ශ්‍රී ලංකාවේ ජාතික, ආගමික හා සංස්කෘතික වශයෙන් සුවිශේෂී වැදගත්කමක් හිමි වන පොසොන් පොහෝ දිනය නිමිති කරගෙන මිහින්තලය, අනුරාධපුර අටමස්ථානය සහ තන්තිරිමලේ ඇතුළු බෞද්ධ සිද්ධස්ථාන වන්දනා කිරීම සඳහා ගමන් ගන්නා ජනතාව වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සැලසුමක් සකස් කරන ලෙස ප්‍රවාහන, මහාමාර්ග හා ජනමාධ්‍ය ඇමැති ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා විසින් ලංකා ගමනාගමන මණ්ඩලය වෙත උපදෙස් දී ඇත.

ලංකා ගමනාගමන මණ්ඩලයේ සභාපති ලලිත් ද අල්විස් මහතාගේ ප්‍රධානත්වයෙන් රජරට, කොළඹ සහ මහනුවර ප්‍රදේශීය කළමනාකරුවන් ඇතුළු නිලධාරීන්ගේ සහභාගිත්වයෙන් පැවැති සාකච්ඡාවකින් අනතුරුව බස්රථ 502ක්‌ යොදවමින් මගී ජනතාව වෙත ප්‍රවාහන පහසුකම් සැලසීමට ලංකා ගමනාගමන මණ්ඩලය කටයුතු යොදා ඇත. ඒ වෙනුවෙන් අනුරාධපුර ඩිපෝව මගින් බස්රථ 85ක්, පොලොන්නරුව ඩිපෝවෙන් බස්රථ 125ක්‌, හොරොව්පතාන ඩිපෝවෙන් බස්රථ 45ක්‌, කැකිරාව ඩිපෝවෙන් බස්රථ 35ක්, කැබිතිගොල්ලෑව ඩිපෝව මගින් බස්රථ 32ක්‌, දඹුල්ල ඩිපෝවෙන් බස්රථ 50ක් බැතිමතුන් සඳහා බස්රථ 372ක්‌ ධාවනයේ යෙදවීමට කටයුතු කර ඇත. ඊට අමතරව අනුරාධපුරය හා මිහින්තලය සම්බන්ධ කරමින් තවත් බස් රථ 60ක්‌, මහනුවර සිට අනුරාධපුරය දක්වා විශේෂ බස්රථ 20ක්‌, කුරුණෑගල සිට අනුරාධපුරය දක්වා දිනකට විශේෂ ගමන් වාර සඳහා බස් රථ 50ක් වශයෙන් බස්රථ 502ක්‌ මෙවර අනුරාධපුර පොසොන් වන්දනා සමය වෙනුවෙන් ලංකා ගමනාගමන මණ්ඩලය විසින් ධාවනයට එක් කර ඇත.

සාමාන්‍ය ගමන් වාරවලට අමතරව අතිරේක බස්රථ 05 බැගින් ධාවනයේ යෙදවීමට කටයුතු සූදානම් කර ඇති අතර මේ සියලු සේවා ජුනි මස 02 වැනි දින ප.ව.06.00 සිට ජුනි 05 වැනි දින ප.ව.06.00 දක්වා ක්‍රියාත්මක කිරීමට ඇමැති ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා විසින් උපදෙස් දී ඇත.