කළේය.

පසුගිය දින කිහිපයේ පැවති වර්ෂාපතනයත් සමග මැස්සන්ගේ බෝ වීම ඉහළ ගොස් ඇති බවද සිහිපත් කළ ළමා රෝග විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා ඒ සමගම පාචන තත්ත්වයේ වර්ධනයක්ද නිරීක්ෂණය වුණු වැඩිදුරටත් පැවසුවේය.

දරුවන්ගේ අසූචි සමග රුධිරය පිටවීමක් පවතී නම් වෛද්‍යවරයෙකු වෙත යොමුවීම හෝ රෝහලක් වෙත වාර්තා කරන ලෙසද කියා සිටියේය.