දරුවන්ගේ ජීවිතවලට සැබෑ මිහිරක් ගෙන දෙන ‘මිහිර’ පුවත්පත නව මුහුණුවරකින් ඉදිරියේදී දරුවන් අතට පත් කරන බව සීමාසහිත එක්සත් ප්‍රවෘත්ති පත්‍ර සමාගමේ සභාපති සහ කළමනාකාර අධ්‍යක්ෂ, මහාචාර්ය හරේන්ද්‍ර කාරියවසම් මහතා පැවසීය.සභාපතිවරයා මේ බව පැවසුවේ ‘මිහිර’ පුවත්පතට වසර 60ක් පිරීම නිමිත්තෙන් ලේක්හවුස් ආයතන පරිශ්‍රයේ  (30) පැවති උත්සවයට එක්වෙමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ සභාපතිවරයා මෙලෙස ද කීවේය.

“නවීකරණය වන ලෝකයත් සමඟ ‘මිහිර’ පුවත්පත ද නවීකරණය කිරීම අත්‍යවශ්‍යයි. ඒ අනුව ඊ පුවත්පතක් ලෙස ‘මිහිර’ පුවත්පත ප්‍රකාශයට පත් කරනවා. නැවත මුද්‍රිත පුවත්පතක් ලෙසත් දරුවන් අතට පත් කිරීමට පියවර ගන්නවා.

වසර 60ක් සම්පූර්ණ කරන ‘මිහිර’ පුවත්පතට මම පළමුවෙන්ම සුභාශිංසන පිරිනමනවා. 1964 ජූලි මස 27 වැනිදා ‘මිහිර’ පුවත්පත ආරම්භ කළා. මේ සංවත්සරයත් සමඟ ඊ පුවත්පතක් දරුවන් අතට පත් කරනවා. නවීකරණය කර තමයි එය අපි ඉදිරිපත් කරන්නේ. ‘මිහිර’ පුවත්පතේ පළමු කර්තෘ වූයේ ශ්‍රී ලාල් ලියනගේ මහතා. එදා සිට අද කර්තෘ රූපාන්ති බුලත්සිංහල මෙනෙවිය දක්වා සුවිශේෂ කර්තෘවරුන් පිරිසක් ‘මිහිර’ පත්තරය වෙනුවෙන් කැප වුණා. ඒ කැපවීමේ ප්‍රතිඵල තමයි අපි ‘මිහිර’ පුවත්පතෙන් දකින්නේ. ලෝකය වෙනස් වෙනවා. ඒ වෙනසත් එක්ක අපටත් වෙනස් වෙන්න වෙනවා. කොවිඩ් වසංගතයත් සමඟ ලෝකය බොහෝ ලෙස වෙනස් වුණා. මේ වෙනස් වීමත් සමඟ මුද්‍රිත මාධ්‍යයෙන් එහාට අපත් යා යුතුයි. අධ්‍යාපනය ලබන එක් ක්‍රමයක් තමයි සූම් තාක්ෂණය භාවිත කරමින් ලෝකය සමඟ සම්බන්ධ වීම. එය කොවිඩ්වලට පෙර ලෝකයේ තිබුණා. අපට ආවේ කොවිඩ්වලින් පසුව. ලෝකය අපේ අත්වලට ඇවිත් තිබෙනවා. ඒ නිසා ස්මාර්ට් දුරකතන ගැන අපි කතා කරනවා.

වෙනස් වන ලෝකයට අනුව වෙනස් වීමට අපත් තීරණය කළා. ඒ අනුව තමයි අපි ‘මිහිර’ පුවත්පත ඊ පුවත්පතක් ලෙස ජනගත කිරීමට තීරණය කළේ. ‘මිහිර’ පුවත්පත නතර කර නෑ. විදුහල්පතිවරුන්ගේ ඉල්ලීම අනුව නැවත පුවත්පත මුද්‍රණය කිරීම ගැන අපි තීරණයක් ගන්නවා. තාක්ෂණය කොතරම් දියුණු වුණත් මුද්‍රිත පුවත්පතක් පාඨකයා අතට පත් වූ විට කියැවීමේ සංස්කෘතිය තවමත් ලෝකය තුළ තිබෙනවා. අලුත් මුහුණුවරකින් ලෝකයට ගැළපෙන විදිහට ඉලෙක්ට්‍රොනික මාධ්‍යයට අමතරව මුද්‍රිත මාධ්‍යයෙනුත් ‘මිහිර’ දරුවන් අතට පත් කරන්න අපි කටයුතු කරනවා. අපි ඩොලර් එක ගැන කතා කරනවා. ගුවන්තොටුපොළේ සිටින හිඟන පුද්ගලයකුට ඉස්සර ඩොලර් එකක් දුන්නාම ඔහු ඒකට අකැමැතියි. නමුත් අද ඩොලරයක් දුන්නාම ඒක ඉහළින්ම පිළිගන්නවා. ආර්ථික අර්බුදයත් සමඟ සිදු වූ දෙයක් තමයි ඒක. හැම අර්බුදයක් එක්කම නවතම දේවල් පැමිණෙනවා. වැඩිම ලෙස හෝම් වර්ක් දෙන රටක් තමයි ලංකාව. දරුවන් ඒකට කැමැති නෑ. එය මම අත්දැකීමෙන්ම දන්නවා. අපේ පාසල්වල දෙන හෝම් වර්ක් දරුවන්ට කරගත නොහැකියි. ඒ නිසා ගෙදර අම්මයි තාත්තයි තමයි ඒ හෝම් වර්ක් කරන්නේ. අම්මයි තාත්තයි බෙදාගෙන හෝම් වර්ක් කරනවා. ඒවාට ගුරුවරුන් තරු දීලා එවනවා. අම්මයි තාත්තයි තමයි ඊට පස්සේ තරු බෙදා ගන්නේ. ඔයා කළ හෝම් වර්ක් එකට තරු හම්බ වෙලා නෑ, මම කළ හෝම් වර්ක් එකට තමයි තරු හම්බ වෙලා තියෙන්නේ කියලා අම්මයි තාත්තයි බෙදා ගන්නවා. මම මේවා කියන්නේ, අපේ ‘මිහිර’ පත්තරේ දරුවන්ගේ හෝම් වර්ක්වලට උත්තර දෙන පත්තරයක් නෙවෙයි කියලා කියන්නයි. විභාග ඉලක්කගත පත්තරයක් නෙවෙයි මේක. දැනුම ඉලක්කගත පත්තරයක් තමයි ‘මිහිර’. නව මිහිරක් ඉදිරිපත් වෙයි. පාසල් විභාග ඉලක්ක කරනවාද කියලා අධ්‍යක්ෂ මණ්ඩලය අතර සාකච්ඡාවක් තිබෙනවා. විභාග ඉලක්කගත නොවුණාම දරුවන් අතර ජනප්‍රිය වෙයිද කියන ප්‍රශ්නයත් තිබෙනවා. සැබෑ මිහිරක් බවට මේ පුවත පත් කරන්න අපි කටයුතු කරනවා. එක්සත් ප්‍රවෘත්ති පත්‍ර සමාගම ලංකාවේ පුවත්පත් ලෝකයේ සැබෑ පත්තර මහගෙදර වේවි.”

කොළඹ ආනන්ද විද්‍යාලයේ විදුහල්පති ලාල් දිසානායක මහතා,

“මිහිර පුවත්පතේ පාඨකයන් ලෙස අපි ‘මිහිර’ට ආදරය කරනවා. පත්තර මහගෙදරින් දරුවන්ට දායාද කරන මේ පුවත්පත නිසා දරුවන් විශාල දැනුමක් ගන්නවා. උපදේශන බොහොමයක් මේ පුවත්පතෙන් දරුවන්ට ලැබෙනවා. අශ්වයාට වතුර පොවන්න බෑ කියලා අපි අහලා තිබෙනවා. අශ්වයාට වතුර පොවන්න බැරි ඇයි කියන හේතුව අපි දන්නවා. ඒ තමා අශ්වයා බොන්නේ පිරිසුදු වතුර විතරයි. වස විසෙන් තොර වතුර බීමට අශ්වයා දන්නවා. ඒකයි අපට අශ්වයාට වතුර පොවන්න බැරි. ඒ වගේ තමයි දරුවන්ට හොඳම දේ තෝරා ගැනීමට ‘මිහිර’ පුවත්පතෙන් අවස්ථාව ලැබෙනවා. රටේ දිශානතිය තීරණය කරන විද්වතුන් මේ පුවත්පත් ආයතනය තුළ සිටිනවා. එවැනි ස්ථානයකින් ‘මිහිර’ පුවත්පත නිකුත් කිරීම ගැන අපට සතුටුයි. ජන විඥානය පුළුල් කරන පත්තර මහගෙදරින් දෙන ‘මිහිර’ පුවත්පතෙන් හරි වැරදි දේ අපට තීරණය කර ගන්න පුළුවන්. දැනුමට එහා ගිය විනයක් මිනිසා තුළ පැවතිය යුතුයි. ඉවසීම, කරුණාව, මෛත්‍රිය, දයාව ආදී ගුණාංග දරුවන්ට හුරු කළ යුතුයි. මේ ලෝකයේ මිලදී ගත නොහැකි දේවල් තමයි ඒ ගුණාංග. බෞද්ධ රටක් විදිහට අපි මේ ගුණාංග දරුවන්ට දායාද කළ යුතුයි. ඒ සඳහා ‘මිහිර’ පුවත්පත හොඳම තෝතැන්නක්. උතුම් මානුෂීය ගුණාංග දරුවන් තුළ ඇති කිරීමෙන් රට යහපත් කළ හැකියි. මේ ගුණධර්ම දරුවන් තුළ වගා කිරීමට ‘මිහිර’ ලොකු උත්සාහයක් දරනවා. ඒ සම්බන්ධයෙන් මම ‘මිහිර’ කර්තෘ මණ්ඩලයට ප්‍රණාමය පුද කරනවා.”

කොළඹ තර්ස්ටන් විද්‍යාලයේ විදුහල්පති ප්‍රමුදිත වික්‍රමසිංහ මහතා,

“හැට වැනි ජන්ම දිනය සමරන ‘මිහිර’ පුවත්පත අපේ දැනුම පෝෂණය කිරීමට මහඟු අත්වැලක් වුණා. අපි පොඩි කාලයේ ‘මිහිර’ නිසා දැනුම පෝෂණය කර ගත්තා. කවර හෝ හේතුවක් නිසා ‘මිහිර’ පුවත්පත ඩිජිටල් තාක්ෂණය ඔස්සේ පමණක් ජනගත කිරීමට ආයතනය තීරණය කර තිබෙනවා. මම ආයතනයෙන් ඉල්ලා සිටින්නේ ඉස්සර වගේම ආයෙත් ‘මිහිර’ පුවත්පත මුද්‍රණය කර ජනතාව අතරට පත් කරන්න කියලා. පත්තරේ තිබෙන සුවඳ, චිත්‍ර, නැවත නැවත කියැවීමේ හැකියාව මුද්‍රිත පත්තරය අතට ගැනීමෙන් අපට ලැබෙනවා. ලක්ෂ හතළිස් ගණනක දරුවන් සංඛ්‍යාවක් රට පුරා සිටිනවා. ඒ අය අතරට පුවත්පත පත් කිරීමෙන් ලබන දැනුම් ආස්වාදය මෙපමණයි කියලා කිව නොහැකියි. ජනප්‍රිය හා ජාතික පාසල් හාරසිය ගණනක් තිබෙනවා. පාසල් ඔක්කොම දස දහස් ගණනක් පමණ තිබෙනවා. පාසලකට එක ගණනේ වුවත් මුද්‍රිත පත්තරයක් දෙන්න හැකි නම් වාණිජ ගැටලුවක් ඇති නොවේ කියලා මම හිතනවා.”

කොළඹ ආනන්ද බාලිකා විදුහලේ විදුහල්පතිනී ගංගා කුමුදුනී මහත්මිය,

“මගේ අතීතයේත් මිහිරේ මතක තිබෙනවා. මුද්‍රිත පුවත්පත තමයි ඒ කාලේ අපේ අතට ආවේ. ඒ පත්තර මගේ පුතා වෙනුවෙන් තබා ගත්තා. විද්‍යාත්මක, පරිසර දැනුම ඇතුළු තවත් බොහෝ දේ අපට මෙමඟින් ලැබෙනවා. ඩිජිටල් මාධ්‍යයෙන් දරුවන් අතට පත් කරන පුවත්පත තුළින් චලන රූප වැනි නිර්මාණශීලි දේ දීමෙන් දරුවන්ට මිහිරක් වන මිහිරක් දිය හැකියි. දරුවන්ගේ දැනුම පමණක් නොව ඔවුන්ගේ මානුෂීය ගුණාංග ඇති කරන්න මේ පුවත්පතට හැකි වේවායි මම ප්‍රාර්ථනා කරනවා.”

රාජගිරිය සෝභිත විදුහලේ විදුහල්පතිනී නදී වික්‍රමරත්න මහත්මිය

“විෂය කරුණුත්, පින්තූරත් එක් කරන තැනක් තමයි ‘මිහිර’ පුවත්පත. පුවත්පත මුද්‍රණය කිරීම නැවැත්වීමෙන් දරුවන්ට ඒ අවස්ථාව මඟ හැරෙනවා. හැකිනම් නැවත පුවත්පත මුද්‍රණය කරන්න කියලා ආයතනයෙන් ඉල්ලා සිටිනවා.”

ජාත්‍යන්තර භාෂා විදුහලේ විදුහල්පති සම්පත් නවරත්න මහතා,

“කොළඹ තිබෙන ප්‍රමුඛතම මාධ්‍ය ආයතනයකට සම්බන්ධ වෙලා ‘මිහිර’ පුවත්පතෙන් ඉංග්‍රීසි ගුරුවරයෙක් හැටියට දරුවන් අතරට යෑමට මට හැකි වෙලා තිබෙනවා. ඒ ගැන මම ‘මිහිර’ පුවත්පතට ස්තූතිවන්ත වෙනවා. ‘මිහිර’ පුවත්පත ගමේ දරුවන් අතර බ්‍රෑන්ඩ් එකක් බවට පත්වෙලා හමාරයි. ඒ බ්‍රෑන්ඩ් එක රැක ගන්න අපට කළ හැකි හැම දෙයක්ම කරනවා. ‘මිහිර’ පුවත්පත නැවත මුද්‍රණය කර අපි අතට පත් කරනවා නම් දරුවන් අතරට මේ පුවත්පත පත් කරන්න අපට හැකියි. දරුවන් අතර ප්‍රසිද්ධ ‘මිහිර’ පුවත්පතෙන් දෙන දැනුම අපමණයි.”

මේ උත්සව සභාව වර්ණවත් කිරීමට ‘දඟ කරනා හා පැංචත් මං වගේමලු’ ගීතය හම්බන්තොට ථේරපුත්ත ජාතික පාසලේ ජී. ඩබ්ලිව්. සිනෙත්මා හංසෝද්මි දියණිය ගායනා කළාය.

‘මිහිර’ ළමා සමාජයේ දරුවන්ගේ නිර්මාණ කිහිපයක් ද මෙහිදී ඉදිරිපත් කෙරිණි. රූපවාහිනී ළමා නිවේදකයන් වන හුණුමුල්ල සී. ඩබ්ලිව්. ඩබ්ලිව්. කන්නන්ගර ජාතික විද්‍යාලයේ ඔෂාන් වගීෂ පුතණුවන් සහ වේයන්ගොඩ බණ්ඩාරනායක මධ්‍ය මහා විද්‍යාලයේ රොහන්සා නිසලනී දියණිය මේ සභාව මෙහෙය වූහ.

මේ අවස්ථාවට සීමාසහිත එක්සත් ප්‍රවෘත්තිසමාගමේ කර්තෘ මණ්ඩල අධ්‍යක්ෂ සිසිර පරණතන්ත්‍රී, මූල්‍ය අධ්‍යක්ෂ ආචාර්ය සුනිල් ජයන්ත නවරත්න, සාමාන්‍යාධිකාරී සුමිත් කොතලාවල මහත්වරුන්, දිනමිණ සහ ඩේලි නිව්ස් පුවත්පත්හි ප්‍රධාන කර්තෘවරුන් ඇතුළු ආයතනයේ නිලධාරීහු සහභාගි වූහ.