ජනතාවගේ ශක්තියත්, ගෝලීය සුහදතාව හා සහායත් ඇතිව ශ්‍රී ලංකාවේ මෑතකාලීනව ඇති වූ අර්බුදවලින් ගොඩඑමින් සිටින අතර ඒ සඳහා ගෝලීය ක්‍රියාකාරීන්ගෙන් ලැබෙන සහයෝගය බෙහෙවින් අගය කරන බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය ඇමැති වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.
ලෝක සෞඛ්‍ය සංවිධානය හඳුන්වා දී ඇති “සෞඛ්‍යමත් ලොවක්” යන තේමාවෙන් යුත් වැඩසටහනට ඒකාබද්ධව ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය වැඩසටහන් ක්‍රියාවට නංවන බවත් තිරසර සංවර්ධන ඉලක්ක කරා නැවත එළඹීමට සාමූහික ක්‍රියාමාර්ගයක අවශ්‍යතාව පවතින බවත් ඇමැතිවරයා ප්‍රකාශ කළේය.
ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවර පැවැත්වෙන ලෝක සෞඛ්‍ය සංවිධානයේ 78 වැනි වාර්ෂික මහා සමුළුවට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගි වූ ඇමැතිවරයා මේ බව එහිදී පෙරේදා (20) පැවසීය. “එකම සෞඛ්‍යමත් ලොවක්” තේමාව කර ගනිමින් මේ සමුළුව පසුගියදා (19) සිට 27 වැනිදා දක්වා පැවැත්වේ.
සෞඛ්‍ය සේවයට තිරසර මූල්‍ය පහසුකම් සැපයීමේ අවශ්‍යතාව මෙහිදී ඇමැතිවරයා අවධාරණය කළේය. මෙවර සමුළුවට ලෝක සෞඛ්‍ය සංවිධානයට ඇතුළත් සියලු රටවල සෞඛ්‍ය අමාත්‍යවරුන් සහභාගි වන අතර ඒ සියලු රටවල සෞඛ්‍ය ක්ෂේත්‍ර නියෝජනය කරමින් රාජ්‍ය නිලධාරීන් පන්දහසකට අධික සංඛ්‍යාවක් මේ සමුළුවට එක්ව සිටිති. ශ්‍රී ලංකාවටත් සෙසු ලෝක ප්‍රජාවටත් වැදගත් වන “එකම සෞඛ්‍යමත් ලොවක්” යන කාලෝචිත තේමාව පෙරදැරිව ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ වාර්තාව පිළිබඳව ශ්‍රී ලංකා රජයේ ප්‍රසාදය පළ කරන බව ද අමාත්‍යවරයා මෙහිදී කියා සිටියේය.
ශ්‍රී ලංකාවේ ජනගහනය මෙන් තෙගුණයක් රජයේ රෝහල්වලින් ප්‍රතිකාර ගැනීමට බාහිර රෝගී ප්‍රතිකාර අංශවලට 2023 වසරේදී පැමිණි බවත්, කිසිවකු මඟ නොහැරීමට “පුළුල් ප්‍රාථමික සෞඛ්‍ය සේවා ප්‍රතිසංස්කරණ” ආරම්භ කර ඇති අතර මේ ප්‍රතිසංස්කරණයන්හි ප්‍රධාන අරමුණ වන්නේ ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා සැපයීමේ දී අභියෝගයක් වන ප්‍රාථමික සෞඛ්‍ය සේවා සැපයීම මඟ හැරීම වැළැක්වීම බවත් ඇමැතිවරයා පැවසීය.
සෞඛ්‍ය ශ්‍රම බළකායේ සංක්‍රමණ මෙරටට ගැටලුවක්ව ඇති බවත්, ඒ හේතුවෙන් ගෝලීය වශයෙන් සෞඛ්‍ය ක්ෂේත්‍රයට බලපාන ගැටලු විසඳීමේ අවශ්‍යතාව ද අවධාරණය කෙරිණි. 2022 සිට 2025 වසර දක්වා කාලයේ විශේෂඥ වෛද්‍යවරුන් 726ක්, හෙද හෙදියන් 2800ක් හා වෛද්‍ය නිලධාරීන් 1116ක් වෙනත් රටවලට සංක්‍රමණය වී ඇති බවත් මූල්‍ය අතින් එය මෙරටට දැවැන්ත පාඩුවක් බවද සෞඛ්‍ය හා ජනමාධ්‍ය ඇමැතිවරයා මෙහිදී පැවසීය.
සෞඛ්‍ය වෘත්තිකයන් බිහි කිරීම සඳහා කෙරෙන ආයෝජනවල මූල්‍ය අලාභයන් විඳ ගැනීමට සිදු වී ඇති බවත්, සංක්‍රමණික ගමනාන්ත වූ රටවල් ද මේ සම්බන්ධව වඩාත් වගකිවයුතු බවට අප විශ්වාස කරන බවත් ඇමැතිවරයා පැවසීය. සෞඛ්‍ය ක්ෂේත්‍රයේ නිලධාරීන් සඳහා වන ලෝක සෞඛ්‍ය සංවිධානයේ ජාත්‍යන්තර බඳවා ගැනීම් සංග්‍රහය ඵලදායී හා ශක්තිමත් අන්දමින් ක්‍රියාත්මක කරන ලෙස ඉල්ලා සිටින බව ද ඇමැතිවරයා සමුළුව අමතමින් පැවසීය.
වර්තමානයේ ශ්‍රී ලංකාව මුහුණ දෙන ණය, ලෙඩරෝග හා අවප්‍රමාණය යන අභියෝගයන්ට එරෙහිව ඔරොත්තු දීමේ හැකියාව ගොඩනැඟීම සඳහාත්, සෞඛ්‍ය වෙනුවෙන් තිරසර මූල්‍යකරණයක් අත්කර ගැනීම උදෙසාත් සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ආයෝජන ඉහළ නැංවීම අවශ්‍ය වන බවත්, රජය විවිධ අංශ සහ විෂයන් සමඟ සහයෝගයෙන් යුතුව කටයුතු කරන අතරම ශ්‍රී ලංකා රජය ජාතියේ සෞඛ්‍යය ආරක්ෂා කිරීමට ඇප කැප වී සිටින බවත් ඇමැතිවරයා පැවසීය.
සමුළුවට එක්වන සියලු පිරිස්වල සහභාගිත්වයෙන් මෙහිදී පුළුල් කථිකාවක් පැවැත්වීමට සැලසුම් කර ඇති අතර එහිදී ඉදිරිපත් වන යෝජනා, අදහස් හා පර්යේෂණ දත්ත ආශ්‍රයෙන් ඉදිරි වසර තුළ ලොව පුරා සෞඛ්‍ය තත්ත්වයන් නඟා සිටුවීමට අවශ්‍ය ප්‍රතිපාදන සහ තීරණ ගැනීමටත්, ඊට අදාළ ඉදිරි සැලසුම් සකස් කිරීමටත් පියවර ගෙන ඇත.
මේ සමුළුවට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යවරයාට අමතරව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ, එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ජිනීවා නිත්‍ය නියෝජිත හිමාලි අරුණතිලක, එක්සත් ජාතින්ගේ සංවිධානයේ ජිනීවාහි පළමු ලේකම් නිශාන්තිනි වික්ටර් මහත්ම මහත්මීන් ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් ද සහභාගි වී සිටිති.