• චීනය සහ ඉන්දියාව සමඟ මෙන්ම කලාපීය සහ ගෝලීය සබඳතා පුළුල් කර ගැනීම ජනපතිගේ අරමුණයි – විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය තාරක බාලසූරිය.

නිදහස් ශ්‍රී ලංකාවේ හොඳම විදේශ ප්‍රතිපත්තිය ක්‍රියාත්මක වන්නේ වත්මන් යුගයේ බව විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය තාරක බාලසූරිය මහතා පැවසීය.

ලෝකයේ සියලු රටවල් සමඟ සමීපව කටයුතු කරමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ගෙන යන නොබැඳි විදේශ ප්‍රතිපත්තිය හේතුවෙන් ඉදිරියේ දී ශ්‍රී ලංකාවට සංවර්ධන ප්‍රතිලාභ රැසක් උදාවනු ඇති බවද රාජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දුන්නේය .

විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය තාරක බාලසූරිය මහතා මෙම අදහස් පළ කර සිටියේ ‘ස්ථාවර රටකට සැවොම එක මඟකට’ මැයෙන් අද (26) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක් වෙමිනි.

චීනය සහ ඉන්දියාව සමඟ මෙන්ම කලාපීය සහ ගෝලීය වශයෙන් සියලු රටවල් සමඟ ආර්ථික සහ වෙළෙඳ සබඳතා පුළුල් කර ගැනීම ජනාධිපතිතුමාගේ අරමුණ බවත් ඒ වෙනුවෙන් ඉදිරියේ දී නිල සංචාර කිහිපයක යෙදීමට සැලසුම් කර තිබෙන බවත් රාජ්‍ය අමාත්‍යවරයා පැවසීය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ රාජ්‍ය අමාත්‍ය තාරක බාලසූරිය මහතා මෙසේද පැවසීය,

සමහර ආණ්ඩු චීන රජය සමඟ සමීප සම්බන්ධතා පවත්වාගෙන ගියා වගේම චෝදනාවන්ට ද ලක් වුණා. ඒ වගේම ඇතැම් ආණ්ඩු බටහිර සබඳතාවලට වැඩි ඉඩක් ලබාදී තිබෙන බවට චෝදනා ලැබුවා. වත්මන් රජය ගෙන යන විදේශ ප්‍රතිපත්තිය හා සබඳතා ඉහළ මට්ටමක පවතින නිසා අද එවන් චෝදනා එල්ල වන්නේ නැහැ.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අනුගමනය කරන්නේ නොබැඳි විදේශ ප්‍රතිපත්තියක්. එහිදී අපේ අසල්වාසී ඉන්දියාව සමඟ පවත්වන සමීප සම්බන්ධතාව රටක් ලෙස අපට ඉතාමත් වැදගත්. රටේ ඉදිරි සංවර්ධනයටත් එය මනා පිටිවහලක් වෙනවා.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පසුගියදා සිදු කළ ඉන්දීය සංචාරයේ දී ඉන්දියාව සමඟ පවතින සබඳතා තවදුරත් වැඩිදියුණු කර ගැනීමට හැකියාව ලැබුණා. ඒ වගේම දෙරට අතර ක්‍රියාත්මක සංවර්ධන වැඩසටහන්වල මෙන්ම ආයෝජන සම්බන්ධවද සාධනීය ලක්ෂණ දක්නට ලැබෙනවා.

අපේ රටට ගෙන්වාගත හැකි කන්ටේනර්වලින් 85%ක්ම යන්නේ ඉන්දියාවට. ඒ නිසා ඉන්දියාව සමග යම්කිසි ගිවිසුමකට පැමිණ අපේ රටේ පවතින වරායන් දියුණු කළහොත් අපට ආර්ථිකමය වශයෙන් විශාල වාසියක් ලබා ගත හැකියි. ඒ වගේම දෙරට අතර සෘජු නෞකා සේවාවක් සහ පලාලි ගුවන් තොටුපළ වැඩිදියුණු කිරීම පිළිබඳවත් මේ වන විට සාකච්ඡා සිදු කරමින් සිටිනවා.

ඒ වගේම ශ්‍රී ලංකාව බලශක්ති කේන්ද්‍රස්ථානයක් ලෙස ගොඩනැඟීම සම්බන්ධව අවධානය යොමුවී තිබෙනවා. මුහුදු සුළං බලශක්තිය, සූර්ය විදුලි බලශක්තිය මෙන්ම හරිත බලශක්තිය ඉදිරියේදී දියුණු කළ හැක්කේ කෙසේද යන්න පිළිබඳව ද අවධානය යොමු කර තිබෙනවා. ත්‍රිකුණාමලය තෙල් ටැංකි සංකීර්ණය නවීකරණය කිරීම වගේම දෙරට අතර වෙළෙඳාම දියුණු කළ හැක්කේ කෙසේද යන්න පිළිබදවත් අවධානය යොමුව ඇති බව කිව යුතුයි.

එසේම ජනාධිපතිතුමා ඉදිරියේ දී චීනයේ සහ තවත් රටවල් කිහිපයක නිල සංචාරවලට එක්වීමට නියමිතව තිබෙනවා.

රටක් ලෙස සංවර්ධන අරමුණු ඉටුකර ගැනීමේ දී ඉන්දියාව, චීනය සමඟ පමණක් නොවෙයි, ලෝකයේ වෙනත් දියුණු රටවල් සමඟ ද පවතින සම්බන්ධතා වැඩිදියුණු කරගත යුතුයි.

විදේශ කටයුතු අමාත්‍යාංශය හරහා මෙතෙක් ක්‍රියාත්මක වූයේ රටවල් සමඟ දේශපාලන සබඳතා දියුණු කර ගැනීමේ ප්‍රතිපත්ති පමණයි. නමුත් ඒ හා සමානව ලෝකයේ සිටලු රටවල් සමඟ ආර්ථික සහ සාමාජයීය වශයෙන් සබඳතා වර්ධනය කර ගන්නේ කෙසේ ද යන්න පිළිබඳවත් මේ වන විට රජයේ අවධානය යොමුව තිබෙනවා.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ගෙන යන නොබැඳි විදේශ ප්‍රතිපත්තිය නිසා අද සියලු රටවල සහාය අපේ රටට ලබා ගැනීමට හැකියාව ලැබී තිබෙනවා. වත්මන් විදේශ ප්‍රතිපත්තිය ලංකා ඉතිහාසයේ විදේශ සබඳතාවල හොඳම යුගය ලෙස හැඳින්විය හැකියි.

මේ නිසා ජාත්‍යන්තරයේ සියලු රටවල් සමඟ සමීපව කටයුතු කිරීමට මෙන්ම රටට සංවර්ධන ප්‍රතිලාභ රැසක් අත්කර ගැනීමට ද හැකිවී තිබෙනවා.