මේ දිනවල රට තුළ පැතිර යන කොවිඩ් වයිරසයෙන් ආරක්ෂා වීම සඳහා මුව ආවරණ පැලඳීම, පොදු ප්‍රවාහන සේවාවල ගමන් කර පැමිණීමෙන් පසුව සබන් යොදා දෑත් සේදීම යනාදී ආරක්ෂිත ක්‍රමවේද අනුගමනය කළ යුතු බව ද සෞඛ්‍ය අමාත්‍යාංශය මහජනතාවට දැනුම් දෙයි.
ඉන්දියාවේ සහ මැලේසියාවේ මේ දිනවල පැතිර යන කොවිඩ් අනු ප්‍රභේදයන් මෙරට ද පැතිර යන බවට වෛද්‍ය පර්යේෂණ ආයතනය සිදු කළ පරීක්ෂණවලින් තහවුරු වී ඇත. වෛද්‍ය පර්යේෂණ ආයතනයේ වයිරස් රෝග විශේෂඥ වෛද්‍ය වෛද්‍ය ජානකී අබේනායක මහත්මිය සිදු කළ පර්යේෂණ අනුව ශ්‍රී ලංකාවේ පැතිර යනුයේ කොවිඩ් ඔමික්‍රෝන් ප්‍රභේදයේ LF.I සහ NB 1.8.1 නමැති අනු ප්‍රභේද බව තහවුරු කර ගෙන තිබේ.
ඉන්දියාව, මැලේසියාව ඇතුළු රටවල් 22 ක NB.1.8.1 වයිරසය පැතිර යන බවට අනාවරණය වී තිබේ.
NB.1.8.1 හා සම්බන්ධ රෝග ලක්ෂණ පෙර COVID-19 රෝග ලක්ෂණවලට සමාන වන අතර උගුරේ අමාරුව, තෙහෙට්ටුව, උණ, කැස්ස, මාංසපේශි වේදනාව යනා දී රෝග ලක්ෂණ මෙහි දී හටගනියි. මෙම වයිරසය හඳුනා ගැනීම සඳහා සම්මත PCR සහ වේගවත් ප්‍රතිදේහජනක පරීක්ෂණ සිදු කළ යුතු බව වෛද්‍ය මතය වේ.
කොවිඩ් රෝග ලක්ෂණ පවතින්නේ නම් ජනාකීර්ණ හෝ සංවෘත ස්ථානවල ගැවසීමෙන් වැළකිය යුතුය. දියවැඩියාව, හෘද රෝග, වකුගඩු රෝග වැනි නිදන්ගත රෝග පවතින්නේ නම් හෝ ගර්භණී නම් හෝ වයස අවුරුදු දෙකට අඩු නම් හෝ විශේෂයෙන් මෙම වයිරසයෙන් ආරක්ෂා විය යුතු බව වෛද්‍යවරු දැනුම් දෙති. මෙම වයිරසය ඔවුන්ට ආසාදනය වීමෙන් ජීවිත අවදානම පවා ඇති වේ.