මෙවර රාජ්‍ය වෙසක් උත්සවය මාතලේ දිස්ත්‍රික්කය මූලික කර ගනිමින් පැවැත්වීමට තීරණය කර ඇති අතර ඒ පිළිබඳ මූලික සාකච්ඡාව මාතලේ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී ඊයේ (14) පැවැත්විණි. රාජ්‍ය වෙසක් උත්සවයේ සමාරම්භක උලෙළ මාතලේ ධර්මරාජ පිරිවෙන් පරිශ්‍රයේදී පැවැත්වෙන අතර එහි සමාප්ති උලෙළ මාතලේ අනුරුද්ධ අරණේදී පැවැත්වීමට මෙහිදී තීරණය කෙරිණි.

ඒ අනුව මැයි මස 21 වැනිදා සිට මැයි මස 27 වැනිදා දක්වා විවිධ ආගමික සංස්කෘතික වැඩසටහන් පැවැත්වෙන අතර, මැයි 21 වැනි දින රාජ්‍ය වෙසක් උත්සවයට සමගාමී සංස්කෘතික වැඩසටහන්, මැයි 22 වැනි දින පරිසර සංරක්ෂණ හා යහපත් සෞඛ්‍ය පුරුදු වැඩසටහන්, මැයි 23 වැනි දින සීල භාවනා පින්කම (වෙසක් පොහෝ දින වැඩසටහන), මැයි 24 වැනි දින සාරධර්ම ප්‍රවර්ධන වැඩසටහන්, මැයි 25 වැනි දින සෞඛ්‍යසම්පන්න ජීවිතයක් සඳහා සම්බුද්ධ දේශනා අනුව පවත්වන වැඩසටහන්, මැයි 26 වැනි දින ආධ්‍යාත්මික සංවර්ධන වැඩසටහන් සහ මැයි 27 වැනි දින භික්ෂු හා සිල් මාතා පුහුණු වැඩසටහන් පැවැත්වීමට කටයුතු යොදා තිබේ.

එමෙන්ම මාතලේ දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 11හි විහාරස්ථාන 11ක් සංවර්ධනය කිරීම, වෙසක් බැති ගී පහන් කූඩු, වෙසක් තොරණ, පාරිසරික හා සංස්කෘතික අංගයන් හා පිණ්ඩපාත වැඩසටහන් ලේ දන් දීමේ වැඩසටහන් ආදි විශේෂ වැඩසටහන්, සර්වආගමික අංග ඇතුළත් පෙරහර ආදි වැඩසටහන් රැසක් ද පැවැත්වේ.

මේ අවස්ථාවට සමස්ත ලංකා ශාසනාරක්ෂක බල මණ්ඩලයේ සභාපති තුම්මුල්ලේ සීලක්කන්ද, ලේඛකාධිකාරී මුගුණුවෙල අනුරුද්ධ, කොස්ගොල්ලේ සීලරතන නාහිමිවරු ඇතුළු මහා සංඝරත්නය, ආරක්ෂක රාජ්‍ය ඇමැති ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන්, මාතලේ දිස්ත්‍රික් සංවර්ධන කමිටු සභාපති නාලක බණ්ඩාර කෝට්ටේගොඩ, අමාත්‍යාංශ ලේකම් සෝමරත්න විදානපතිරණ, මාතලේ දිසාපති තේජානි තිලකරත්න, ත්‍රිවිධ හමුදා හා ශ්‍රී ලංකා පොලිස් නිලධාරීන්, රාජ්‍ය හා පෞද්ගලික අංශ නිලධාරීන් ඇතුළු පිරිසක් එක්වූහ.