ප්‍රවාහන මහා මාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතාගේ සංකල්පයකට අනුව ක්‍රියාත්මක කෙරෙන "සතරාව දීපනී කෘතගුණ දැක්වීමේ උලෙළ" කොළඹ බණ්ඩර්ණායක අනුස්මරණ අන්තර්ජාතික සම්මන්ත්‍රණ ශාලාවේදී අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.

අ.පො ස. උසස් පෙළ තාක්ෂණ වේදය  විෂය ධාරාව හදාරන සිසුන් 250 දෙනෙකු සඳහා දෑවුරුදු ශිෂ්‍යත්ව ප්‍රදාන වැඩසටහන යටතේ දිවයිනේ සියලුම දිස්ත්‍රික්ක නියෝජනය කරමින් තෝරාගත් සිසු සිසුවියන් පිරිසකට සංකේතවත් ලෙස ප්‍රඥා බන්දු ශිෂ්‍යත්ව පිරිනැමීම කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ සහ හිටපු කතානායක කරු ජයසුරිය යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණි.
 
ආචාර්ය වන්දුල ගුණවර්ධනයන් විසින් අර්ථපතිත්වය දරණ ලද සම්භාව්‍ය,සම්මානිත චිත්‍රපට වලට සිය සුවිශේෂී නිර්මාණ දායකත්වය ලබා දුන් මාලනී ෆොන්සේකා, ස්වර්ණා මල්ලවාරච්චි, අනෝජා වීරසිංහ සහ රවින්ද්‍ර රන්දෙනිය යන විශිෂ්ට සිනමාවේදීන් හට සතරාවදීපනි උත්තමාචාර  සම්මාන පිරිනැමීම අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ සුරතින් සිදු කෙරිණි.
ආචාර්ය ප්‍රණීත් අබේසුන්දර මහතා විසින් වැඩසටහනේ මුඛ්‍ය දේශනය සිදු කළ අතර දේශීය සම්ප්‍රදායික හා නව නිර්මාණාත්මක කලා අංග රැසකින්ද වැඩසටහන වර්ණවත් විය.
 
මහාවිහාර වංශික ශ්‍යාමෝපාලි මහානිකායේ මල්වතු මහාවිහාර පාර්ශ්වයේ අනුනායක, සාහිත්‍යචක්‍රවර්තී, ආචාර්ය නියංගොඩ ධර්මකීර්ති ශ්‍රී සංඝරක්ෂිත විජිතසිරි අනුනායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ ප්‍රමුඛ ගෞරවණීය මහා සංඝරත්නයේ වැඩමවීමෙන්, අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා , කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා,  ඉන්දියාව,රුසියාව, ජපානය ඇතුළු රටවල් රැසක මහකොමසාරිස්වරුන්, තානාපතිවරුන් ඇතුළු විදෙස් රාජ්‍ය තාන්ත්‍රික නිලධාරීන්,කැබිනට් අමාත්‍යවරුන් ඇතුළු පක්ෂ විපක්ෂ දේශපාලන නියෝජිතයින්, අමාත්‍යංශ ලේකම්වරුන් ඇතුළු  රාජ්‍ය නිලධාරීන්, කලාකරුවන්, ව්‍යාපාරිකයින් ඇතුළු ආරාධිතයින් විශාල පිරිසක් මෙම අවස්ථාව සඳහා එක්ව සිටියහ