බුද්ධ දේශනාව සහ කෘත්‍රිම බුද්ධිය අතර තිබෙන සම්බන්ධතාව පිළිබඳ පර්යේෂණ කටයුතු වෙනුවෙන් ලබන වසරේදී රුපියල් බිලියනයක් වෙන් කරන බව මොරටුව ශ්‍රී ලංකා බෞද්ධ සමිතියේ සිය වැනි සංවත්සර සැමරුමට එක්වෙමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කළේය. මොරටුව බෞද්ධ මන්දිර ශාලාවේදී පැවැති මෙම සැමරුමට එක් වෙමින් ජනාධිපතිවරයා පැවසුවේ බුද්ධ දේශනාව සහ කෘත්‍රිම බුද්ධිය පිළිබඳ පර්යේෂණ කටයුතු මෙම වසරේදී ආරම්භ කිරීමට අපේක්ෂා කළ ද කෘත්‍රිම බුද්ධිය පාලනයට අවශ්‍ය නීති මෙතෙක් ඉදිරිපත් කර නැති බැවින් එම කටයුතු ලබන වසරට කල් තැබීමට සිදු වූ බවයි.
නව නීති සම්මත කර ගැනීමෙන් අනතුරුව ඉදිරි පියවර ක්‍රියාත්මක කරන බව ද ජනාධිපතිවරයා මෙහිදී පැවසීය.
වර්තමානයේ දේශගුණික විපර්යාස නිසා මුළු ලෝකයම විශාල තර්ජනයකට මුහුණදී සිටිනවා. මේ දිනවල අප මුහුණදී තිබෙන දැඩි හිරු රශ්මිය මීට පෙර මුහුණ නොදුන් තත්ත්වයක් බව ද කිවයුතුයි. මෙම දේශගුණික උණුසුම සීමා කර ගැනීම සඳහා ඉලක්කගතව කටයුතු කිරීමට අපහසු තත්ත්වයක් අද මතු වෙලා තිබෙනවා. මේ සමඟ උග්‍ර ජල ගැටලුවකට ද අපට මුහුණදීමට සිදු වෙනවා. අප බුද්ධ ධර්මයට අනුව මේ ප්‍රශ්නයට මුහුණ දෙන්නේ කෙසේද කියා අවධානය යොමු කළ යුතුයි.
ඉදිරි දශක දෙක තුන තුළ ලෝකයේ තිබෙන ප්‍රධානම ප්‍රශ්නයක් බවට දේශගුණික විපර්යාස පිළිබඳ ගැටලුව පත් වෙනවා. බුද්ධ දේශනාව අනුව සලකා බැලුවහොත් අපට මේ තත්ත්වයට මුහුණදීමට සිදුව තිබෙන්නේ ශිෂ්ටාචාරයේ තණ්හාව නිසයි. සියලුදෙනාට අවශ්‍ය වුණේ වේගවත් දියුණුවක් ලබා ගැනීමටයි. වාහන භාවිතය ඉහළ යෑම නිසා පරිසරයට විශාල හානියක් සිදු වෙනවා. ඒ අනුව මානව සමාජයෙන් පරිසරයට විශාල හානියක් සිදුව තිබෙනවා. ඒ නිසා දේශගුණික විපර්යාස පාලනය කරන්නේ කෙසේද යන්න පිළිබඳ අප විශේෂ අවධානයක් යොමු කළ යුතුයි.
ඒ වගේම ලෝකය අද සීග්‍ර තාක්ෂණ දියුණුවක් කරා ගමන් කරමින් තිබෙනවා. විශේෂයෙන් 1945 පරමාණු බෝම්බය පුපුරා ගිය විට සිතුවේ ඉන් එහාට තාක්ෂණ දියුණුවක් සිදු නොවන බවයි. නමුත් දැන් සෑම ක්ෂේත්‍රයක් තුළම විශාල තාක්ෂණ දියුණුවක් සිදුව තිබෙනවා. තොරතුරු තාක්ෂණ අංශයේ විශාල දියුණුවක් ඇති වී තිබෙනවා. අප පාසල් යන සමයේ පරිගණක සහ ජංගම දුරකතන තිබුණේ නැහැ. නමුත් මේ වන විට නවීන තාක්ෂණික දියුණුවත් සමඟ අද කෘත්‍රිම බුද්ධිය දක්වා පැමිණ තිබෙනවා.
මේ වන විට තිබෙන්නේ කෘත්‍රිම බුද්ධියේ ආරම්භක අවස්ථාවයි. තවත් දශක දෙකක් පමණ යන විට කෘත්‍රිම බුද්ධිය කොතනින් අවසන් වෙයිද කියන ප්‍රශ්නය අප හමුවේ තිබෙනවා. කෘත්‍රිම බුද්ධිය සහ බුදු දහම අතර තිබෙන සම්බන්ධය කුමක්ද යන්න පිළිබඳ අප අවධානය යොමු කළ යුතුයි.
සියල්ල පාලනය වනුයේ අපගේ මනසින් බව බුද්ධ දේශනාවේ පෙන්වා දෙනවා. මනස පාලනය කළහොත් අපට ඉදිරියට යා හැකියි. මනස පාලනය කර නොගතහොත් අපට අනාගතයක් නැහැ. මනස පාලනය කිරීම පැවරී තිබුණේ මිනිසාට පමණයි. බුද්ධ දේශනය මිනිස් සංහතිය වෙනුවෙන් සිදු කළේ ඒ නිසයි. අප මනස පාලනය කරගතහොත් අපට තණ්හාව දුරු කරගත හැකියි.
මෙම මිනිස් මනසට සමානව දැන් කෘත්‍රිම බුද්ධිය පැමිණ තිබෙනවා. කෘත්‍රිම බුද්ධියට විවිධ තොරතුරු ඇතුළත් කළ හැකියි. ඒ අනුව කෘත්‍රිම බුද්ධිය ක්‍රියාත්මක වෙනවා. එසේ නම් බුදුන් වහන්සේ දේශනා කළ ධර්මය සහ කෘත්‍රිම බුද්ධිය අතර තිබෙන සම්බන්ධය පිළිබඳ අප අවධානය යොමු කළ යුතුයි.
කෘත්‍රිම බුද්ධිය වෙනත් දහමක් දේශනා කරයි ද එය බුදු දහමට තර්ජනයක් විය හැකියි. ඒ නිසා අප ඒ පිළිබඳව ද අවධානය යොමු කළ යුතුයි. ඓතිහාසික අනුරාධපුර සමයේ මෙරටට බුදු දහම පැමිණි අතර එතැන් පටන් බුදු දහමට විවිධ බලපෑම් එල්ල වී තිබෙනවා. හින්දු දහම, මහායාන ධර්මය මෙන්ම දේශපාලන තත්ත්වයන් ඊට බලපා තිබෙනවා. මේ කාලයේ සිට කෘත්‍රිම බුද්ධිය ද එක් වෙනවා. එවිට කෘත්‍රිම බුද්ධිය තවත් ධර්මයක් දේශනා කරයිද කියා සිතිය යුතුයි. ජනතාව අතේ තිබෙන ජංගම දුරකතනයෙන් ධර්මය ඇසුරු කරන විට එහි බලපෑම් කුමක් විය හැකි ද කියා සිතිය යුතුයි. මෙය බුදු දහමට පමණක් නොව වෙනත් ආගම් ද මුහුණදී සිටින ප්‍රශ්නයක් බවට පත්ව තිබෙනවා.
ඒ නිසා කෘත්‍රිම බුද්ධිය පාලනය කිරීමටත් අප නව නීති රීති ගෙන එනවා. තාක්ෂණ වර්ධන නීති කෙටුම්පත තාක්ෂණ අමාත්‍යාංශය විසින් සකස් කර තිබෙන අතර ඒ යටතේ කෘත්‍රිම බුද්ධිය පිළිබඳ මධ්‍යස්ථානයක් ද ඇති කිරීමට සැලසුම් කර තිබෙනවා. එක්සත් රාජධානියේ සහ යුරෝපා සංගමය දැනමටත් කෘත්‍රිම බුද්ධිය පාලනය කරන නීති රෙගුලාසි ඇතුළත් කර තිබෙනවා. අපත් එය සිදු කළ යුතුයි. ඒ වගේම බුද්ධ දේශනාව සහ කෘත්‍රිම බුද්ධිය අතර තිබෙන සම්බන්ධතාව පිළිබඳ පර්යේෂණ කටයුතු ආරම්භ කිරීම සඳහා රුපියල් බිලියනයක් ලබන වසරේදී වෙන් කිරීමට අපේක්ෂා කරනවා. එය මෙම වසරේදී සිදු කිරීමට අපේක්ෂා කළ ද කෘත්‍රිම බුද්ධිය පාලනයට අදාළ නීති රෙගුලාසි තවමත් සම්මත කරගෙන නැති නිසා එය ලබන වසරට කල් දමනු ලැබුවා. ඒ අනුව නව නීති ඉදිරිපත් කර එම කටයුතු ආරම්භ කිරීමට අප අපේක්ෂා කරනවා.
මොරටුවැල්ල ධම්ම නිකේතන ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානාධිපති අමරපුර කල්‍යානිවංශික ශ්‍රී සද්ධම්ම යුක්තික නිකායේ මහානායක මාගාල්ලේ නාගිත හිමි, පානදුර සංඝ සභාවේ අධිකරණ සංඝ නායක කොරළවැල්ල වාළුකාරාම මහා විහාරාධිපති නැහින්නේ අරියඥාන හිමි, මොරටුව ශාසනාරක්ෂක බලමණ්ඩලයේ සභාපති මොරටුව, ඉඳිබැද්ද ශ්‍රී සුධර්ම රත්නාරාම විහාරාධිපති ගම්පොල සුගුණධජ හිමි, මොරටුව හොරේතුඩුව පුරාණ සාංඝිකාරාමයේ විහාරාධිපති, අඟුලානේ ඥානවිමල බෞද්ධ මධ්‍යස්ථානාධිපති, ශාස්ත්‍රපති උඩුගම විමලකිත්ති හිමි ඇතුළු මහා සංඝරත්නය සහ අන්‍යාගමික පූජකවරුන් ද මොරටුව ශ්‍රී ලංකා බෞද්ධ සමිතියේ සාමාජිකයන් ඇතුළු විශාල පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.