සංවර්ධන ඉලක්ක සපුරාලීමේ අරමුණෙන් රජයේ නිලධාරීන්ට යම් දීමනාවක් ගෙවීමට කටයුතු කරන බව අගමැති දිනේෂ් ගුණවර්ධන මහතා පැවසීය. පුත්තලම, මුන්දලම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයීය නව ගොඩනැඟිල්ල ජනතා අයිතියට පත් කිරීමේ අවස්ථාවට පසුගියදා එක් වෙමින් අගමැතිවරයා මේ බව සඳහන් කළේය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අගමැතිවරයා:

“ජනතාවගේ ප්‍රශ්නවලට රජය මඟින්, රාජ්‍ය දෙපාර්තමේන්තු මඟින් ඉටු කළ යුතු සේවාවට මුල් විය යුත්තේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයයි. ඔබ ඉටු කරන්නේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අලුතෙන් ප්‍රකාශයට පත් කර තිබෙන සංවර්ධන ක්‍රියාදාමයේ එක වැදගත් කොටසක්. ප්‍රාදේශීය සංවර්ධනයට, දිස්ත්‍රික් සංවර්ධනයට අපේ ආණ්ඩුකාරවරුන් සමඟ ඒ සැලසුම් ගමට ගෙනයෑම ප්‍රාදේශීය ලේකම්වරුන්ගේ වගකීම.

මේ කටයුත්ත ප්‍රාදේශීය ලේකම්වරුන්ගේ ඇඟිලි තුඩුවල තියෙන්න ඕනෑ. ආපහු පොතපත බලන්න බැහැ. මේ කාර්යාලය හෙට දිනයේ සිට එවැනි තත්ත්වයකින් අලුත් ජවයකින් සේවාව ඉටු කළ යුතුයි. සිංහල, දෙමළ, මුස්ලිම් සියලු දෙනාගේ බලාපොරොත්තු ඉටු වෙන්න ඕනෑ. ආදායම් ඇති සහ ආදායම් දුර්වල ජන කොට්ඨාස දෙකක් මේ සමාජයේ සිටිනවා. ඒ හැමෝගෙම බලාපොරොත්තු ඉටු කළ යුතුයි. ආදායම් ඇති අයට ඒ ආදායම් වැඩිදියුණු කරගැනීමටත් ආදායම් දුර්වල ජන කොට්ඨාස නඟාසිටුවීමටත් පියවර ගත යුතුයි. රජයේ ප්‍රකාශිත අයවැය ‍ලේඛනයේ වැඩපිළිවෙළ අනුව පෞද්ගලික අංශය දියුණු වෙන්න ඕනෑ. සම්පත් වැඩි වෙන්න ඕනෑ. සම්පත් එසේ වැඩි වෙන්න නම් තවත් ආයෝජනයන්ට රුකුල් දිය යුතුයි.

ජනාධිපතිතුමා ධුරය භාර ගෙන ආණ්ඩුව භාර ගත්ත වේලාවේ රට තිබුණු තත්ත්වය ඔබ සැමට කලින් මතක් කලා. එය ඔබේ මතකයෙන් ගිලිහී ගොස් නැතැයි කියා අප විශ්වාස කරනවා. එවැනි තත්ත්වයක් අපි යළි ප්‍රාර්ථනා නොකරමු. එවැනි තත්ත්වයකට යළිත් රට ගෙන නොයන්න, ඒ කාල පරිච්ඡේදයේ මුහුණ දෙන්න සිදු වුණු අමාරුම සේවා සහ පහසුකම් වගේම ද්‍රව්‍යමය අත්‍යවශ්‍ය පහසුකම් සඳහා වේගවත් සහනයක් අප සලසා දී තිබෙනවා.

ප්‍රශ්න ඉවර නැහැ. ප්‍රශ්න හමාර කර ගත හැකි අලුත් උත්සාහයකට ආර්ථිකය ගමන් කළ යුතුයි. ඒ ගමන රාජ්‍ය නායකයාට හෝ පාර්ලිමේන්තුවට හෝ අග්‍රාමාත්‍යවරයාට පමණක් කරන්නට බැහැ.මුළු රටම එකතු වෙලා ගන්න ඕනෑ පියවරක්.

රට පණ ගන්වන්නට නම් අලුත් බලාපොරොත්තු ඇතිව ආර්ථිකය වර්ධනය කරගත යුතුයි. විදේශ ආයෝජනයන් සහ දේශීය ව්‍යාපාරිකයන්ද ඊට එකතු වී අලුත් උත්සාහයක නිරත විය යුතුයි. මේ දේට රුකුල් දීමයි ප්‍රාදේශීය ලේකම්තුමා සිදු කළ යුත්තේ.

රාජ්‍ය සේවකයන්ට යම්කිසි දීමනාවක් වැඩි කරන්නට පුළුවන් වෙන ආකාරයට ආදායම් වැඩි කරගන්න අපට පුළුවන් වුණා. විශ්‍රාමිකයෝ හය ලක්ෂයක් ලංකාවේ ඉන්නවා. ඒ අයගේ විශ්‍රාමයත් එලෙස ශක්තිමත් කරල ලබාදෙන්න පුළුවන්කමට අද රට ගෙනල්ලා තියෙනවා. විශ්‍රාම අර මුදලට බිලියන 18ක හිඟයක් තිබුණා. අප ඒ සියල්ල ගෙව්වා. අරමුදල හිඟයක් නැතුව දැන් ශක්තිමත්ව වැඩ කරනවා.

ඔබේ රාජකාරිය ඉෂ්ට කරන්න වගකීමක් හා යුතුකමක් තිබෙනවා. ඒ මහජනයා වෙනුවෙන්. එය ඉෂ්ට කිරීම සඳහා මේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ශක්‍රීය වෙයි කියලා මම විශ්වාස කරනවා.

අපි ඊයෙ ජනාධිපතිතුමා සමග සාකච්ඡා කරලා තීරණයක් ගත්තා. සෑම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයකම, දිස්ත්‍රික් ලේකම් කාර්යාලයකම සිටින උප නිලධාරීන්ට දීමනා ගණනාවක් වැඩි කරන්න. සංවර්ධනය ඉලක්කයන් සපුරාලීම සඳහායි එය තීරණය කරනු ලැබුවේ. ඒ අනුව සංවර්ධන ඉලක්ක සපුරාලීම සඳහා නිලධාරීන්ට අලුත් දිමනාවක් එක් වෙනවා ඇති. දිසාපතිතුමා, ප්‍රාදේශීය ලේකම්වරුන්, ඉලක්කයන්ට වැඩ කිරීමෙන් ඵලදායී නිෂ්පාදන සහ සේවාවන් ඇති කිරීමයි අවශ්‍ය වන්නේ.

සෑම ග්‍රාම නිලධාරී කොට්ඨාශයකම පුරප්පාඩු සඳහා ලබන මාසේ අන්තිම වෙන්න පෙර අලුත් ග්‍රාම නිලධාරිවරයෙක් පත් විය යුතුයි. අඩුපාඩුවක් තිබෙනවා නම් එය සපුරාලීමෙන් අපට ප්‍රාදේශීය ලේකම් ජාලය ශක්තිමත් කළ හැකියි.

පාසලෙන් පිටවෙන දරුවන් තොරතුරු තාක්ෂණය සහ වෘත්තීය දැනුම ඇති කිරීම සඳහා වහාම ක්‍රියාත්මක වන බලයක් පැවරුවා. රාජ්‍ය දෙපාර්තමේන්තු වෙන්න පුළුවන්, ප්‍රාදේශීය සභාව මගින් හෝ පළාත් පාලන ආයතන සියල්ලටම පුළුවන් මේ වැඩ පිළිවෙලට අවතීරණය වීමට. අවශ්‍ය මූල්‍ය පහසුකම් සහ අවශ්‍ය දැනුම ඇති වෘත්තිකයන් ලබාගෙන අපේ දරුවන්ට විශේෂ දැනුමක් ලබාදීමේ ඉලක්ක සපුරාලන්න. එයින් අලුත් සමාජයකට, අලුත් දැනුම ඇති සමාජයකට පිවිසෙන්න පුළුවන්කම කරා ගමන් කරන අධ්‍යාපනයේ තවත් මාර්ගයකට ඉදිරි මාස දෙක තුළ පිවිසෙන්නට ප්‍රාදේශීය ලේකම්වරුන් සහාය වනු ඇතැයි මම හිතනවා.”

වයඹ පළාත් ආණ්ඩුකාර ලක්ෂ්මන් යාපා අබේගුණවර්ධන, රාජ්‍ය අමාත්‍යවරුන් වන අශෝක ප්‍රියන්ත, අරුන්දික ප්‍රනාන්දු, පුත්තලම් දිස්ත්‍රික් සංවර්ධන කමිටු සභාපති චින්තක අමල් මායාදුන්න, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන යදාමිණි ගුණවර්ධන, ජගත් ප්‍රියංකර, රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශ ලේකම් ප්‍රදීප් යසරත්න, ඇතුළු රාජ්‍ය නිලධාරීහු මේ අවස්ථාවට සහභාගි වූහ.