ප්‍රවාහන, මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතාගේ සංකල්පයකට අනුව හෝමාගම ප්‍රදේශය කේන්ද්‍ර කරගනිමින් පැවති ධර්ම රශ්මී පොසොන් කලාපයේ, හෝමාගම නගර මධ්‍යයේ ප්‍රාදේශීය සභාව මගින් ප්‍රදර්ශනය කරන ලද තොරණ සඳහා ලැබුණු ආධාර වලින් ඉතිරි වූ රුපියල් ලක්ෂ 7 ක පමණ මුදලින් හෝමාගම මූලික රෝහල වෙත අත්‍යවශ්‍ය වෛද්‍ය උපකරණ පරිත්‍යාග කිරීමේ වැඩසටහනක්‌ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණි.

රෝහලේ ඩෙංගු රෝගී කළමණාකරණ සංකීර්ණයට අත්‍යවශ්‍ය රෝගී ප්‍රතිකාර යන්ත්‍ර ඇතුළු වෛද්‍ය උපකරණ රැසක් මෙහිදී රෝහල වෙත පරිත්‍යාග කිරීම සිදුවිය.

මෙහිදී අදහස් දැක්වූ අමාත්‍යවරයා,

"මේ වන විට රට පුරා පොදු සෞඛ්‍ය ක්ෂේත්‍රය පිළිබඳව විශාල කතාබහක් මතුවෙමින් පවතිනවා. කොතරම් විවේචන පැවතුනත් බහුතර ජනතාවට නිදහස් සෞඛ්‍ය මගින් අනූපමේය සේවාවක් ඉටු වන වග නොරහසක්. පෞද්ගලික හා රාජ්‍ය යන දෙඅංශයේම කොතරම් අඩුපාඩු පැවතුනත්, රටේ ඈත එපිට ප්‍රදේශවල ජනතාව පවා වැඩි විශ්වාසයක් තබන්නේ රජයේ රෝහලෙන් ලැබෙන සේවය පිළිබඳවයි.

නිදහසින් පසු මෙරට බහුතරයක් රජයේ රෝහල් ගොඩනැගුණේ මිනිසුන්ට ආදරය කරන මිනිසුන්ගේ දායකත්වයෙන් හා පරිත්‍යාගශීලීත්වයෙන්. රෝහල් ක්ෂේත්‍රය මෙන්ම පාසල් ඉතිහාසය ද ගොඩනැගුණේ ඒ අයුරින්.

කොළඹ දිස්ත්‍රික්කයේ පවතින රෝහල් අතරින් මහජන සහයෝගීතාවය තුළින් ඉහළ ගුණත්වයකට ළඟා වූ රෝහලක් ලෙස හෝමාගම මූලික රෝහල නම් කළ හැකියි. අභියෝග රැසක් මධ්‍යයේ වුවත් පසුගිය කොවිඩ් සමය තුල විශාල මිනිස් ජීවිත ප්‍රමාණයක් බේරා ගැනීමට එහි කාර්ය මණ්ඩලයට හැකි වුණා. මේ තුළින් සැලසෙන සේවාව තවදුරටත් පුලුල් කිරීමේ අරමුණින් එය ජාතික රෝහලක් බවට පත් කර ගැනීමේ වෑයමක අප නිරත වනවා. NSBM හරිත සරසවිය, ජයවර්ධපුර විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨ වලට ආසන්නයේම ඇති ප්‍රධාන රෝහල ලෙස වෛද්‍ය සිසුන්ට ශික්ෂණ රෝහලක් ලෙස භාවිතා කළ හැකි පහසුකම් සහිතව මෙම රෝහල ඉදිරියේදී නවීකරණය කළ හැකි වනු ඇති බවට මා විශ්වාස කරනවා.

රටක් ලෙස දීර්ඝකාලීනව ලබා ගත් ණය නැවත ගෙවීමේ අර්බුදයකට මුහුණ පා සිටින මේ මොහොතේ ආණ්ඩුවකට කළ හැකි දේ රඳා පවතින්නේ මූල්‍ය කළමනාකරණ ප්‍රතිපත්තිය මත. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඇතුළු මෙරටට ණය ලබා දෙන ආයතන සමඟ ණය ප්‍රතිව්‍යුහගත කිරීම පිළිබඳව එකඟතාවයන්ට පැමිණීම තුළින් එළඹෙන සැප්තැම්බර් මාසය වන විට නැවත වරක් යහපත් තත්ත්වයකට රට ගෙන යාමේ දැඩි වෑයමක රජයේ නිරත වෙමින් සිටිනවා.

කොතරම් මූල්‍ය අපහසුතා මැද වුවත් අධ්‍යාපනය සෞඛ්‍යය හා ජනතාවගේ ජීවන ගැටළු වලට විසඳුම් ලබා දීම ප්‍රමුඛ අවශ්‍යතාවයක් බවට හඳුනා ගනිමින් අප කටයුතු කරමින් සිටිනවා."

වෛද්‍ය උපකරණ පරිත්‍යාග කිරීමට සමගාමීව රෝහලේ ක්‍රියාත්මක වන දුරස්ථ ප්‍රතිකාර ඒකකය (Telemedicine unit), ප්‍රඡා ළමා පුනරුත්ථාපන ඒකකය, ප්‍රධාන ශල්‍යාගාරය වෙත ඉදිකිරීමට යෝජිත පිවිසුම් මාර්ග ව්‍යාපෘතිය ඇතුළු අංශ රැසක් ද අමාත්‍යවරයාගේ නිරීක්ෂණයට ලක්විය.

හෝමාගම මූලික රෝහල් වෛද්‍ය අධිකාරී විශේෂඥ වෛද්‍ය ජයරුවන් බණ්ඩාර මහතා, හෝමාගම ප්‍රාදේශීය සභාවේ ලේකම් කුමුදුනී ගුණතිලක මහත්මිය, රාජ්‍ය ඉංජිනේරු නිර්මාණ නීතිගත සංස්ථාවේ සභාපති කුෂාන් දේවින්ද මහතා, පළාත් පාලන ආයතන නියෝජිතයින්, රෝහල් කාර්ය මණ්ඩලය ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.