ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ දැක්මට අනුව වර්ෂ 2048 වන විට විදුලියෙන් ක්‍රියාත්මක බස් රථ මෙරට පොදු මඟී ප්‍රවාහන සේවයට එක් කිරීමට අපේක්ෂා කරන බවත්, ඊට අදාළ මූලික පියවර ඉදිරි මාස කිහිපය තුළ ක්‍රියාත්මක කිරීමට නියමිත බවත් මහාමාර්ග සහ ජනමාධ්‍ය ඇමැති, ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා සඳහන් කළේය. මෙරට පොදු ප්‍රවාහන ක්ෂේත්‍රයේ දීර්ඝකාලීනව පවතින ගැටලුවලට විසඳුම් දෙමින් ජාතික ගමනාගමන ප්‍රතිපත්තියක් හඳුන්වා දීමට සහ පොදු ප්‍රවාහන සේවාව තුළ ඒකාබද්ධ කාලසටහන් හා විද්යුත් ටිකට් පත් හඳුන්වා දීමේ වැඩපිළිවෙළක්ද සැලසුම් කර ඇති බවත් ඇමැතිවරයා පෙන්වා දුන්නේය. ඇමැතිවරයා මේ බව අනාවරණය කළේ ප්‍රවාහන රාජ්‍ය ඇමැති ලසන්ත අලගියවන්න, ජනාධිපති ලේකම් සමන් ඒකනායක සහ ප්‍රවාහන අමාත්‍යාංශයේ ලේකම් ප්‍රියන්ත මායාදුන්නේ යන මහත්වරුන් සහ නිලධාරීන්ගේ සහභාගිත්වයෙන් ජනාධිපති කාර්යාලයේදී පෙරේදා (7) පැවැත්වුණු සාකච්ඡාවකදීය.

මේ වන විට මඟී ප්‍රවාහන ක්ෂේත්‍රයේ පවතින කළමනාකාරිත්ව ගැටලු හා අකාර්යක්ෂමතා හේතුවෙන් මඟී ජනතාව සහ බස් රථ හිමියන්ට මුහුණ දීමට සිදුව ඇති ගැටලු පිළිබඳ මෙහිදී සාකච්ඡා කෙරුණු අතර, නවීන තාක්ෂණය භාවිත කරමින් මඟී ප්‍රවාහන ක්ෂේත්‍රයේ ගුණාත්මක භාවය ඇති කිරීමට කටයුතු කිරීමේ අවශ්‍යතාව අවධාරණය කෙරිණි. මඟී ප්‍රවේශ පත්‍ර මිල දී ගැනීම සම්බන්ධව සියලු පාර්ශ්වයන්ට ඇති වන ගැටලු මඟහරවාගැනීම සඳහා ඊ-ටිකටින් ක්‍රමය යෝජනා වී ඇති බවත්, මේ සඳහා මුදල් අමාත්‍යාංශයේ අනුමැතිය හිමිව ඇති බවත් ඇමැති බන්දුල ගුණවර්ධන මහතා මෙහිදී සඳහන් කළේය. ජාතික බස් සංගම් 7ක්ද මේ වන විට ඒ සඳහා එකඟතාව පළ කර ඇති බවත්, පළාත් මට්ටමින්ද ඒ පිළිබඳ අදහස් රැස් කිරීම කඩිනමින් සිදු කරන බවත් රාජ්‍ය ඇමැති ලසන්ත අලගියවන්න මහතා මෙහිදී ප්‍රකාශ කළේය. එසේම මේ වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීම සඳහා පළාත් 9ට අදාළව නියෝජිතයන් 9 දෙනකු පත් කර, ජාතික ගමනාගමන කොමිෂන් සභාවට දැනුම් දෙන ලෙසද රාජ්‍ය ඇමැතිවරයා විසින් උපදෙස් දෙනු ලැබීය.

ඉදිරියේදී බස් රථ සඳහා ප්‍රවාහන බලපත්‍ර නිකුත් කිරීමේදී ජීපීඑස් තාක්ෂණය සහ ඊ-ටිකටින් සේවාව ක්‍රියාත්මක වීම ප්‍රධාන නිර්ණායකයක් ලෙස සලකා බලන බවද මෙහිදී සඳහන් කෙරුණු අතර, කොට්ටාව බස් නැවතුම්පොළ, මාකුඹුර බහුවිධ මඟී ප්‍රවාහන මධ්‍යස්ථානය හා ඒකාබද්ධ කිරීම සඳහා කටයුතු කිරීමටද යෝජනා විය. ජාතික ගමනාගමන කොමිසමේ සභාපති ශෂී වෙල්ගම මහතා සහ පළාත් මාර්ගස්ථ මඟී ප්‍රවාහන ආධිකාරිවල නිලධාරීහුද මේ සාකච්ඡාවට එක්ව සිටියහ.