ලේක්හවුස් ආයතනය ප්‍රකාශයට පත් කරන තිනකරන් පුවත්පතේ 72 වැනි සංවත්සරය නිමිත්තෙන් චාම් උත්සවයක් ආයතන පරිශ්‍රයේදී ඊයේ (18) පැවැත්විණි.
ධීවර ඇමැති ඩග්ලස් දේවානන්දා සහ ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ උපදේශක හසීම් උමාර් මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් මෙම උත්සවය පැවැතිණි. ලේක්හවුස් ආයතනයේ සභාපති මහාචාර්ය හරේන්ද්‍ර කාරියවසම් මහතා ඇතුළු අධ්‍යක්ෂ මණඩලය, තිනකරන් ප්‍රධාන කර්තෘ සෙන්දිල් වේලවර්, ප්‍රවෘත්ති කර්තෘ අශෝක් කුමාර් ඇතුළු තිනකරන් කාර්ය මණ්ඩලය, මෙන්ම ලේක්හවුස් පුවත්පත්වල ප්‍රධාන කර්තෘවරු ඇතුළු පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියහ.
එමෙන්ම තිනකරන් කර්තෘ මණ්ඩලයේ වසර 25කට වැඩි සේවා කාලයක් සම්පූර්ණ කර විශ්‍රාම ගිය සේවක සේවිකාවන් පස්දෙනෙකු ද මෙහිදී ඇගැයීමට ලක් කෙරිණි. අවුරුදු 37ක් කාර්යාල කාර්ය සහායක ලෙස සේවය කළ ඇක්මන් මහතාව මෙහිදී සභාපතිවරයා ඇතුළු අධ්‍යක්ෂ මණ්ඩලයේ ඇගැයීමට ලක් කෙරිණි. දීර්ඝ කාලයක් පුවත්පත හා සම්බන්ධව කටයුත කළ ක්‍රිකට් ක්‍රීඩක මුත්තයියා මුරලිදරන් මහතාගේ පියා වන මුත්තයියා මහතා ද සභාපතිවරයා අතින් ඇගැයීමට ලක් කෙරිණි.
ලාදුරු රෝගය රටින් තුරන් කිරීම පිළිබඳව තිනකරන් පුවත්පත හා කාවේරී සමාජය ඒකාබද්ධව ලාදුරු රෝග මර්දන ව්‍යාපාරයේ අංශ ප්‍රධානී වෛද්‍ය ප්‍රසාද් රණවීර මහතාගේ අධීක්ෂණය යටතේ පැවැති රචනා තරගයේ ජයග්‍රාහකයන්ට මෙහිදී මුදල් ත්‍යාග හා සහතිකපත් පිරිනැමිනි.