රාජ්‍ය මාධ්‍ය ආයතනවල ක්‍රියාකාරිත්වය විධිමත් කිරීමට ජනාධිපති සහ මුදල් ඇමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙස් පරිදි ස්වෙච්ඡා විශ්‍රාම වන්දි ක්‍රමයක් යටතේ සේවක සංඛ්‍යාව පහත හෙළීමට අදාළ වන්දි කටයුතු වෙනුවෙන් ජාතික රූපවාහිනියට රුපියල් මිලියන 300ක් ද, ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවට රුපියල් මිලියන 300ක් ද මහා භාණ්ඩාගාරයේ සෘජු පාලනයට අයත් නොවන එමෙන්ම මහා භාරකාර දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කොටස් හිමියා වන සීමාසහිත එක්සත් ප්‍රවෘත්ති පත්‍ර සමාගමට රුපියල් මිලියන 300ක් ද 2023 අය-වැයෙන් ජනමාධ්‍ය අමාත්‍යාංශ වැය ශීර්ෂය යටතේ දීමට තීරණයවී තිබේ.

ප්‍රවාහන, මහාමාර්ග හා ජනමාධ්‍ය ඇමැති, ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා කළ විශේෂ ඉල්ලීමක් අනුව ජනාධිපතිවරයා මේ තීරණය ගෙන ඇත.

සෘජුවම ලේක්හවුස් ආයතනයට එම මුදල දීමට මහා භාණ්ඩාගාරයට ප්‍රතිපාදන නොමැති නිසා ලේක්හවුස් ආයතනය ගැසට් කර තිබෙන ජනමාධ්‍ය අමාත්‍යාංශය හරහා ඊට මුදල් දීමට නියෝජ්‍ය භාණ්ඩාගාර ලේකම් ඒ. කේ. සෙනෙවිරත්න, අය-වැය අධ්‍යක්ෂ ජනරාල් ජූඩ් නිලක්ෂන්, භාණ්ඩාගාර මෙහෙයුම් අධ්‍යක්ෂ ජනරාල් දිලිත් සිල්වා මහත්වරුන්ගේ සහභාගිත්වයෙන් පැවති රැස්වීමකදී තීරණයවී තිබේ.

මෙහිදී ජනමාධ්‍ය අමාත්‍යාංශය සහ ලේක්හවුස් ආයතනය අතර අවබෝධතා ගිවිසුමක් අත්සන් තැබිය යුතු බවටත්, එහි ප්‍රගතිය වරින් වර ජනමාධ්‍ය අමාත්‍යාංශය විසින් මුදල් අමාත්‍යාංශය වෙත ලබා දිය යුතු බවටත් එම ගිවිසුමේ කොන්දේසි නිසි පරිදි ඉටු කරන්නේ ද යන්න සම්බන්ධයෙන් ජනමාධ්‍ය අමාත්‍යාංශයෙන් මුදල් අමාත්‍යාංශයට වාර්තා කළ යුතු බවටත් එහිදී තීරණයවී ඇත.

වසර 2022දී 1200ක් පමණ වූ ලේක්හවුස් සේවක සංඛ්‍යාව 972ක් දක්වා අඩු කර තිබූ අතර, මේ වසර අවසන් වන විට සේවක සංඛ්‍යාව 900ක් දක්වා අඩු කිරීමට නියමිතව ඇත. 2024 වසර අවසන් වන විට ආයතනයේ ස්ථීර සහ කොන්ත්‍රාත් පදනම මත සිටින සමස්ත සේවක සංඛ්‍යාව 850ක් දක්වා අඩු කිරීමට මේ ගිවිසුමෙන් එකඟවී ඇත.

මේ අතර නිසි කාර්ය සාධන ක්‍රමවේද ක්‍රියාත්මක කිරීමට පුහුණුව හා සංවර්ධනය සඳහා අවශ්‍ය පියවර ගන්නා අතරම, වාර්ෂික කාර්ය සාධන සමාලෝචනයේදී සේවකයාගේ වත්මන් කාර්ය සාධන මට්ටම ඇඟයීමටත් කටයුතු කරනු ඇත.

පසුගිය සැප්තැම්බර් මාසයේ සිට මේ දක්වාම ලාභ ලබන රාජ්‍ය මාධ්‍ය ආයතනයක් බවට පත්ව ඇති ලේක්හවුස් ආයතනයට ගිවිසුම්ලත් සේවක සංඛ්‍යාව ඉක්මවා යන පරිදි මින් ඉදිරියට බඳවා ගැනීම් සිදු කරන්නේ නම් ඒ සඳහා ඇමැති මණ්ඩල අනුමැතිය ගත යුතු බව ද ගිවිසුමේ දැක්වේ.

එමෙන්ම සෑම අවස්ථාවකදීම ස්ථාවර මූල්‍ය තත්ත්වයක් පවත්වාගෙන යෑමට හැකි සෑම උත්සාහයක්ම දැරිය යුතු බවත්, සීමාසහිත එක්සත් ප්‍රවෘත්ති පත්‍ර සමාගමේ සාංගමික සංස්ථා පත්‍රය යටතේ දක්වා ඇති සමාගම පිහිටුවීමේ අරමුණු 61 පිළිබඳව නැවත සමාලෝචනයක් කිරීමටත් සංශෝධන අවශ්‍ය වන්නේ නම් ඒ සඳහා නියමිත අනුමැතීන් ගෙන සුදුසු පරිදි යාවත්කාලීන කිරීමටත්, මේ අවබෝධතා ගිවිසුමෙන් එකඟතාව පළ කර තිබේ.

ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් අනූෂ පැල්පිට සහ ලේක්හවුස් ආයතනයේ නීති හා පරිපාලන අධ්‍යක්ෂ නීතිඥ ජනක රණතුංග මහත්වරුන් විසින් අදාළ ගිවිසුම අත්සන් කරන ලදි.

මේ අවස්ථාවට ජනමාධ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම් ලෝෂනි පීරිස්, අතිරේක ලේකම් ඊ. එම්. එස්. බී. ජයසුන්දර, නීති නිලධාරිනී නීතිඥ යුරේකා වේලාරත්න, සැලසුම් අධ්‍යක්ෂ ඩබ්ලිව්. පී. සෙව්වන්දි, ලේක්හවුස් කර්තෘ මණ්ඩල අධ්‍යක්ෂ සිසිර පරණතන්ත්‍රී, සාමාන්‍යාධිකාරී සුමිත් කොතලාවල, අතිරේක සාමාන්‍යාධිකාරි විරාජිත් බොයිස් සහ ලේක්හවුස් ආයතනයේ සමාගම් ලේකම් සුදර්ශි හේවාවසම් මහත්ම මහත්මීහු ද මේ අවස්ථාවට එක්ව සිටියහ