අහිංසක රටවැසියන්ගේ යහපැවැත්මට බාධා වන කිසිවකට වත්මන් රජය ඉඩ නොදෙන බව ප්‍රවාහන, මහාමාර්ග සහ ජනමාධ්‍ය ඇමැති, ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා ප්‍රකාශ කළේය.

ප්‍රස්කු ඉරුදින ප්‍රහාරයේ අත්දැකීම් ලැබූ ශ්‍රී ලංකාවට ඒ ප්‍රහාරයෙන් පාඩම් ලැබී තිබෙන බව පෙන්වා දෙන ඒ මහතා මෙවැනි තත්ත්වයක් යළි ඇති වන ස්වරූපයක් තිබෙන්නේ නම් ඒ ගැන සොයා බලා අවශ්‍ය පියවර කල් ඇතිව ගත යුතු බවත්, සමාජ මාධ්‍ය ඔස්සේ වෛරය පතුරුවමින් වාර්ගික හැඟීම් ඇති කරන ඇතැමුන් සූක්ෂ්ම ලෙස ඔවුන්ගේ වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරන බවත් පැවසීය. ඇමැතිවරයා මේ බව සදහන් කළේ අමාත්‍ය මණ්ඩල තීරණ දැනුම් දීම වෙනුවෙන් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී ඊයේ (30) පෙරවරුවේ පැවති මාධ්‍ය හමුවට එක් වෙමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඇමැති බන්දුල ගුණවර්ධන මහතා:- “ආගමික ගැටුම් සඳහා ඉතා විශාල සමාජ මාධ්‍ය භාවිතය මඟින් ආගමික, වාර්ගික හැඟීම් අවුළුවන හා ආවේගජනක ලෙස වෛරය පතුරුවන විවිධ කණ්ඩායම් සූක්ෂ්ම වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරනවා. මේ සම්බන්ධයෙන් ආරක්ෂක මණ්ඩලයට දැනුම් දී තිබෙනවා. බුද්ධි අංශ විසින් ඒ සම්බන්ධයෙන් සොයාගත් තොරුතුරු දැනුම් දී තිබෙනවා. වගකිව යුතු රජයක් ලෙස ඒ සම්බන්ධයෙන් පූර්ණ අවධානයෙන් සිටින ලෙස ජනාධිපතිවරයා ආරක්ෂක අංශ වෙත උපදෙස් දී තිබෙනවා. ගිනිපෙණෙල්ලෙන් බැට කෑ අය කණාමැදිරි එළියටත් බයයි කියනවා වගේ අප මෙවැනි ආගමික හා වාර්ගික ගැටුම්වලට දීර්ඝ කාලයක් මුහුණ දීලා, දුක වේදනාව අසා තිබෙන ජාතියක්. පාස්කු ඉරුදින ප්‍රහාරය අපට කියා දී තිබෙන පාඩම තමයි මෙවැනි තත්ත්වයක් ඇති වන ස්වරූපයක් තිබෙනවා නම් ඒ ස්වරූපය පවා සොයා බලා අවශ්‍ය පියවර කල් ඇතිව ගන්න. නිරායුධ අහිංසක සාමකාමි මිනිසුන්ගේ යහපැවැත්මට බාධා වන කිසිම දෙයක් වෙන්න රජය ඉඩ දෙන්නේ නැහැ