IMF ගිවි­සුමේ කිසිදු මිනු­ම්ද­ණ්ඩක්  වෙනස් කළ නොහැ­කියි – ජන­පති මාධ්‍ය ප්‍රධා­නීන් හමුවේ කියයි

අනෙ­කුත් අපේ­ක්ෂ­ක­යන් තමන්ගේ අනා­ග­තය වෙනු­වෙන් ජනා­ධි­ප­ති­ව­ර­ණ­යට තරග කරන විට තමා ඊට ඉදි­රි­පත්ව සිටින්නේ රටේත්, ජන­තා­ව­ගේත් අනා­ග­තය ගොඩ­නැ­ඟීම වෙනු­වෙන් බව ජනා­ධි­පති රනිල් වික්‍ර­ම­සිංහ මහතා පැව­සීය. ජනා­ධි­ප­ති­ව­රයා මේ බව ප්‍රකාශ කළේ මාධ්‍ය ප්‍රධා­නීන් සමඟ ඊයේ (7) කොළඹ සින­මන් ග්‍රෑන්ඩ් හෝට­ලයේ පැවති හමු­වට එක් වෙමිනි. ආර්ථික වශ­යෙන් රට දැඩි අර්බු­ද­යට ලක් වූ අවස්ථා දෙක­කදී රට ඒ තත්ත්ව­යෙන් මුදා­ග­නි­මින්, හැකි­යාව ඔප්පු කර ඇති නිසා එහිදී තමාට කිසි­වකු සමඟ සට­නක් නැති බවද මෙහිදී පැවසූ ජනා­ධි­ප­ති­ව­රයා රට ඉදි­රි­යට ගෙන යෑමේ එකම මාර්ගය ලෙස රජය ආරම්භ කළ ආර්ථික වැඩ­පි­ළි­වෙළ ඉදි­රි­යට ගෙන යෑමේ වරම මෙවර ජනා­ධි­ප­ති­ව­ර­ණ­යේදී තමා ජන­තා­ව­ගෙන් ඉල්ලා සිටින බවද පැව­සීය.

මෙහිදී වැඩි­දු­ර­ටත් අද­හස් දැක්වූ ජනා­ධි­පති රනිල් වික්‍ර­ම­සිංහ මහතා:

“ජනා­ධි­ප­ති­ව­ර­ණය සඳහා ඇප මුදල් තැන්පත් කිරී­මෙන් පසු පළමු වතා­වට මාධ්‍ය මුණ­ගැ­සී­මට මා තීර­ණය කළා. මා අද ජනා­ධි­ප­ති­ව­රයා ලෙස කට­යුතු කරන්නේ වෙන කිසි­වෙක් එම තන­තුර භාර ගැනී­මට ඉදි­රි­පත් නොවූ නිසයි. ධුරය භාර ගෙන වසර දෙකක් තුළ රටේ මූලික ප්‍රශ්න­යට මම විස­ඳුම් දුන්නා. ශ්‍රී ලංකාවේ ප්‍රශ්නය විස­ඳන්න බැහැ, ග්‍රීසි­යට ආර්ථික අර්බු­ද­යෙන් ගොඩ ඒමට වසර 10ක් ගත වුණා; ඉන්දු­නි­සි­යා­වට වසර 8ක් ගත වුණා. ශ්‍රී ලංකාව මේ ප්‍රශ්නය විස­ඳන්නේ කොහො­මද කියා ඇතැ­මුන් ප්‍රශ්න කළා. ඒත් මේ ප්‍රශ්නය කෙටි කල­කින් විස­ඳා­ගත හැකි බව මා විශ්වාස කළා. මේ කාර­ණය එව­කට ජනා­ධි­පති ගෝඨා­භය රාජ­පක්ෂ මහතා සමඟ මා සාකච්ඡා කළා. ඒ නිසා බය නැතිව මේ අභි­යෝ­ගය භාර ගත්තා. ඒත් මට සහ­යෝ­ගය දීමට තනි පක්ෂ­යක් තිබුණේ නැහැ. පොදු­ජන පෙර­මුණේ පිරි­සක් අපත් සමඟ එක් වුණා, තවත් පිරි­සක් විප­ක්ෂ­යට ගියා. ශ්‍රී ලංකා නිද­හස් පක්ෂයේ පිරි­සක් අපත් සමඟ සිටියා. ඇතැම් පිරි­සක් විප­ක්ෂය සමඟ එක් වුණා. මම පක්ෂ­යක් නැතිව ආණ්ඩු­වක් හදලා මේ වග­කීම භාර ගත්තා. දැන් අප එම මූලික වැඩ­ක­ට­යුතු අව­සන් කර තිබෙ­නවා. රට බංකො­ලො­ත්භා­ව­යෙන් නිද­හස් කර­ගැ­නීමේ මාර්ගය අප දැන් සකස් කර තිබෙ­නවා. අප එම මාර්ගයේ ඉදි­රි­යට ගමන් කරමු.

“මේ රටේ ආර්ථික ක්‍රමය කඩා­වැ­ටුණ නිසා ජන­තාව දුක් වින්දා. ඒ වගේම බදු බර වැඩි වීම නිසා ඇතැම් අයට දරා ගැනී­මට නොහැකි තත්ත්ව­යක් ඇති වුණා. ඒ පිළි­බඳ මා කන­ගාටු වනවා. එහෙත් එය සිදු නොකර රටේ ආර්ථි­කය පව­ත්වා­ගෙන යෑමට නොහැකි වුණා. අපේ රටේ දේශ­පා­ල­නයේ තිබෙන ගැට­ලුව වන්නේ ඇත්ත කීමට සූදා­නම් නොවී­මයි.

“ස්ථාව­ර­භා­ව­යක් නැතිව රටක් දියුණු කරන්න බැහැ. මම ඊයේ රූප­වා­හි­නියෙන් බංග්ලා­දේ­ශයේ සිදු­වීම් නර­ඹන විට මට සිතුණේ මම මේ රට භාර ගත්තේ නැති නම් රටට මොකක්ද වෙන්නේ කියලා. බංග්ලා­දේශ අග­මැ­ති­නි­යට ඉවත් වන ලෙස පැව­සු­වත් එය භාර ගැනී­මට ආය­ත­න­යක් තිබුණේ නැහැ. අන්ත­ර්පා­ල­න­යක් සඳහා හමු­දාව පැමි­ණි­යත් හමු­දාව පිළි­ගන්න බැහැ කියා විරෝ­ධ­තා­ක­රු­වන් ප්‍රකාශ කළා. මුහ­ම්මද් යුනුස් මැති­තුමා අග­මැති ලෙස පත් කරන්න කියලා ඔවුන් දන්වා සිටියා. ඔවුන්ගේ ව්‍යව­ස්ථාවේ සඳ­හන් වෙනවා අග­මැති වීමට නම් මන්ත්‍රී­ව­ර­යකු විය යුතුයි කියලා. අප ඒ තත්ත්ව­යට පත් වුණා නම් මොකද වෙන්නේ? අපි වාස­නා­වන්ත රටක්. අපට කෙසේ හෝ ආණ්ඩු­වක් ගොඩ­න­ඟා­ගැ­නී­මට හැකි වුණා. ඒ නිසා තමයි අද ජනා­ධි­ප­ති­ව­ර­ණය පැවැ­ත්වී­මට අව­ස්ථාව ලැබී තිබෙන්නේ.

“මෙවර ජනා­ධි­ප­ති­ව­ර­ණ­යේදී ඔබ තීර­ණය කළ යුත්තේ රටේ අනා­ග­ත­යයි. මේ මාර්ගයේ ඉදි­රි­යට ගොස් අප දියුණු රටක් බවට පත් වෙන­වාද? රටේ දුක් විඳින ජන­තා­වට සහන දෙන­වාද? තරු­ණ­යන්ට හොඳ අනා­ග­ත­යක් ගොඩ­නඟා දෙන­වාද? එසේ නැතිව පැරණි දේශ­පා­ල­නයේ නිර­තව නැවත ආර්ථි­කය කඩා­වැටී පෝලිම් යුග­ය­කට යන­වාද? කියා අප තීර­ණය කළ යුතුයි.

“එහිදී මුහුණු දෙස බලන්න අවශ්‍ය නැහැ. එහිදී තීර­ණය කළ යුත්තේ තමන්ට රට බේරා­ගැ­නී­මට ශක්ති­යක් තිබෙ­න­වාද හා ප්‍රති­පත්ති තිබෙ­න­වාද නැද්ද යන්න පම­ණයි. මෙවර ජනා­ධි­ප­ති­ව­ර­ණ­යේදී තීර­ණය කළ යුත්තේ අපේ­ක්ෂ­ක­යන්ගේ අනා­ග­තය නොවෙයි. රටේ අනා­ග­ත­යයි; ජන­තා­වගේ අනා­ග­ත­යයි. අප මෙතැන් සිට ක්‍රමා­නු­කූ­ලව ඉදි­රි­යට යන­වාද? ශක්ති­මත්ව රටේ ප්‍රශ්න විස­ඳා­ග­න්න­වාද? නැත්නම් 2022 පැවති තත්ත්ව­යට යන­වාද? කියා තීර­ණය කළ යුතුයි.

“ජාත්‍ය­න්තර මූල්‍ය අර­මු­දල සහ අපට ණය දෙන රට­වල් සමඟ ඇති කර­ගෙන තිබෙන ගිවි­සුම් එක­ක්වත් කඩ කිරී­මට හැකි­යා­වක් නැහැ. එසේ කළ හොත් අපට මුදල් ලැබෙන්නේ නැහැ. එවිට අපේ රටේ ආර්ථි­කය නැවත කඩා­වැ­ටෙ­නවා. විවිධ පාර්ශ්ව­ව­ලට විවිධ පොරොන්දු දිය හැකියි. එහෙත් ඒවා ඉටු කිරී­මට හැකි­යා­වක් නැහැ. එවිට වැට් බදු තවත් වැඩි කිරී­මට සිදු වනවා. එයයි සත්‍ය තත්ත්වය. අප සත්‍ය ප්‍රකාශ කර රට බේරා ගැනී­මට සූදා­නම්ද? නැත්නම් බොරු කියලා බලය ගැනී­මට සූදා­නම්ද? කියා සිතිය යුතුව තිබෙ­නවා. ඒ නිසා රජය ආරම්භ කළ මේ වැඩ­ස­ට­හන් ඉදි­රි­යට ගෙන යෑමේ වරම මා ජන­තා­ව­ගෙන් ඉල්ලා සිටි­නවා.”

ප්‍රශ්නය: ධම්මික පෙරේරා මහතා තර­ග­යෙන් ඉවත් වී නාමල් රාජ­පක්ෂ මහතා ජනා­ධි­ප­ති­ව­ර­ණ­යට ඉදි­රි­පත් කර තිබෙ­නවා. පොදු ජන පෙර­මුණේ වැඩි පිරි­සක් ඉන්නේ ඔබ සම­ඟයි. ඒත් නාමල් මහතා ලොකු සට­නක් දෙයි කියා ඔබ බලා­පො­රොත්තු වෙන­වාද?

පිළි­තුර: සටන කොහොම වේවිද කියා මා දන්නේ නැහැ. මා එන්නේ සටන් කරන්න නෙවෙයි; රට ගොඩ­න­ඟන ප්‍රති­ප­ත්තිය ජන­තා­වට ඉදි­රි­පත් කර රට ඉදි­රි­යට ගෙන යෑමේ මාර්ගය පෙන්වා දීම­ටයි. ඊට කැමැති නම් ඡන්දය දිය හැකියි. ජනා­ධි­පති ධුරය සඳහා එදා පාර්ලි­මේ­න්තුවේ කළ ඡන්ද විම­සී­මේදී නාමල් රාජ­පක්ෂ මහ­ත්ම­යාත්, පොදු­ ජන පෙර­මු­ණත් මට ඡන්දය දුන්නා. ඒ වෙනු­වෙන් මම ස්තුති­වන්ත වෙනවා. අප එකඟ වුණේ මේ වසර දෙක තුළ එක්ව වැඩ කරමු කියන කරු­ණ­ටයි. දැන් ඒ වසර දෙක ගෙවී අව­සන්. සහ­යෝ­ගය දීම හෝ අපේ­ක්ෂ­ක­යකු ඉදි­රි­පත් කිරීම පිළි­බඳ ඒ පක්ෂය තීර­ණය කළ යුතුයි. ඒ අනුව දැන් තිබෙන්නේ තමන්ගේ කරුණු රටට ඉදි­රි­පත් කිරී­ම­ටයි.

ප්‍රශ්නය: මෙවර ජනා­ධි­ප­ති­ව­ර­ණ­යේදී ඔබේ ප්‍රති­වා­දීන් ලෙස එක් පසෙ­කින් විධා­යක ජනා­ධි­ප­ති­වරු දෙදෙ­න­කුගේ පුතුන් දෙදෙ­නකු තරග වදි­නවා. අනෙක් පසින් රාජ්‍ය බල­යක් ලබා නොගත් අපේ­ක්ෂ­ක­යෙක් තරග වදි­නවා. මෙම සිව්කොන් සටන තුළ අනෙක් අපේ­ක්ෂ­ක­යන් ඔබට අභි­යෝ­ග­යක් නොවේද?

පිළි­තුර: මට මේ කිසි­වක් අභි­යෝ­ග­යක් නොවෙයි. මහින්ද රාජ­පක්ෂ මහ­ත්මයා සමඟ මා එක්ව මෙන්ම විරු­ද්ධ­වද දේශ­පා­ල­නය කර තිබෙ­නවා. ප්‍රේම­දාස ජනා­ධි­ප­ති­ව­ර­යාට දෝෂා­භි­යෝ­ග­යක් පැමිණි අව­ස්ථාවේ මා එය බේරා දුන්නා. අනුර දිසා­නා­යක මහ­ත්මයා මගේ හොඳ මිත්‍ර­යෙක්.

ප්‍රශ්නය: ඔබ වතු­ක­රයේ ජන­තා­වට රු. 1,700ක වැටු­පක් දෙන බවට පොරො­න්දු­වක් දුන්නා. මෙවර ඔවුන්ට ඒ රු. 1,700 ලැබේ­විද?

පිළි­තුර: සම­හර සමා­ග­ම්ව­ලට ගෙවන්න හැකි නම් අනෙක් සමා­ග­ම්ව­ලට බැරි වෙන්න බැහැ. එසේ ගෙවිය නොහැකි සමා­ගම් සතු ඉඩම් අර­ගෙන ගෙවීම් කළ හැකි සමා­ග­ම්වල‍ට දිය යුතුයි. මේ රටේ වතු­ක­රයේ ජන­තා­වට මේ මුදල දිය යුතුයි. ඔවුන් ජීවත් වන්නේ අප­හ­සු­වෙන්. ඒ වගේම ඔවුන් ජීවත් වන ලයින් කාමර පිළි­බඳ බදු ගිවි­සුම අහෝසි කර ඒවා ගම්මාන බවට පත් කිරී­ම­ටත් අප කට­යුතු කර­නවා. ප්‍රශ්නය: ඔබ සහ අධි­ක­ර­ණය අතර යම් ගැටු­මක් තිබෙ­න­වාද? කථා­නා­ය­ක­ව­ර­යාට අග­වි­නි­සුුරු සමඟ සාකච්ඡා කර පොලි­ස්පති පිළි­බඳ ගැට­ලුව විස­ඳන ලෙස ඔබ පසු­ගි­යදා ප්‍රකාශ කළා. එහෙත් අද වන තුරු එය සිදු වී නැහැ…

පිළි­තුර: මා කළේ යෝජ­නා­වක් පම­ණයි. මෙහිදී අධි­ක­ර­ණය එක් පසෙ­කින් තීර­ණ­යක් දුන්නා. පාර්ලි­මේ­න්තුව තවත් පසෙ­කින් තීර­ණ­යක් දුන්නා. මා විධා­ය­කය ලෙස මේ යෝජ­නාව කළේ පිටත සිටයි.  එය කර­න­වාද? නැද්ද? යන්න ඔවුන්ගේ තීර­ණ­යක්. ජනා­ධි­පති ලෙස මා වග කියන්නේ පාර්ලි­මේ­න්තු­ව­ටයි. පාර්ලි­මේ­න්තුව දුන් තීර­ණය මට ක්‍රියා­ත්මක කරන්න වෙනවා.

ප්‍රශ්නය: විවිධ චෝදනා තිබෙන අයත් ඔබ සමඟ සිටින නිසා ඔවුන් සමඟ ඔබට ඉදිරි ජනා­ධි­ප­ති­ව­ර­ණය ජය­ග්‍ර­හ­ණය කළ හැකි වනු ඇති බව විශ්වාස කර­න­වාද?

පිළි­තුර: මා සමඟ සිටින්නේ පාර්ලි­මේන්තු මන්ත්‍රී කණ්ඩා­ය­මක්. චෝදනා තිබෙන අය ඉන්නවා නම් ඔවුන්ට නඩු පැව­රිය හැකියි. මා ඒ කිසි­වක් නවත්වා නැහැ. චෝදනා තිබෙන අය තෝරා­ග­න්න­වාද? නැද්ද? කියන එක ඡන්ද දාය­ක­යන් තීර­ණය කළ යුතුයි. කිසි­වකු සිදු නොකළ අන්ද­මින් දූෂණ විරෝධි පනත අප ගෙනැ­විත් තිබෙ­නවා. අප­රා­ධ­ය­කින් උපයා ගත් දේපළ පිළි­බඳ පනත් කෙටු­ම්පත ලබන සතියේ  අනු­මත කර ගැසට් කර­නවා. හැම­දෙ­නාම දූෂ­ණය, දූෂ­ණය කියලා කෑගැ­හු­වත් ඒ සම්බන්ධ වැඩ­පි­ළි­වෙ­ළක් ගැන කතා කළේ නැහැ. නමුත් අප ඒ පිළි­බඳ කට­යුතු කර තිබෙ­නවා.

මගේ ඉදිරි ගමන වෙන්නේ ජනා­ධි­පති ධුර­යට පත් වීමයි. ඔවුන්ගේ ඉදිරි ගමන වන්නේ පාර්ලි­මේ­න්තු­වට තේරී පත් වීමයි. ඡන්ද දාය­ක­යන් ඔවුන් ප්‍රති­ක්ෂේප කළොත් ඒ ප්‍රශ්නය එතැ­නින් ඉව­රයි. දේශ­පා­ල­නයේ අප විවිධ අය සමඟ කට­යුතු කර­නවා. ඔවුන් හොරුන්ද? නැද්ද? කියන එක හොයන එක නීතිය සතු කට­යු­ත්තක්.