ඊට දායකවන සියලු දෙනාට පහසුකම් සැලසීමට රජය සුදානම් – “හිල්ටන් යාල රිසෝර්ට්” අති සුඛෝපභෝගී හෝටලය විවෘත කරමින් ජනපති පවසයි.
මෙරට ආර්ථිකය ගොඩනැඟීමේ ඉලක්ක කඩිනමින් සපුරා ගත හැකි ප්‍රමුඛ ක්ෂේත්‍රය සංචාරක කර්මාන්තය බවත් වැදගත් තීන්දු තීරණ රැසක් ගනිමින් එහි ප්‍රවර්ධනය වෙනුවෙන් රජය ප්‍රමුඛ අවධානයක් යොමු කර තිබෙන බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.
එහිදී රාජ්‍ය අංශයේ මෙන්ම පෞද්ගලික අංශයේ ද උපරිම දායකත්වය ලබා ගැනීම අපේක්ෂාව බව පැවසු ජනාධිපතිවරයා ඊට දායකවන සියලු පාර්ශ්වයන්ට පහසුකම් සලසා දීමට රජය කටයුතු කරන බව ද අවධාරණය කළේය.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කළේ හිල්ටන් හෝටල් සමූහයේ අති සුඛෝපභෝගී හෝටලය වන හිල්ටන් යාල රිසෝර්ට් (Hilton Yala Resort) හෝටලය විවෘත කිරීමේ අවස්ථාවට ඊයේ (19) පස්වරුවේ එක් වෙමිනි.
දෛනිකව දෙස් විදෙස් සංචාරකයන් විශාල පිරිසක් යාල ජාතික වනෝද්‍යානයට පැමිණෙන අතර ඔවුන් ඉලක්ක කර ගනිමින් එම කලාපය පුළුල් සංවර්ධනයකට ලක් කිරීමේ අවශ්‍යතාව ජනාධිපතිවරයා මෙහිදී පෙන්වා දුන්නේය.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වැඩිදුරටත් මෙසේ ද පැවසීය,
අද යාල ප්‍රදේශයේ අලුතින් විවෘත වන මෙම හෝටලය ඉහළ මට්ටමේ සුඛෝපභෝගී හෝටලයක් ලෙස විවෘත කිරීමට ලැබීම පිළිබඳ මම සතුටු වෙනවා. මෙමගින් ඉහළ ක්‍රය ශක්තියක් සහිත සංචාරකයන් ආකර්ෂණය කර ගනිමින් සංචාරක ව්‍යාපාරයේ නව දියුණුවක්ඇති කිරීමට අවස්ථාව ලැබෙනවා. ඒ පිළිබඳ මම මෙල්වා සහ හිල්ටන් සමූහයට ස්තුතිවන්ත වෙනවා.
අතීතයේ මේ යාල ප්‍රදේශයේ සිතුල්පව්ව සහ ආකාශ චෛත්‍ය නමින් පැරණි පුදබිම් දෙකක් පැවතියා. ඒ අනුව මෙහි පැවති සශ්‍රීකත්වය සහ සහයෝගීතාව මෙන්ම විශ්මිත ඉදිකිරීම් සිහි ගැන්වෙනවා.
සංචාරක කර්මාන්තයේ නව ප්‍රවර්ධනයක් ඇති කරමින් එය ඉදිරියටට ගෙනයාම අපේ අරමුණයි. ඒ සඳහා සියලුදෙනා දායක කර ගැනීම අත්‍යාවශ්‍ය කරුණක් වෙනවා.
මෙම යාල ප්‍රදේශය සංචාරක කලාපයක් ලෙස සංවරධනය කිරීමේ දී එක් ප්‍රදේශයක් ලෙස එය සංවර්ධනය කළ යුතුයි. උඩවලව, කුමන මෙම සියලු ස්ථාන එකිනෙකට සම්බන්ධවයි පවතින්නේ. උඩවලව වන අලි මංතීරුව කුමන දක්වා විහිදෙනවා. මේ ප්‍රදේශ එක කලාපයක් ලෙස සංවර්ධනය කළ යුතුයි.
ඒ වගේම මෙම ප්‍රදේශවලට පැමිණෙන සංචාරකයන්ට අවශ්‍ය පහසුකම් ද වැඩිදියුණු කළ යුතු වෙනවා. මෙම යාල කලාපය සංවර්ධනය වෙනුවෙන් සැලැස්මක් ඉදිරිපත් කරන ලෙස මම වනජීවි හා වනසංරක්ෂණ අමාත්‍යවරයාගෙන් මෙන්ම සංචාරක අමාත්‍යවරයාගෙනුත් එම අමාත්‍යාංශ දෙකෙහි නිලධාරීන්ගෙනුත් ඉල්ලා සිටිනවා.
අප එයින් තවත් ඉදිරියට ගොස් ගල්ඔය, මාදුරුඔය, සෝමාවතිය, මින්නේරිය, වස්ගමුව වැනි ස්ථාන පිළිබඳව ද අවධානය යොමු කළ යුතුයි.
සංචාරකයන්ට කොළඹින් යාත්‍රාවකට නැග, පුත්තලමට පැමිණ දිනක් හෝ දෙකක් විල්පත්තුවේ ගතකර ආපසු යා හැකි අන්දමින් අප එම පහසුකම් වැඩිදියුණු කළයුතුයි. ඒ වගේම සංචාරකයන්ට නව අත්දැකීමක් ලැබෙන අයුරින් වනජීවි රක්ෂිත නිර්මාණය කිරීමේ අවස්ථාව පවතිනවා. ඉන්දියාවට සහ නේපාලයට ගිය විට එවැනි ස්ථාන දැකබලාගත හැකියි. අප මේ පිළිබඳ අවධානය යොමු කරමින් නව සැලැස්මක් සකස් කර ගනිමින් ඉදිරියට යා යුතුයි.
අප මෙරටට පැමිණෙන සංචාරකයන්ගේ ප්‍රමාණය දෙගුණයක් බවට පත් කරගතයුතුයි. ඒ වගේම සංචාරක ව්‍යාපාරයෙන් ලැබෙන මුදල් හතර පස් ගුණයකින් වැඩි කර ගත යුතුයි. 1981 දී මම මාලදිවයිනේ සිදු කළ සංචාරයේ දී සංචාරකයින්ගෙන් එම රටට ලැබුණු ආදායම ඩොලර් 25යි. අපේ රටට පැමිණෙන සංචාරකයන්ට වඩා අඩු පිරිසක් තමයි එදා මාලදිවයිනට පැමිණියේ. අද අපේ රටට පැමිණෙන සංචාරකයන් ප්‍රමාණය වන ලක්ෂ 25කට සමාන සංඛ්‍යාවක් මාලදිවයිනට ද පැමිණෙනවා.
අප එක සංචාරකයෙකුගෙන් අය කර ගනු ලබන්නේ ඩොලර් 200ක පමණ මුදලක්. මාලදිවයිනේ ඩොලර් 700ක් පමණ අය කර ගන්නවා. එසේ නම් සංචාරක කර්මාන්තය දියුණු කිරීමට මෙරටට පැමිණෙන සංචාරකයන්ගේ සංඛ්‍යාව මෙන්ම මිලද ඉහළ නංවා ගත යුතුයි.
මම ජනාධිපති ධූරයේ වගකීම භාර ගැනීමෙන් පසුව ණය අර්බුදයෙන් රට බේරා ගැනීම පමණක් නොව නව ආදායම් උපයා ගැනීමේ මාර්ග සකස් කිරීමේ වගකීම ද මට පැවරී තිබුණා. කර්මාන්ත සහ කෘෂිකර්මාන්ත ක්ෂේත්‍රයේ ආදායම් ලබා ගැනීමට කාලයක් ගත වෙනවා. නමුත් සංචාරක ව්‍යාපාරයෙන් අපට කඩිනමින් එම දායකත්වය ලබා ගත හැකියි.
ඒ නිසා අපේ අරමුණ සංචාරක ව්‍යාපාරය ප්‍රවර්ධනය කිරීමෙන් ආදායම් උත්පාදනය කර ගෙන ජනතා අවශ්‍යතා සපිරිමයි. මේ වසර අවසන් වන විට මෙරට සංචාරක හෝටල්වල කාමර පිරී යන තරමට සංචාරකයන් පැමිණිය හැකියි. එය දැන් සිදු වෙමින් පවතිනවා. ලබන වසර වන විට සංචාරකයන්ගෙන් කාමර පිරී යාම පමණක් නොව ඉන් ලැබෙන ආදායම දෙගුණයක් බවට පත්කරගත යුතුව තිබෙනවා.
මහනුවර ඓතිහාසික දළදා පෙරහර හා ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය නිසා මෙම වසරේ සැප්තැම්බර් මාසයේ මෙරට සංචාරක හෝටල් වෙන් කර තිබෙනවා. නත්තල් සමයේ දී මෙරටට සංචාරකයන් ගෙන්වා ගැනීමට මෙන්ම ලෝක ප්‍රසිද්ධ කලා කරුවන් මෙන්ම සංගීතවේදීන් කිහිප දෙනෙකු ලංකාවට පැමිණීමට අපේක්ෂාවෙන් සිටිනවා. බටහිර ලෝකයේ ප්‍රධාන සංගීතඥයෙක් වන ඇන්ඩ්‍රේ බුචෙලි ලබන ජනවාරි මාසයේ මෙරටට පැමිණෙන බව මේ වන විට තහවුරු කර තිබෙනවා.
ඒ වගේම ගාලු සාහිත්‍ය උළෙල ඇතුළු වැඩසටහන් රැසක් රට පුරා පැවැත්වෙනවා. අප මෙයින් අපේක්ෂා කරන්නේ සංචාරකයන් වැඩි පිරිසක් මෙරටට ගෙන්වා ගෙන රටට අවශ්‍ය මුදල් උත්පාදනය කර ගැනීමයි. ඒ සමගම මෙය ආදායම් මාර්ගයක් මෙන්ම රැකියා මාර්ගයක් බවට ද පත් කළයුතුව තිබෙනවා. ඒ සඳහා තරුණ තරුණියන් වැඩි වශයෙන් පුහුණු කළයුතුයි. ඇතැම් අවස්ථාවල මෙය විදේශ රැකියා සඳහා ගමන් බලපත්‍රයක් බවට පත් කර ගෙන තිබෙනවා. තමන්ගේ අනාගතය ගොඩනඟා ගන්නා අතරම මෙම කටයුතු සඳහා ද දායකවීමේ වගකීම සියලුදෙනාට තිබෙනවා.
මෙරට සංචාරක ව්‍යාපාරයේ ශීඝ්‍ර දියුණුවක් වෙනුවෙන් නව යෝජනා රැසක් මේ වන විට ඉදිරිපත්ව තිබෙනවා.
ඒ වගේම තමන්ගේ නිවසේ කාමරයක් දෙකක් සංචාරකයන් වෙනුවෙන් වෙන් කර ඉහළ ආගන්තුක සේවාවක් සැපයීමට ජනතාව සුදානම් නම් සහ ඒ සඳහා ඩොලර් සියකකට වැඩිය අය කිරීමක් සිදු කළ හැක නම් එම කටයුතු ඉදිරියට ගෙන යාමට සහාය ලබා දීමට රජය කටයුතු කරනවා.
සංචාරක කර්මාන්තයේ ඉලක්ක ඉටු කර ගැනීමට ප්‍රමුඛ අවධානයක් යොමු කරන අතර කෙටි කාලීන අදායම් සහ රැකියා මාර්ග උදා කිරීම වෙනුවෙන් සම්පත් යෙදවීමට ද අප බලාපොරොත්තු වෙනවා. ඒ සඳහා සියලුදෙනාගේ සහාය ලැබෙනු ඇතැයි මම බලාපොරොත්තු වෙනවා.
සංචාරක හා ඉඩම් අමාත්‍ය හරින් ප්‍රනාන්දු මහතා,
සංචාරක ව්‍යාපාරයේ ප්‍රවර්ධනය වෙනුවෙන් ජනාධිපතිතුමාගේ මගපෙන්වීමෙන් අප වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කර තිබෙනවා. අද සංචාරකයන් වැඩි වශයෙන් මෙරටට පැමිණීමට පටන් ගෙන තිබෙනවා.
ජනාධිපතිතුමා සිදු කළ ඉන්දීය සංචාරයේ ප්‍රතිඵලයක් ලෙස අද වැඩිම සංචාරයකයන් ප්‍රමාණයක් අපේ රටට පැමිණෙන්නේ ඉන්දියාවෙන්. ඒ වගේම තුන්වනුව ඉහළම සංචාරකයන් ප්‍රමාණයක් චීනයෙන් අපේ රටට පැමිණෙනවා. සියලුම ගුවන් සමාගම් නැවත ශ්‍රී ලංකාවට පැමිණීමට පටන්ගෙන තිබෙන අතර කටාර් එයාර්වේස් දැනට දිනකට හය වතාවක් ශ්‍රී ලංකාවට ගුවන් ගමන් සිදු කරනවා.
තුර්කි ගුවන් සේවයද ශ්‍රී ලංකාවට ගුවන් ගමන් සිදු කරන අතර සිංගප්පූරු ගුවන් සේවය සතියේ දින හතේම මෙරටට පැමිණෙනවා. ඊශ්‍රායලයේ අකිරා ගුවන් සේවය ඔක්තෝබර් 31 සිට සතියකට දෙවරක් ශ්‍රී ලංකාවට සෘජු ගුවන් ගමන් සිදු කිරීමට නියමිත බව ප්‍රකාශ කර තිබෙනවා. තවත් බොහෝ ගුවන් ගමන් සේවා ඉදිරියේ දී වැඩි කිරීමට සැලසුම් කර තිබෙනවා. අපේ ගුවන් සේවා සතියකට 80 වතාවක් පමණ ඉන්දියාවට ගුවන් ගමන් සිදු කරනවා.
අද මෙම අභියෝග ජය ගැනීමට අප සමඟ එක්වීම පිළිබඳ මම සියලුදෙනාට ස්තුතිවන්ත වෙනවා. විශේෂයෙන් හිල්ටන් හෝටල් සමූහය නුවරඑළියේ මෙන්ම මීගමුවේ නව සුඛෝපභොගි හෝටල් ළගදීම විවෘත කිරීමට නියමිත බව ඇසීමට ලැබීම සතුටට කරුණක්. මෙම කටයුතු වලින් මෙරට සංචාරක කර්මාන්තයට පුළුල් දායකත්වයක් ලැබෙනු ඇතැයි මම විශ්වාස කරනවා.
ජනාධිපතිතුමාගේ මගපෙන්වීමෙන් ක්‍රියාත්මක කර ඇති මෙරට නව සංචාරක ප්‍රවර්ධන සංකල්පය වසර ගණනාවක් තිස්සේ ක්‍රියාත්මක නොවුවක්. මෙම සංකල්පය මගින් සංචාරක ක්ෂේත්‍රයේ වත්මන් ඉලක්ක සපුරාගත හැකි බව මම විශ්වාස කරනවා.
මෙරටට පැමිණෙන සංචාරකයින්ගෙන් 31%ක් නැවත නැවත පැමිණෙන සංචාරකයින් බව සංඛ්‍යාලේඛන පෙන්වා දෙනවා. ශ්‍රී ලංකාව සංචාරකයන්ට නිශ්චිත ගමනාන්තයක් සහිත රටක් විය යුතු නැහැ. නමුත් ශ්‍රී ලංකාව සුහදශීලීභාවය සහ අගන්තුක සත්කාර ඉහළින් ඇති රටක් විය යුතුයි. විදේශිකයන් විශාල පිරිසක් අද ශ්‍රී ලංකාවේ ආයෝජනය කිරීම ආරම්භ කර ඇත්තේ ඔවුන්ට මෙරට රැඳී සිටීමට ඇති කැමැත්ත සහ ආශාව නිසයි. එම නිසා ශ්‍රී ලංකාව තුළ ඇති අපගේ උණුසුම් ආගන්තුක සත්කාරය ඉදිරියටත් පවත්වා ගෙන යාමට අප වග බලා ගත යුතුයි.
ජනාධිපතිතුමාගේ මෙම වැඩපිළිවෙළ සමඟ මෙරට සංචාරක ව්‍යාපාරය ඉහළ සාර්ථකත්වයක් ලබනවා මෙන්ම මෙරට අංක එකේ ආදායම් මාර්ගය බවට පත් කරගත හැකි බව මගේ විශ්වාසයයි.
මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහ මහත්මිය ද, ශ්‍රී ලංකාවේ ඇමරිකානු තානාපතිනි ජුලී චන්ග් මහත්මිය සහ සංචාරක හා ඉඩම් අමාත්‍යාංශයේ ලේකම් එච්.එම්.බී.පී. හේරත්, සංචාරක ප්‍රවර්ධන කාර්යාංශයේ සභාපති චලක ගජබාහු, ශ්‍රී ලංකා සංචාරක හා හෝටල් කළමණාකරණ ආයතනයේ සභාපති ශිරන්ත පීරිස් යන මහත්වරුන් ද හිල්ටන් හෝටල් සමූහයේ ජ්‍යෙෂ්ඨ මෙහෙයුම් අධ්‍යක්ෂ (ගිනිකොණ දිග ආසියාව) ජෙමි මීඩ් (Jamie Mead), ජ්‍යෙෂ්ඨ මෙහෙයුම් අධ්‍යක්ෂ (ආසියා සහ ඕස්ටේලියා) ජොශ් රොබර්ට්ස් (Josh Roberts) ශ්‍රී ලංකා හිල්ටන් හෝටල් සමූහයේ ප්‍රාදේශීය සාමාන්‍යාධිකාරී මනේෂ් ප්‍රනාන්දු, හිල්ටන් යාල රිසෝර්ට් සාමාන්‍යාධිකාරී ගීතාංජලී චක්‍රිවර්ති යන මහත්ම මහත්මීහු ද Melwa Hotels & Resorts Private Limited හි අධ්‍යක්ෂ මුරුගා පිල්ලෙයි මහතා ඇතුළු නිලධාරීහු මෙම අවස්ථාව එක්ව සිටියහ.
මේ අතර ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා (19) උදෑසන යාල ජාතික වනෝද්‍යානයේ නිරීක්ෂණ චාරිකාවකට එක් විය.
යාල ජාතික වනෝද්‍යානය නැරඹීම සඳහා පැමිණෙන දෙස් විදෙස් සංචාරකයන්ට මාර්ගගත ක්‍රමය ඔස්සේ ප්‍රවේශ පත්‍ර ලබා ගැනීමේ ක්‍රමවේදයක් කෙරෙහි මෙහිදී ජනාධිපතිවරයා නිලධාරීන්ගේ අවධානය යොමු කළේය.
පවතින වියළි කාළගුණය හේතුවෙන් වනෝද්‍යානයේ පිහිටි සිඳී ගොස් ඇති ජල පොකුණු වෙත ජලය මුදාහැරීමේ වැඩසටහන්ද ක්‍රියාත්මක අතර එම කටයුතු ද ජනාධිපතිවරයාගේ නිරීක්ෂණයට ලක් විය.
අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා සහ ශ්‍රී ලංකාවේ ඇමරිකානු තානාපතිනි ජූලි චන්ග් මහත්මිය ද ඊට එක්ව සිටියහ.