මැතිවරණ හෝ වෙනත් කරුණු හේතුවෙන් නොවෙනස්ව 2027 වසර තෙක් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග පවත්නා ණය ගිවිසුම ඒ ආකාරයෙන්ම ක්‍රියාත්මක වන බව කැබිනට් ප්‍රකාශක ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.

කැබිනට් ප්‍රකාශකවරයා මේ බව පැවසුවේ අද (06) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී අදහස් දක්වමිනි.

තවත් මාස කිහිපයකින් මෙරට කවුරුන් ජනාධිපති වුවද, කවුරුන් ආණ්ඩුව කළද ඇතිකර ගත් ණය ගිවිසුම වෙනසක් සිදුවුවහොත් 2025 අයවැය සෑදීමට නොහැකි බවද, අයවැය ලේඛනය සම්මත කරගැනීමට දැනට සිටින මුදල් අමාත්‍යවරයා හා මුදල් අමාත්‍යංශය ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ අත්සන් කර ඇති ගිවිසුම අනූව 2025ට ඇමරිකානු ඩොලර් මිලියන 5018ක විදේශ සම්පත් පරතරයක් ඇතිවීම සම්බන්ධව ඇස්තමේන්තු කර ඇතැයිද ඉන් මූල්‍ය අරමුදල මිලියන 663ක් ලබාදීමට පොරොන්දු වී ඇතැයිද පැවසුවේය.

2025 අයවැය ලේඛනය සකස් කිරීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඇමරිකානු ඩොලර් මිලියන 700ක් ද, ලෝක බැංකුව 400ක් ද ආසියානු සංවර්ධන බැංකුව 300ක් ද වශයෙන් ලබා දීමට පොරොන්දු වී ඇතැයි පැවසූ අමාත්‍යවරයා 3855ක සහනයක් හිමිවන බවද සඳහන් කළේය.