රූපවාහිනී මුල් පුටුවෙන් ඉසුඹු ලබන ආචාර්ය ප්‍රසාද්ගේ මෙහෙවර ඇගයුමට

වසරකට ආසන්න කාලයක් ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ සභාපති සහ අධ්‍යක්ෂ ජනරාල් ධුරයේ කටයුතු කළ ආචාර්ය ප්‍රසාද් සමරසිංහ මහතා සිය පෞද්ගලික අවශ්‍යතාවක් මත තනතුරෙන් විශ්‍රාම ගැනීම වෙනුවෙන් සංවිධානය කරන ලද විශේෂ සමු ගැනීමේ වැඩසටහනක් ජනමාධ්‍ය අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.

විවිධ හේතු රාශියක් මත ඉතා අස්ථාවර තත්ත්වයට පත්ව තිබූ ජාතික රූපවාහිනිය යළි නඟාසිටුවීම සඳහා පෞද්ගලික අංශයේ පරිපාලන නිලධාරියකු ලෙස ලද සිය අත්දැකීම් ඇසුරෙන් වැඩපිළිවෙළක් සකස් කරන ලෙස අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා විසින් ආචාර්ය ප්‍රසාද් සමරසිංහ මහතා වෙත රූපවාහිනී සංස්ථාවේ සභාපති ධුරය සහ අධ්‍යක්ෂ ජනරාල් ධුරයේ වගකීම භාර දෙන ලදි. ඒ අනුව කෙටි කාලයක් ඇතුළත ආයතනය මුහුණ දුන් ගැටලු නිරාකරණය කරමින් ස්ථාවර තත්ත්වයක් ගොඩනැඟීමට ප්‍රසාද් සමරසිංහ මහතා සුවිශේෂ දායකත්වයක් දැක්වීම මෙහිදී අමාත්‍යවරයා විසින් සුවිශේෂ ඇගයීමට ලක් කරන ලදි.

ඒ අනුව වර්තමානය වන විට එතුමාගේ සංකල්ප මත ආරම්භ කරන ලද වැඩසටහන් සහ කාර්යභාරය ආයතනය තුළ ඉදිරියටද ක්‍රියාත්මක කරගෙන යෑම අධ්‍යක්ෂ මණ්ඩලය ඇතුළු අනෙකුත් සාමාජිකයන්ගේ වගකීමක් වන බවද මෙහිදී අමාත්‍යවරයා අවධාරණය කළේය. එමෙන්ම සිය පෞද්ගලික අවශ්‍යතාවක් මත තනතුරින් ඉවත්ව ගියත් ආයතනයේ උන්නතිය වෙනුවෙන් ඕනෑම අවස්ථාවක එතුමාගේ දායකත්වය සහ උපදේශකත්වය ලැබෙනු ඇති බවටද අමාත්‍යවරයා මෙහිදී විශ්වාසය පළ කළේය.

කිසිදු වංචාවකට දූෂණයකට දායක නොවෙමින් තම පෞද්ගලික වැටුප පවා කාර්ය මණ්ඩලය වෙත පරිත්‍යාග කළ ප්‍රසාද් සමරසිංහ මහතාට ඇතැම් අවස්ථාවල ජනතා විමුක්ති පෙරමුණ වැනි දේශපාලන පක්ෂවල පදනම් විරහිත චෝදනාවලට පවා පාර්ලිමේන්තුවේදී ලක් වීමට සිදු වුවත් නිවැරදි තීරණ වෙනුවෙන් සහ නිවැරදි නිලධාරීන් වෙනුවෙන් සැම විටම පෙනී සිටිමින් ඒ වැරදි චෝදනා නිවැරදි කිරීමට තමා කටයුතු කළ බවත් අමාත්‍යවරයා මෙහිදී අවධාරණය කළේය.

දීර්ඝ කාලයක් පෞද්ගලික අංශය තුළ ආයතන ප්‍රධානියකු ලෙස අත්දැකීම් ලැබුවත්, වගකීමක් සහිත රාජ්‍ය මාධ්‍ය ආයතනයක ප්‍රධානියා ලෙස කටයුතු කිරීමට අවස්ථාව සලසා දීමෙන් තම දැනුමෙන් රටට යමක් එකතු කිරීමට අවස්ථාව හිමි වූ බව මෙහිදී ආචාර්ය ප්‍රසාද් සමරසිංහ මහතා ප්‍රකාශ කළේය.

එමෙන්ම ඉදිරියේදීද තම වෘත්තීය පළපුරුද්ද ඇති තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රය ඇතුළු ඕනෑම අංශයකින් ඕනෑම අවස්ථාවක ආයතනයේ උන්නතිය වෙනුවෙන් උපරිම දායකත්වය දීමට කටයුතු කරන බවද ඒ මහතා ප්‍රකාශ කළේය.

ජනමාධ්‍ය අමාත්‍යංශයේ ලේකම් අනූෂ පැල්පිට, ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යංශයේ ලේකම් රංජිත් ගංගානාත් රූබසිංහ මහත්වරුන්, ස්වාධීන රූපවාහිනිය, ගුවන්විදුලි සංස්ථාව, ලේක්හවුස් ආයතනය, සැලසිනේ ආයතනය ඇතුළු ජනමාධ්‍ය අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක විද්යුත් හා මුද්‍රිත මාධ්‍ය ආයතන ප්‍රධානීන්, අමාත්‍යංශ නිලධාරීන් ඇතුළු පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියහ.