රුවන්මැලි මහා සෑය, අභයගිරිය, ජේතවනාරාමය වැනි මෙරට විශිෂ්ට නිර්මාණ මඟින් අතීතයේ ගෘහ නිර්මාණ ශිල්පය අත් කරගෙන සිටි විශිෂ්ටත්වය හා ප්‍රමිතිය යළි ඇති කරලීමට අවශ්‍ය පහසුකම් සලසා දීමට රජය සූදානම් බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. එසේම අනාගත දේශගුණික විපර්යාසවලට ගැළපෙන ගෘහ නිර්මාණකරණයක අවශ්‍යතාව ශ්‍රී ලංකාව තුළ පවතින බවද ජනාධිපතිවරයා කියා සිටියේය. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කරළේ පෙරේදා (5) කොළඹ සිනමන්ඩ් ග්‍රෑන්ඩ් හෝටලයේ පැවති ගෘහ නිර්මාණ ශිල්පීන්ගේ ජාත්‍යන්තර සම්මන්ත්‍රණය අමතමිනි.

‘ගෘහ නිර්මාණ ශිල්පය: කල් පවත්නා බලපෑමක්‘ තේමාව යටතේ බ්‍රිතාන්‍ය ගෘහ නිර්මාණ ශිල්පීන්ගේ රාජකීය ආයතනය (RIBA) ශ්‍රී ලංකාවේ අමෙරිකානු වාස්තු විද්‍යා ආයතනය (AIA) ශ්‍රී ලංකාවේ ඉතාලි තානාපති කාර්යාලය සමඟ එක්ව මේ සම්මන්ත්‍රණය සංවිධානය කර තිබූ අතර, ශ්‍රී ලංකාවේ සහ දකුණු හා අග්නිදිග ආසියා කලාපයේ ගෘහ නිර්මාණ ශිල්පීන් ඇතුළු 350කට ආසන්න පිරිසක් මීට එක්ව සිටියහ.

මෙහිදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙසේද පැවසීය:

“ශ්‍රී ලංකාවේ ඉතිහාසය දෙස බැලූ විට ගෘහ නිර්මාණ ක්ෂේත්‍රයේ සාඩම්බර සිහිවටන අපට තිබෙනවා. රුවන්මැලි මහා සෑය, අභයගිරිය, ජේතවනාරාමය වැනි නිර්මාණ ශ්‍රී ලංකාව ලෝකයට ගෙන ගිය ඉදිකිරීම් බව කිව හැකියි. මෙරට විස්මිත නිර්මාණයන් පිළිබඳ හොඳම වාස්තු විද්‍යාත්මක උදාහරණය සීගිරියයි. පොලොන්නරුවේ දකින්න තිබෙන විස්මිත ඉදි කිරීම්වලට වසර 2000කට වඩා පැරණි ඉතිහාසයක් තිබෙනවා. දහනව වැනි සියවසේදී මහනුවර ත්‍රිත්ව විද්‍යාලයේ චැපල් ශාලාව, කැලණි විහාරය, ලේක්හවුස් ගොඩනැඟිල්ල, පේරාදෙණිය විශ්වවිද්‍යාලය, නිදහස් චතුරස්‍රය, ජෙෆ්රි බාවා නිර්මාණය කළ ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව මෑත ඉතිහාසයේ සිදු කළ විස්මිත නිර්මාණ අතරට ගැනෙනවා.

“පසුගිය වසර දෙකක කාලය තුළ ශ්‍රී ලංකාවේ ඇති වූ ආර්ථික අර්බුදය නිසා ඉදිකිරීම් ක්ෂේත්‍රයේ යම් කඩාවැටීමක් සිදු වුණා; ඉදිකිරීම් ක්ෂේත්‍රයේ දහස් ගණනකට රැකියා අහිමි වුණා. මේ ආර්ථික කඩාවැටීමට පෙර අපේ රටේ විශාල ව්‍යාපෘති ගණනාවක් ක්‍රියාත්මක වුණා. කොන්ක්‍රීට් මාර්ග ඉදිකිරීම් ඇතුළු දැවැන්ත ව්‍යාපෘති රැසක් ඊට ඇතුළත්. ඒත් පසුගිය කාලයේ ගෙන ගිය අවිධිමත් ක්‍රියාවලිය නිසා රටට ණය අර්බුදයකට මුහුණ දීමට සිදු වුණා. කෙසේ වෙතත් ඉදිකිරීම් ක්ෂේත්‍රය ප්‍රතිව්‍යූහගත කිරීමකට ලක් විය යුතු බව මා විශ්වාස කරනවා. රජය ගෙන යන ණය ප්‍රශස්තකරණ වැඩපිළිවෙළ අවසන් වීමෙන් පසු ඉදිකිරීම් ක්ෂේත්‍රය තුළ නැවත අවස්ථා රැසක් නිර්මාණය වනු ඇති. මීට පෙර ඉදිකිරීම් ක්ෂේත්‍රය ලබා තිබූ ප්‍රගතිය අපට වේගයෙන් අත් කරගත නොහැකි වුවත් යම් යහපත් මට්ටමකට ළඟා වීමේ හැකියාව තිබෙනවා. එසේම විදේශ ආයෝජන මෙරටට ගලා ඒමට පටන් ගැනීමත් සමඟ මේ කටයුතු සාර්ථක කරගැනීමේ හැකියාව පවතිනවා.

“කොළඹ නගරයේ තිබෙන වටිනා ඉඩම් ශ්‍රී ලංකාවේ ආර්ථිකයට වැදගත් වන ව්‍යාපෘති සඳහා දිය යුතුයි. අඩු හා මධ්‍ය ආදායම්ලාභි නිවාස ව්‍යාපෘති නගරයෙන් පිටත ඉදි කර, නගරයේ වටිනා ඉඩම් ආයෝජන සඳහා දෙනවා නම්, එමඟින් මෙරට ආර්ථිකයට ඉහළ ප්‍රතිලාභ අත් කරගත හැකියි. ඒ වගේම කොළඹ නගරයේ ඇති වැලිකඩ බන්ධනාගාරය වෙනත් ස්ථානයකට ගෙන ගොස් එම ස්ථානය වාණිජ අවස්ථාවක් සඳහා දුන හොත් මෙරට ආර්ථිකයට ලැබෙන ප්‍රතිලාභය පිළිබඳ ඔබ සිතා බලන්න. එතැන් සිට දුම්රිය මාර්ගය දක්වා තිබෙන ඉඩම විශාල ආයෝජනයක් සඳහා යෙදවිය හැකියි. එය ශ්‍රී ලංකා ආර්ථිකයට ඍජුව බලපාන ව්‍යාපෘතියක් වනු ඇති බව අපේ විශ්වාසයයි.

“සංචාරක ක්ෂේත්‍රයේ ප්‍රවර්ධනය වෙනුවෙන් අප මේ වන විට වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කර තිබෙනවා. එහි ප්‍රතිඵලයක් ලෙස වාර්ෂිකව මෙරටට පැමිණෙන සංචාරයකයන්ගේ ප්‍රමාණය මිලියන 2.5 සිට මිලියන 5 දක්වා වැඩි වනු ඇතැයි අපේක්ෂා කරනවා. ඒ නිසා මෙරට හෝටල් ගොඩනැඟිලි නවීකරණය අවශ්‍ය වෙනවා. එහිදී මෙරට ගෘහ නිර්මාණ ශිල්පය ඉතා වැදගත්. වරාය නගරයේ රජයට අයත් කොටසේ ඉදිකිරීම් සඳහා අපේ ගෘහ නිර්මාණ ශිල්පීන්ගේ උපදෙස් ගැනීමට මා බලාපොරොත්තු වෙනවා. ඉදිරියේදී ගෘහ නිර්මාණ ශිල්පීන් සඳහා රට තුළ මෙන්ම රටින් පිටත හොඳ අවස්ථා නිර්මාණය වී තිබෙනවා. ඉන්දියාවේ ඒ සඳහා පුළුල් අවස්ථාවන් පවතින අතර, දැනටමත් ඒ වෙනුවෙන් ආරාධනා ලැබී තිබෙනවා. ඒ නිසා ගෘහ නිර්මාණ ශිල්පීන් සහ වාස්තු විද්‍යඥයන් තම දියුණුව වෙනුවෙන් මේ අවස්ථා භාවිත කළ යුතු අතර, හොඳ නාමයක්ද ගොඩනඟාගත යුතුයි.

“කොළඹ ඉතා සුන්දර නගරයක් බවට පත් කිරීමට ඔබට හැකියාව තිබෙනවා. ත්‍රිකුණාමලය නගර සංවර්ධන සැලැස්ම මේ වන විටත් අප ඉදිරිපත් කර තිබෙනවා. ත්‍රිකුණාමලය, මඩකලපුව, වේරුගල්ආරු දක්වා සංචාරක පුරයක් ඇති කිරීමට එමඟින් බලාපොරොත්තු වනවා. එහි නිර්මාණ සැලසුම් සඳහා ඔබටත් දායක විය හැකියි. එසේම රාජ්‍ය නොවන විශ්විද්‍යාල නිර්මාණය කිරීමටද ඉදිරියේදී සැලසුම් කර තිබෙනවා.

“විධිමත් නගර සැලසුම් ව්‍යාපෘති ඔස්සේ සෑම නගරයක්ම අලංකාර නගර බවට පත් කිරීම සඳහා නව පනතක් ගෙන ඒමටද ඉදිරියේ දී කටයුතු කරනවා. ඒ නගර සංවර්ධන කටයුතු සඳහා අවම වශයෙන් ඉංජිනේරුවන් 10,000ක ප්‍රමාණයක් අපට අවශ්‍යයි. එසේම ගෘහ නිර්මාණ ශිල්පීන් වගේම තොරතුරු තාක්ෂණ විශේෂඥයන් අවශ්‍යයි.

මහනුවර නගරය තුළ විධිමත් නගර සංවර්ධන සැලැස්මක් නැවත ක්‍රියාත්මක කිරීමට අප ජපාන රජය සමඟ සාකච්ඡා කරනවා. ඒ නව නගර සැලැස්ම සහ පාලම පේරාදෙණිය දක්වා දීර්ඝ කළ යුතුයි. ඒ වගේම නැවත විධිමත් සංවර්ධනයකට ලක් කළ යුතු තවත් නගර තිබෙනවා. මේ සියලු කටයුතු අප සිදු කළ යුතුයි. එම අභියෝගය භාර ගැනීමට ඔබ සූදානම් වන්න.

“දේශගුණික විපර්යාසවලට මුහුණ දීමේ ඉලක්ක ජය ගැනීම වෙනුවෙන් ශ්‍රී ලංකාව කැප වී සිටිනවා. මා 2016 වසරේ එම වගකීම භාර ගෙන ඒ වෙනුවෙන් කැප වී කටයුතු කළා. දේශගුණික විපර්යාසවලට මුහුණ දීමේ න්‍යාය පත්‍රය වේගවත් කරන ලෙස එක්සත් ජාතීන්ගේ සැසියේදී මහලේකම්වරයා සියලු සාමාජික රටවල් වෙත දැනුම් දුන්නා. අද යුරෝපයේ විශාල ළැව් ගිනි ඇතිව තිබෙනවා. ඒ නිසා 2050ට පෙර මේ අරමුණු ජය ගැනීම පිළිබඳ ශ්‍රී ලංකාව සොයා බලමින් සිටිනවා. ඒ වගේම අපේ ගෘහ නිර්මාණ ශිල්පීන් දේශගුණික විපර්යාස පිළිබඳ නිර්ණායකවලටද අනුකූල විය යුතුයි. අනාගත දේශගුණ විපර්යාසවලට ගැළපෙන නිර්මාණ කිරීමට මෙරට ගෘහ නිර්මාණ ශිල්පීන් හැඩගැස්විය යුතුයි. ඒ සඳහා නිසි ප්‍රමිතියක් ඇති කිරීමේ වගකීම ඔබට පැවරෙනවා. මෙරට ඉදිකිරීමට යෝජිත දේශගුණික විපර්යාස පිළිබඳ ජාත්‍යන්තර විශ්ව විද්‍යාලයට ඇතුළත් කළ යුතු අංශ කිහිපයක්ද අප මේ වන විට හඳුනාගෙන සිටිනවා.

“මෑත යුගයේ මෙරට ඉදි කර තිබෙන ඇතැම් ගොඩනැඟිලි වසර 1000ක් 2000ක් පවත්වා ගෙන යන්න බැහැ. එබැවින් අතීතයේ මෙරට ගෘහ නිර්මාණ ශිල්පය අත් කරගෙන සිටි ප්‍රමිතිය සහ විශිෂ්ටත්වය යළි ගෘහ නිර්මාණ ශිල්පයට එක් කරගත යුතුව තිබෙනවා. එම වගකීම ඔබ භාර ගත යුතුයි.“

අමෙරිකානු ‍නියෝජ්‍ය තානාපති ඩග්ලස් ‍‍ සොනෙක්, බ්‍රිතාන්‍ය වැඩබලන මහ කොමසාරිස් ලීසා වොන්ස්ටොල් යන මහත්ම මහත්මීන් ඇතුළු පිරිසක්ද මේ අවස්ථාවට එක්ව සිටියහ.