දශක තුනක් පුරා පැවැති එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදයෙන් රට බේරා ගැනීම සිහි කෙරෙන 16 වැනි ජාතික රණවිරු අනුස්මරණ උත්සවය ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ ජාතික රණවිරු අනුස්මරණ ස්මාරකය අසල දී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද (19) සවස 4 ට පැවැත්වේ.

එම අවස්ථාවට කුරිරු ත්‍රස්තවාදය නිමා කිරීමට ත්‍රිවිධ හමුදාවට නායකත්වය ලබා දුන් ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා, අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට් වසන්ත කරන්නාගොඩ සහ මාර්ෂල් ඔෆ් ද එයාර් ෆෝස් රොෂාන් ගුණතිලක ද සහභාගී වීමට නියමිතය.

මෙම රණවිරු සැමරුම් උත්සවයට සමගාමීව ත්‍රිවිධ හමුදාවේ, පොලිස් දෙපාර්තමේන්තුවේ හා සිවිල් ආරක්‍ෂක දෙපාර්තමේන්තුවේ දායකත්වයෙන් දිවයින පුරා ප්‍රජා සුබසාධන වැඩසටහන් මාලාවක් ද ක්‍රියාත්මක කරනු ලැබේ.

මේ අවස්ථාවට නියෝජ්‍ය ආරක්‍ෂක අමාත්‍ය මේජර් ජෙනරල් අරුණ ජයසේකර (විශ්‍රාමික) මහතා ඇතුළු සම්භාවනීය අමුත්තන් රැසක් සහභාගි වීමට නියමිත අතර හමුදා නිලධාරීන් සහ රණවිරු පවුල්වල සාමාජිකයන්ගේ සහභාගිත්වයෙන් රණවිරු ස්මාරකයට පුෂ්පෝපහාර හා ගෞරව දැක්වීම සහ හමුදා සම්ප්‍රදායානුකූලව ගරු බුහුමන් දැක්වීම මෙහිදී සිදු කෙරේ.