ජූනි 05 වැනිදාට යෙදී ඇති ජගත් පරිසර දිනය නිමිත්තෙන් නම්කර ඇති ජාතික පරිසර සතියට සාපේක්ෂව අද (02 ) දිනය ජෛව විවිධත්ව සංරක්ෂණ දිනය ලෙස නම් කර ඇත.

ජෛව විවිධත්ව සංරක්ෂණ දිනයට සමගාමීව අද (02) දිනයේදී ගාල්ල, කෑගල්ල, මොනරාගල යන දිස්ත්‍රික්කවලට අයත් වනාන්තර පහක් රක්ෂිත ලෙස ප්‍රකාශයට පත් කිරීමේ ගැසට් නිවේදනය නිකුත් කිරීමට නියමිතය.

එම ගැසට් නිවේදනයට අනුව ගාල්ල දිස්ත්‍රික්කයේ කොට්ටව, මොනරාගල දිස්ත්‍රික්කයේ නිල්ගල වනාන්තරය‍, කෑගල්ල දිස්ත්‍රික්කයේ දෙහිඕවිට අඩවිය ආශ්‍රිතව පිහිටි උඩලියද්ද වනාන්තරය‍, කෑගල්ල දිස්ත්‍රික්කයටම අයත් කෑගල්ල අඩවියේ හෙක්ටයාර් 46ක භූමියක් ආවරණය වන පරිදි පිහිටා ඇති තුල්හිරිකන්ද වනාන්තරය, කෑගල්ල දිස්ත්‍රික්කයේ දෙහිඕවිට ප්‍රදේශයේ හෙක්ටයාර් 37ක භූමියක් තුළ ව්‍යාප්ත වේරැහැන්කන්ද වනාන්තරය මෙලෙස රක්ෂිත ලෙස නම් කෙරේ.

ජගත් පරිසර දින ජාතික වැඩසටහනට සමගාමීව සිදුකරන මෙම වනාන්තර රක්ෂිත බවට පත්කිරීම වෙනුවෙන් අද (02) දින විශේෂ උත්සවයක්ද සංවිධාන කර ඇති අතර එම වැඩසටහන පරිසර අමාත්‍ය වෛද්‍ය ධම්මික පටබැඳි මහතාගේ ප්‍රධානත්වයෙන් බිබිල රතුගල ආදිවාසි ජනඋරුම මධ්‍යස්ථානයේදී පෙරවරු 8.30ට පැවැත්වේ.

නිල්ගල වනාන්තරයේ ප්‍රධානතම වන සංරක්‌ෂණ කොටස බිබිල අඩවිය වේ. මැදගම, බිබිල, නිල්ගල හා ඉඟිනියාගල වශයෙන් වන සංරක්ෂණ බීට්‌ටු හතරක් මෙම වනයට අයත් වේ. ඒ අනුව නිල්ගල ප්‍රදේශයට හෙක්ටයාර 40,683ක රක්ෂිතයක් හිමිවේ.

එමෙන්ම ජෛව විවිධත්ව සංරක්ෂණය සම්බන්ධයෙන් පාසල් දරු දැරියන් දැනුම්වත් කිරීම වෙනුවෙන් අද දිනයේ දී වැඩසටහන් මාලාවක්ද සිදුකිරීමට පරිසර අමාත්‍යාංශයට අයත් අදාළ ආයතන විසින් සැලසුම් කර ඇත. එමෙන්ම මිරිජ්ජවිල වියළි කලාපීය උද්භිද උද්‍යානය, මාර්ග සංවර්ධන අධිකාරිය සමඟ එක්ව රුක් රෝපණ වැඩසටහනක්ද සංවිධාන කර ඇත. උද්‍යානයේ දක්ෂිණ පිවිසුමේ සිට බංගලාව දක්වා කුඹුක් පැළ, කහ මාර පැළ සිටුවීමට ද තීරණය කර ඇත.

එමෙන්ම වඳවී යාමේ තර්ජනයට හසුවී ඇති බන්දුලපෙතියා මත්ස්‍යයා වෙසෙන භූමිය සංරක්ෂණ කලාපයක් බවට පත් කිරීම අද (02) දිනයේ දී දහවල් 12.00 ට පරිසර නියෝජ්‍ය අමාත්‍ය ඇන්ටන් ජයකොඩි මහතාගේ ප්‍රධානත්වයෙන් කෑගල්ල, ගලපිටමඩ ප්‍රදේශයේ දී පැවැත්වේ. මෙම වැඩසටහන වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ මූලිකත්වයෙන් සිදු කරනු ලබන අතර බන්දුලපෙතියා සංරක්ෂණය පිළිබඳ ගලපිටමඩ ප්‍රදේශයේ ජනතාව සඳහා දැනුම්වත් කිරීමේ වැඩසටහන්, බන්දුලපෙතියා වෙසෙන ජලාශ ආශ්‍රිත රුක්රෝපණ වැඩසටහනක් ක්‍රියාත්මක කිරීම මෙන්ම මෙම වැඩසටහනට සමගාමීව සංවිධාන කර තිබූ චිත්‍ර තරගාවලියේ ත්‍යාග ප්‍රදානයන් ද සිදු කිරීමට නියමිතය.

වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ මූලිකත්වයෙන් සහ පරිසර අමාත්‍යාංශයට අනුබද්ධ සියලු ආයතනයන්ගේ සහයෝගයෙන් ජෛව විවිධත්වය ආරක්ෂා කිරීම සම්බන්ධයෙන් දැනුම්වත් කිරීම සඳහා කෑගල්ල නගර ශාලාවේදී ප්‍රදර්ශන කුටි සකසා ඇති අතර විශේෂයෙන් වඳවී යන සතුන් පිළිබඳ ප්‍රජාව දැනුම්වත් කිරීම සහ පරිසර සංරක්ෂණය පිළිබඳ දැනුම්වත් කිරීම සඳහා මෙම කුටි සංවිධාන වනු ඇත. පරිසර නියෝජ්‍ය අමාත්‍ය ඇන්ටන් ජයකොඩි මහතාගේ ප්‍රධානත්වයෙන් අද (02) පස්වරු 2.00ට එම වැඩසටහන පැවැත්වීමට නියමිතය.