අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතාගේ සංකල්පයකට අනුව ක්‍රියාත්මක කෙරෙන අ.පො.ස. උසස් පෙළ හදාරන සිසුන් සඳහා දෑවුරුදු ශිෂ්‍යත්ව ප්‍රදාන වැඩසටහන සහ මෙරට විශිෂ්ටතම සිනමා වේදීන් අගයමින් උත්තමාචාර පිදීමේ “සතරාව දීපනී කෘතගුණ දැක්වීමේ උලෙළ” එළඹෙන මාර්තු16 වැනි සෙනසුරාදා පස්වරු 06.00ට කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්වීමට කටයුතු සංවිධානය කර ඇත.

මේ යටතේ දිවයිනේ සෑම දිස්ත්‍රික්කයකින්ම තෝරාගත් අ.පො.ස. උසස් පෙළ තාක්ෂණවේදයේ විෂය ධාරාව හදාරන සිසුන් 250 දෙනකු වෙනුවෙන් මසකට රුපියල් දෙදහස බැගින් වූ ශිෂ්‍යත්වයක් වසර දෙකක් පුරාවට ප්‍රඥා බන්දු ශිෂ්‍යත්ව අරමුදල යටතේ පිරිනැමීමට කටයුතු යොදා ඇත.ආචාර්ය බන්දුල ගුණවර්ධනයන් විසින් අර්ථපතිත්වය දරන ලද සම්භාව්‍ය, සම්මානිත චිත්‍රපටවලට සිය සුවිශේෂ නිර්මාණ දායකත්වය ලබා දුන් මාලනී ෆොන්සේකා, ස්වර්ණා මල්ලවාරච්චි, අනෝජා වීරසිංහ සහ රවින්ද්‍ර රන්දෙනිය යන විශිෂ්ට සිනමාවේදීන් හට සතරාව දීපනී උත්තමාචාර සම්මාන පිරිනැමීම ද මෙම වැඩසටහනට ඇතුළත් වේ.

මෙම අවස්ථාව සඳහා ආගමික නායකයන්, දේශපාලන නායකයන්, උසස් රාජ්‍ය නිලධාරීන්, කලාකරුවන්, විද්වතුන්, ව්‍යවසායකයන් ඇතුළු හිතුවතුන් වෙත ආරාධනා කර ඇත.