වරාය නගර නීතිය වෙනුවට අපි අලුත් නීතියක් ගෙන එනවා අක්වෙරළ ආර්ථිකයක් ඇති කිරීම එහි අරමුණයි

රට තුළ සිදු කළ යුතු නව ආර්ථික පරිවර්තනය වෙනුවෙන් පසුගිය මාස 14ක කාලය තුළ නව නීති 42ක් පාර්ලිමේන්තුවේ සම්මත කර ගත් බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කර සිටියේ “වට්ස් නිව්” තරුණ නීති වෘත්තිකයන් සමඟ නීති ප්‍රතිසංස්කරණ පිළිබඳ කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ පෙරේදා (03) පැවති කතිකාවට එක්වෙමිනි.

තවදුරටත් ජනාධිපතිවරයා මෙසේ ද පැවසීය.

මෙම වසරේ අප්‍රේල්, මැයි මාසය වන විට රටේ බංකොලොත්භාවය නීත්‍යනුකූලව අවසන් වෙනවා.

එසේම තවත් නීති 62ක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර සම්මත කර ගැනීමට නියමිතයි. එය මෙවර පාර්ලිමේන්තුවේ දී සිදු කර ගත නොහැකි වුවහොත් ඉදිරි පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර සම්මත කර ගන්නවා.

රට දියුණු කිරීමට ලෝකය පිළිගන්නා නීති හඳුන්වා දීම වැදගත්. වාණිජ කටයුතුවල නිරත රාජ්‍ය ආයතන ව්‍යුහය වෙනස් කරමින් රාජ්‍ය සංස්ථා සියල්ල සමාගම් බවට පත් කර එම සියලු සමාගම් එක් ප්‍රධාන සමාගමකට භාර කිරීමට ආණ්ඩුව කටයුතු කරනවා.

පොදූ මූල්‍ය කළමනාකරණ පනතක්, පොදු ණය කළමනාකරණ පනතක්, කෘෂි නවිකරණ පනතක් මෙන්ම මෙම සියලු ඉලක්ක සපුරාගත හැකි ආර්ථික පරිවර්තන පනතක් ගෙන එනවා. දැනට තිබෙන ආයෝජන මණ්ඩලය වෙනුවට ආර්ථික කොමිසමක් ඇති කිරීමට බලාපොරොත්තු වෙනවා. ආයෝජන මණ්ඩලය යටතේ තිබෙන වෙළෙඳ කලාප මෙන්ම අලුතින් ඇති කරන වෙළෙඳ කලාප ඒ යටතේ පාලනය කෙරෙනවා.

එමෙන්ම ජාතික නිෂ්පාදන කොමිසම ඇති කිරීම, සංචාරක ව්‍යාපාරයට අදාළ නව නීතියක්, දේශගුණික විපර්යාස වළක්වා ගැනීම පිළිබඳ නීතියක්, නව පරිසර නීතියක්, සිංහරාජ, ශ්‍රීපාද අඩවිය, හෝර්ටන් තැන්න, වස්ගමුව වැනි ජාතික වනෝද්‍යාන ආරක්ෂා කිරීම වෙනුවෙන් නව නීති ගෙන ඒමට අපේක්ෂා කරනවා. එමෙන්ම වාණිජ දෙපාර්තමේන්තුව අහෝසි කර නව ජාත්‍යන්තර වෙළෙඳ මධ්‍යස්ථාන ඇති කර විදේශ අමාත්‍යාංශය සමඟ එම කටයුතු ක්‍රියාත්මක කරනවා.

අධ්‍යාපන ක්ෂේත්‍රය තුළ ක්‍රියාත්මක වන්නේ 1944දී පමණ හඳුන්වා දුන් නීති. අධ්‍යාපන ක්ෂේත්‍රයට ද නව නීති රැසක් හඳුන්වා දීමට කටයුතු කරනවා.

මෙම නීති ගෙන ඒම නැවැත්වීමට ඇතැමුන් උත්සාහ කළද පාර්ලිමේන්තුවේදී ඒවා සම්මත කර ගැනීමෙන් පසු එම නීති අහෝසි කිරීමට හෝ වක්‍රව ක්‍රියා නොකර සිටීමට කිසිවෙකුට නොහැකියි. අර්ථ නිරූපණය කිරීමේ මුවාවෙන් රටේ නීතිය සීමා කර පාර්ලිමේන්තුවේ බලතල සීමා කිරීමට ඇතැමුන් ගන්නා උත්සාහය නිෂ්ඵල කාර්යයක්.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව බලය තිබෙන්නේ පාර්ලිමේන්තුවට මිස අන් තැනක නොවේ. ජනාධිපති විධායක බලය අහෝසි කිරීමට පාර්ලිමේන්තුවට හැකියාව තිබෙනවා. නමුත් පාර්ලිමේන්තුව සතු බලතල පාර්ලිමේන්තුවටවත් අහෝසි කළ නොහැකියි.

කිසිවකුට මෙම නීති සීමා කිරීමට අවශ්‍ය නම් එය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ව්‍යවස්ථාදායක, අධිකරණ බලතල ඉදිරියේ විභාග කළ හැකියි. නමුත් මේවා නවත්වා දමා ජනතාවට තවදුරටත් දුක් විඳීමට ඉඩ දිය නොහැකියි.

මෙම කටයුතු මානව හිමිකම් උල්ලංඝනය කිරීමක් ලෙස පෙන්වා දීමට ඇතැමුන් සූදානම් වෙනවා නම් පළමු මානව හිමිකම රටේ ජනතාවගේ ජීවත්වීමේ අයිතියයි. දෙවැන්න දරුවන්ට හොඳ අනාගතයක් නිර්මාණය කර දීමයි.

2021- 2022 දී මෙරට ආර්ථික කඩා වැටීමට හේතු වුණේ කාලයක් පුරා අප ණය වෙමින් ජීවත්වීමයි. ණය කළමනාකරණය කර ගැනීමට නොහැකි වූ අවස්ථාවේ අපි රටක් විදිහට කඩා වැටුණා. අපිට ණය ගෙවා ගැනීමට නොහැකි වුණේ ආදායම් නොතිබූ නිසයි. මෙය අවසන් වරට මතු වුණේ ගෝඨාභය රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයාගේ සමයේදීයි. නමුත් මේ ණය ලබා ගැනීම ආරම්භ වූයේ ඊට පෙර සිටයි. වෙනත් රටවල මෙන් නොවෙයි, අපි ණය ලබාගත්තේ වෙළෙඳාම් කළ නොහැකි භාණ්ඩ සඳහායි. නිදසුනක් ලෙස මහා මාර්ගවලට පමණක් සීමාවූ ඉදිකිරීම් ක්ෂේත්‍රයෙන් අපට ප්‍රතිලාභයක් ලබාගත නොහැකියි. නමුත් මහවැලි ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරන විට අපට විදුලිය ලැබුණා. ඒ වගේම කෘෂි කර්මාන්තයත් දියුණු වුණා.

රටට මුහුණ දීමට සිදුවූ මෙම තත්ත්වයට සියලු දෙනා වගකිව යුතුයි. කිසිවකුට මෙයින් පැන යන්න බැහැ.

2022 වසරේදී රජයේ ආදායම දළ දේශීය නිෂ්පාදනයෙන් 8.3%යි. අපි 2023 වසරේදී එය 10.9%ක් බවට පත් කරගත්තා. නමුත් එයින් අපේ දළ දේශීය නිෂ්පාදිතයේ වර්ධනයක් සිදු වුණේ නැහැ. එය සෘණ 2%ක් ලෙස පැවතියා.

මේ වසරේදී එය 13.1%ක් බවට පත් කර ගැනීමට අපි බලාපොරොත්තු වෙනවා. එවිට දළ දේශීය නිෂ්පාදිතයේ වර්ධනයක් සිදු වෙනවා. 2028 වසර වන විට එය 15.2%ක් බවට පත් කරගත හැකියි. 8.3% සිට 15.2%ක් දක්වා ගෙන යනවා කියන්නේ 175%ක පමණ වැඩිවීමක්.

පළමු වතාවට අපේ ප්‍රාථමික අය වැයෙන් 2023 වසරේ 6.7%ක අතිරික්තයක් ලැබුණා. අප එය 2.3% දක්වා ගෙන යා යුතුයි. ඒ වගේම අය වැය හිඟය 2022 වසරේ 10.2%යි. අපි එය 2028 වන විට 3.9%ක් දක්වා ගෙන යා යුතුයි. මේවා පහසු කටයුතු නොවෙයි. එයයි අපට තිබෙන අභියෝගය. ඒ වගේම අපේ ණය ප්‍රමාණය 2022 වසර වන විට දළ දේශීය නිෂ්පාදනයෙන් 128% යි. 2032 වන විට එය දළ දේශීය නිෂ්පාදිතය 95%ක් බවට පත් කරගත යුතුයි. අපි 2022 වසරේදී දළ දේශීය නිෂ්පාදිතයෙන් 35%ක ණය ලබා ගත්තා. එය 13% දක්වා පහත අගයකට ගෙන ඒමට අවශ්‍යයි.

අප මේ සමඟ ඉදිරියට යෑමට නම් රටේ ආර්ථිකය පරිවර්තනයකට ගෙන යා යුතුයි. එහිදී දේශීය ආර්ථිකයේ සිට අපනයන ආර්ථිකයක් කරා ගමන් කළ යුතුයි. අපිට දැන් ආනයන කිරීමට ප්‍රමාණවත් විදේශ විනිමය නැහැ. අපි තරගකාරී අපනයන ආර්ථිකයකට යා යුතුයි. ඒ සමඟම ඩිජිටල් සහ හරිත ආර්ථිකයකට යොමු විය යුතුයි.

මෙම නව ආර්ථිකය ඇති කිරීමේ දී නව නීති අවශ්‍ය වෙනවා. යුරෝපීය වාණිජ ක්‍රමය ඇති කළේ ඕලන්ද සමයේදීයි. රෝමානු – ඕලන්ද ක්‍රමය අදත් අපේ නීතියේ කොටසක්. 1835 සුදු ජාතීන් පැමිණ අලුතෙන් ආර්ථිකය විවෘත කළා. ඉන් පසුව ඔවුන්ගේ නීතිය ගෙනාවා. 1970 පත් වූ ආණ්ඩුව සමාජවාදී පාලන ආර්ථිකයක් ඇති කළා. ඒ සඳහාත් අලුත් නීති ගෙන ආවා. 1977 ජේ. ආර්. ජයවර්ධන මැතිතුමා විවෘත ආර්ථිකය හඳුන්වා දුන්නා. එහිදීත් නීති හඳුන්වා දුන්නා. ඒ අනුව මේ නව ආර්ථික වැඩසටහන වෙනුවෙනුත් නව නීති හඳුන්වා දිය යුතුව තිබෙනවා.

දැනට ආණ්ඩුව ගෙන ඇති පියවර දෙස බැලූ විට පසුගිය මාස 14ක කාලය තුළ නීති 42ක් ගෙනවිත් පාර්ලිමේන්තුවේ දී සම්මත කර ගෙන තිබෙනවා. එය වාර්තාවක්. දැන් නීතිපතිතුමාගේ ප්‍රශ්නය වී තිබෙන්නේ ඉතිරි නීති 62 ක ඉදිරිපත් කරන්නේ කෙසේද කියායි. ඒකට පාර්ලිමේන්තු ඡන්දය කල්දාන්නේ නැහැ. මෙවර නොහැකි වන දේ ඉදිරි පාර්ලිමේන්තුවට ද ඉදිරිපත් කිරීම සිදු වෙනවා. මෙම වැඩපිළිවෙළ ඉදිරියට ගෙන ගියහොත් ඊළඟ වසර කිහිපය තුළ අලුත් ආර්ථිකයක් ඇතිව අලුත් නීති පද්ධතියක් එනවා.

වරාය නගර නීතිය වෙනුවට අපි අලුත් නීතියක් ගෙන එනවා. අක්වෙරළ ආර්ථිකයක් ඇති කිරීම එහි අරමුණයි. අක්වෙරළ ආර්ථිකයක් ඇති කළ විට ලංකාවේ නීතියෙන් එම වැඩකටයුතු කරන්න බැහැ. අක්වෙරළ ආර්ථිකය ඇති බලප්‍රදේශය තුළ එක්සත් රාජධානියේ වාණිජ නීති ක්‍රියාත්මක වෙනවා.

මෙම නීති ක්‍රියාත්මක කිරීමට නව නීතිඥයින් පිරිසක් සිටිය යුතුයි. ලෝකය පිළිගන්නා නීති අප හඳුන්වාදිය යුතුයි. මොකද අපේ නීති ලෝකය දන්නේ නැහැ. රට දියුණු කිරීමට නම් අප එම මාර්ගයේ ගමන් කළ යුතුයි. ඒ වගේම අපි වාණිජ කටයුතුවල නිරත රාජ්‍ය ආයතනවල ව්‍යුහය වෙනස් කරනවා. රජයේ සංස්ථා සියල්ලම සමාගම් බවට පත් කරනවා. ඒ සමාගම්වල කොටස් සියල්ලම ප්‍රධාන සමාගමකට භාර දෙනවා. එසේ නම් වාණිජ ක්‍රමය අනුව අප ක්‍රියාත්මක විය යුතුයි.

සමාගම් පනතේ පොදු සමාගම්වල අධ්‍යක්ෂවරුන්ට තිබෙන වගකීම් මේ අයට තිබෙනවා. වැරැද්දක් කළ විට දඬුවම් ලබාදිය හැකියි. ඒ වගේම රාජ්‍ය පුද්ගල හවුල් ව්‍යාපාර පිළිබඳ නීති ගෙන ඒමට ද අප බලාපොරොත්තු වෙනවා. පොදූ මූල්‍ය කළමනාකරණ පනතක්, කෘෂිකර්ම නවීකරණ පනතක් සහ පොදු ණය කළමනාකරණ පනතක් අලුතින් ගෙන එනවා. මෙම ඉලක්ක කරා යාමට ආර්ථික පරිවර්තන පනතක් ගෙන එනවා. එහිදී දැන් තිබෙන ආයෝජන මණ්ඩලය වෙනුවට ආර්ථික කොමිසමක් ඇති කිරීමට බලාපොරොත්තු වෙනවා. ඒ වගේම ආයෝජන මණ්ඩලය යටතේ තිබෙන වෙළෙඳ කලාප සහ අලුතින් ඇති කරන වෙළෙඳ කලාප ඒ යටතේ පාලනය වෙනවා.

ඒ වගේම අපි ජාතික නිෂ්පාදන කොමිසම ඇති කරනවා. අපේ නිෂ්පාදන වැඩි කළේ නැත්නම් අපට ලෝකය සමඟ තරග කරන්න බැහැ. ඒ වගේම ජාත්‍යන්තර වෙළෙඳ ආයතනය ස්ථාපිත කරනවා. මේවා වෙන වෙන කෙටුම්පත් ලෙස ඉදිරිපත් කරනවා නම් ශ්‍රේෂ්ඨාධිකරණයට විටින් විට එය ඉදිරිපත් කිරීමට සිදු වෙනවා. දැන් මෙය එකවර අධිකරණයට ඉදිරිපත් කිරීමට අප කටයුතු කරනවා.

රජයේ දේපළ භාර කිරීමට වගේම සංචාරක ව්‍යාපාරය පිළිබඳ නව නීතියක් ගෙන එනවා. දේශගුණික විපර්යාස පිළිබඳ නීතියක්, නව පරිසර නීතියක්, සිංහරාජය, ශ්‍රීපාද අඩවිය, හෝට්න් තැන්න, වස්ගමුව වනෝද්‍යාන ආරක්ෂා කිරීම වෙනුවෙන් නව නීති ගෙන ඒමට අපේක්ෂා කරනවා. ඒ වගේම වාණිජ දෙපාර්තමේන්තුව අහෝසි කර නව ජාත්‍යන්තර වෙළෙඳ මධ්‍යස්ථාන ඇති කර විදේශ අමාත්‍යාංශය සමඟ එම කටයුතු ක්‍රියාත්මක කරනවා.

ඒ වගේම අධ්‍යාපන ක්ෂේත්‍රයට නව නීති කිහිපයක් ගෙන ඒමට බලාපොරොත්තු වෙනවා. වෘත්තීය අධ්‍යාපනය එක් අධිකාරියක් යටතට පත් කිරීමට වගේම, නව තාක්ෂණ විශ්වවිද්‍යාල ඇති කිරීමට ද කටයුතු කරනවා. ඒ වගේම සෞඛ්‍ය අංශයේ ප්‍රතිසංස්කරණ පිළිබඳව ද අවධානය යොමු කර තිබෙනවා. අපට තිබෙන්නේ 1944 දී හඳුන්වා දුන් අධ්‍යාපන නීති. ඒ වන විට අපි කිසිවෙක් ඉපදිලාවත් නැහැ. ඒ නිසා නව නීති මඟින් මේ ක්‍රමය වෙනස් කළ යුතුයි. නව සමාජයකට, නව ආර්ථිකයකට යා යුතුයි. නැවත මෙවන් අර්බුද මතු නොවන හොඳ රටක් බවට ලංකාව පත් කළ යුතුයි.

අපේ මෙම කටයුතු අනුව තමයි රටේ ඉදිරි ගමන තීරණය වන්නේ. කඩා වැටුණු රට ඔසවා තැබීමට අපට වසරක් වැනි කෙටි කාලයක් තුළ හැකියාව ලැබුණා. මෙම වසරේ අප්‍රේල්, මැයි මාසය වන විට අපේ රටේ බංකොලොත්භාවය නීත්‍යනුකූලව අවසන් වෙනවා. නමුත් ලබාගත් ණය ගෙවිය යුතුයි. එම ගිවිසුම ක්‍රියාත්මක කළ යුතුව තිබෙනවා.

මේ පිළිබඳ නීති අපි පාර්ලිමේන්තුව ගෙන එනවා. එම නීති ගෙන ආ පසු ශ්‍රේෂ්ඨාධිකරණයට ගොස් ඒවා විභාග කර ඉන් පසුව ඒවා සම්මත කර ගෙන ඉදිරියට යනවා. මෙම නීති නැවැත්වීමට ඇතැම් අය උත්සාහ කරනවා. නීතියක් සම්මත කර ගැනීමෙන් පසු එම නීති නැවත අහෝසි කිරීමටවත්, වක්‍රව ක්‍රියා නොකර සිටීමටවත් බැහැ. ඇතැම් නීතිඥයන් උත්සාහ කරන්නේ අර්ථ නිරූපණය කිරීමේ මුවාවෙන් රටේ නීතිය සීමා කර පාර්ලිමේන්තුවේ බලතල සීමා කිරීමටයි. එය සිදු කළ නොහැකියි.

මේ රටේ පාර්ලිමේන්තුවේ බලය තිබෙන්නේ 1972 දී ඇති කළ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුවයි. ඊට පෙර තිබුණේ බ්‍රිතාන්‍ය ව්‍යවස්ථාවක්. ව්‍යවස්ථාදායක මණ්ඩලයක් ගෙනැවිත් නව ව්‍යවස්ථාවක් සකස් කිරීමට 1970 දී ඒ ආණ්ඩුව වරමක් ලබා ගත්තා. ජනතා පරමාධිපත්‍ය ජාතික රාජ්‍ය සභාවෙන් පාර්ලිමේන්තුවේ ක්‍රියාත්මක කිරීමට එම ව්‍යවස්ථාවෙන් කොල්වින් ආර්. ද සිල්වා මැතිතුමා එකඟ වුණා. ඒ අනුව විධායක බලතල තිබුණේ පාර්ලිමේන්තුවටයි. කැබිනට් මණ්ඩලය පාර්ලිමේන්තුවට වග කියනු ලැබුවා. ව්‍යවස්ථාදායක බලය වගේම අධිකරණ බලයත් පාර්ලිමේන්තුවට ලබා දුන්නා. ඒ යටතේ අධිකරණයේ කටයුතු ක්‍රියාත්මක කරගෙන ගියා. එය සකස් කළේ කොල්වින් ආර්. ද සිල්වා මැතිතුමා. එතුමා කිව්වේ අපි කටයුතු කරන්නේ ඉංග්‍රීසි නීතිය අනුව කියලා.

1977 ව්‍යවස්ථාවෙන් විධායක ජනාධිපති ක්‍රමය හඳුන්වා දුන් විට එය වෙනස් වුණා. ඒ අනුව ජනතාවගේ විධායක බලය ජනාධිපතිවරයකුට භාර දුන්නා. අනිත් කරුණු වෙනස් කළේ නැහැ. ඒ වගේම ඉදිරියෙන් තිබුණේ සර්ව ජන ඡන්ද බලය සහ පාර්ලිමේන්තුවයි. මූලික අයිතිවාසිකම් ඊට ඇතුළත් කළා.

ජනාධිපතිවරයා කැබිනට් මණ්ඩලය පත් කළ විට කැබිනට් මණ්ඩලය පාර්ලිමේන්තුවට වග කියනවා. එය වෙනස් වුණේ නැහැ. ඒ අනුව දැන් බලය තිබෙන්නේ පාර්ලිමේන්තුවට මිස වෙන තැනක නොවෙයි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ පාර්ලිමේන්තුවේ බලයයි. මූලික බලයයි. සර්ව ජන ඡන්ද බලයයි පළමුව තිබෙනවා. අනෙක් සියල්ල දෙවනුවයි තිබෙන්නේ. ඒ වගේම ජනාධිපති ලෙස අද විධායක බලතල මට තිබෙනවා. එය අහෝසි කිරීමට පාර්ලිමේන්තුවට පුළුවන්. නමුත් පාර්ලිමේන්තුවේ බලතල අහෝසි කිරීමට පාර්ලිමේන්තුවටත් නොහැකියි.

නීතිපති සංජය රාජරත්නම්, හිටපු නීතිපති තිලක් මාරපන, ජනාධිපති නීතිඥ එරාජ් ද සිල්වා, නීති විද්‍යාලයේ විදුහල්පති ආචාර්ය අතුල පතිනායක යන මහත්වරු සහ තරුණ කටයුතු සහ තිරසර සංවර්ධනය පිළිබඳ ජනාධිපති අධ්‍යක්ෂ රන්දුල අබේවීර මහතා ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.