ජාතික රූපවාහිනියේ සම්භාව්‍ය සිනමා කෘති ජනගත කිරීමේ ‘සිනෙ ඡායා’ වැඩසටහන යටතේ අද (11) රාත්‍රි 10ට වම් ඉවුරේ ප්‍රමුඛතම සිනමාකරු වන, ආචාර්ය ධර්මසේන පතිරාජ අධ්‍යක්ෂණය කළ ‘සොල්දාදු උන්නැහේ’ චිත්‍රපටය විකාශය කෙරේ. ඊට පෙරාතුව සොල්දාදු උන්නැහේ චිත්‍රපටය පිළිබඳ රාත්‍රි 9.30ට පැවැත්වෙන චිචාරයට ප්‍රවීණ සිනමා විචාරකයන් වන ගාමිණී වේරගම සහ චතුර ජයතිලක එක්වෙති.
මෙරට දේශපාලන සිනමාවේ වැදගත් සන්ධිස්ථානයක් වන මේ චිත්‍රපටය විචාරක දර්ශකයේ එකොළොස් වන තැන දිනා ගන්නා ලදි.
එච්. ඒ සෙනෙවිරත්නගේ ‘සොල්දාදුවා’ නමැති කෙටිකතාව කියවීමෙන් ලද පන්නරයෙන් මේ චිත්‍රපටයට පෙලඹීමක් ඇති වූ බවත් නිදහස් දිනය තුළ වන සිදුවීම් පෙළක් වටා ගෙතෙන මෙහි කතාව පිළිබඳ ආචාර්ය ධර්මසේන පතිරාජයන් අදහස් දක්වා ඇත.
ජෝ අබේවික්‍රම, මාලනී ෆොන්සේකා, හෙන්රි ජයසේන, නීල් අලස්, සිරිල් වික්‍රමගේ, දයා තෙන්නකෝන්, ක්‍රිෂ් ග්‍රීට්, රත්මලී ගුණසේකර ආදීහු රඟති.
සහාය අධ්‍යක්ෂණයෙන් ඩබ්ලිව් ජයසිරි, ගාමිණී දෑළ බණ්ඩාර ද කැමරාවෙන් ජයනාත් ගුණවර්ධන ද සහාය කැමරාකරණයෙන් එම්. ඩී. සුමතිපාල ද අංග රචනයෙන් ඊබට් විජේසිංහ ද සහාය අංග රචනයෙන් රංජිත් මතඟවීර ද සංස්කරණයෙන් සෙක්ස්ටස් අපොන්සු ද සංගීත අධ්‍යක්ෂණයෙන් ආචාර්ය, ප්‍රේමසිරි කේමදාස ද නිෂ්පාදන කළමනාකරණයෙන් දයා තෙන්නකෝන් ආදිහු ඊට දායක වූහ. වර්ෂ 1981 අප්‍රේල් 10 දින සොල්දාදු උන්නැහේ තිරගත විය.
දෙස් විදෙස් සම්මාන රැසකින් ඇගයුම් ලැබීමට සමත් වූ ආචාර්ය ධර්මසේන පතිරාජයන් ලාංකේය සිනමාවේ උන්නතිය වෙනුවෙන් සුවිශේෂී කැපවීමක් සිදු කළ සිනමාකරුවෙකි. එමෙන්ම සිනමා අධ්‍යක්‍ෂවරයෙකු පමණක් නොව තිර රචකයෙකු, නාට්‍යකරුවෙකු, සිනමාව පිළිබඳ ආචාර්යවරයෙකු මෙන්ම කොළඹ විශ්වවිද්‍යාලයේ ප්‍රසංග කලා අධ්‍යයනාංශයේ ප්‍රථම අංශාධිපතිවරයා ලෙසද අපිරිමිත සේවයක් කලා ක්‍ෂේත්‍රය වෙනුවෙන් ඉටු කළේය. සොල්දාදු උන්නැහේ චිත‍්‍රපටය ගැන ධර්මසේන පතිරාජයන්ම වරක් පැවසුවේ,
” එච්. ඒ. සෙනෙවිරත්නගේ ‘සොල්දාදුවා’ නමැති කෙටිකතාව කියැවීමෙන් ලැබූ උත්තේජනය තමයි සොල්දාදු උන්නැහේ චිත‍්‍රපටය කරන්න මට පෙළඹවීමක් වුණේ. ඒ කෙටිකතාව මා තුළ ඇති කළ කම්පනය විසින් එහි එන චරිත සහ කතා පුවත යම් ආකාරයකට සිනමා නිර්මාණයකට උචිත බව මම හිතුවා. පස්සෙ එච්. ඒ. එක්කත් කතා කරලා වෙනම තිර පිටපතක් අපි සකස් කළා.’කෙටිකතාවේ චරිත සියල්ලම චිත‍්‍රපටයට ගත්තා. නමුත් කෙටිකතාවෙ ඉන්න සොල්දාදුවා වැඩවර්ජනයකදී ඒක මැඩපවත්වන්න එන සෙබළෙක්. ඒ විදියටම චිත‍්‍රපටය නිර්මාණය කළා නම් චිත‍්‍රපටය ප‍්‍රදර්ශනය කරන්න වෙන්නෙ නෑ. ඒ කාලෙ තිබුණෙ වැඩවර්ජනවලට ලොකු ප‍්‍රතිරෝධයක් තිබුණා. ඉතින් අපි හිතුවා දෙවන ලෝක යුද්ධෙට ගිය සෙබළෙක් හැටියට මේ සොල්දාදු චරිතය ප‍්‍රතිනිර්මාණය කරන්න. මොකද දෙවන ලෝක යුද්ධෙට ගිය සොල්දාදුවෝ ලංකාවෙ හිටියා. ඒ චරිතය තුළින් සොල්දාදුවා විසින් ධනපතියන් කරන යුද්ධ පිළිබඳ කරන විවේචනයක් ඉදිරිපත් කරන්න හැකි වෙනවා. මර්දනය වෙනත් ආකාරයකින් සංකේත කරන්න ඒකෙන් හැකි වෙනවා. චිත‍්‍රපටියේ වැඩවර්ජනයත් තියෙනවා. නමුත්, සොල්දාදුවාගේ භූමිකාව එන්නෙ මර්දනකාරී හමුදා සෙබළෙක් හැටියට නෙවෙයි. ඒක තමයි අපි කරපු එකම වෙනස. ඒ වෙනස්කම කළෙත් වාරණයෙන් රිංගලා යන්න.”
එමෙන්ම, දොළොස්වැනි සිංගප්පූරු අන්තර්ජාතික සිනමා උළෙලේදී හොඳම නළුවාට හිමි සම්මානය දිනා ගනිමින් මෙරටට අතිශය කීර්තියක් ගෙන දුන් ප්‍රවීණ රංගධර ජෝ අබේවික්‍රමයන් වර්ෂ 2001 ජනවාරි 11 වැනිදා සරසවිය පුවත්පත සමඟ පැවැති සම්මුඛ සාකච්ඡාවකදී සොල්දාදු උන්නැහේ චිත්‍රපටයේ වියපත් සෙබළාගේ චරිතය ගැන කතා කළේ මෙසේය.
‘ඇත්තටම යුද්දෙට යන කොයි සෙබළාගේත් මානසික තත්ත්වය එහෙම තමයි. මේ සොල්දාදුවාගේ මිතුරා සටන් බිමේදී ඔහු ඉදිරියේම මිය යනවා. ඒ හේතුව නිසා ඔහුගේ මනස ව්‍යාකූල වෙලා පිස්සකුගේ තත්ත්වයට පත් වෙනවා. මේ චරිතය තුළ ඊට යටින් විශාල සමාජ යථාර්ථයක් පෙන්නුම් කරනවා…’