වසර 8කට පසු ශ්‍රීලන්කන් ගුවන් සමාගමට එක්වූ නවතම ගුවන්යානය ඊයේ (04) පෙරවරු 9.00ට පමණ මෙරටට ළඟා විය.

එයාර්බස් 330 – 200 මෙම ගුවන්යානය මෙරටට පැමිණියේ ප්‍රංශයේ පැරිස් නුවර සිට වන අතර ඒ අනුව ශ්‍රීලන්කන් ගුවන්යානා බලඇණිය 10 දක්වා ඉහළ යනු ලැබීය.

මෙම ගුවන්යානය ප්‍රංශයේ එයාර්බස් ගුවන්යානා නිෂ්පාදනය කරන ෂටරූ (Chateauroux) ගුවන්තොටුපොළේ සිට පැය 11ක ගුවන් ගමනක යෙදෙමින් ප්‍රධාන ගුවන් නියමු රජීන් රණතුංග මහතා විසින් පදවාගෙන පැමිණි අතර ගුවන්යානා කාර්ය මණ්ඩලය ලෙස තවත් ඉංජිනේරුවරුන් ඇතුළු 10 දෙනකු ද සහාය දක්වා තිබිණි.

මෙම ගුවන්යානය මෙරට ජනතාවට පළමු වරට දැක ගැනීම සඳහා කටුනායක සිට කොළඹ අහසේත් කොළඹ වරාය නගරය දකුණ දෙස සිට පානදුර දක්වා අහසේත් අඩි 1,500ක් තරම් පහළින් පියාසර කෙරුණු අතර මෙම දුර්ලභ අවස්ථාව සිය නෙතින් දැක ගැනීමට මෙන්ම සිය කැමරා කාචයේ ද සටහන් කර ගැනීමේ අරමුණින් ගාලුමුවදොර පිටියට සහ උස් තැන් බොහෝමයක විශාල ජනතාවක් රැඳී සිටිනු දක්නට ලැබිණි.

අන්තර්ජාතික වශයෙන් ශ්‍රී ලංකාව ඉහළ තලයකට ඔසවා තැබීම සඳහා මෙලෙස ගුවන්යානය පියාසර කරවීමට පියවර ගත් බව ද ශ්‍රීලන්කන් ගුවන් සමාගමේ ආයතනික් සන්නිවේදන කළමනාකරු දීපාල් පෙරේරා මහතා පැවසීය.

ශ්‍රීලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 1202 දරන මෙම ගුවන්යානය උදෑසන 10.00ට පමණ කටුනායක ගුවන්තොටුපොළ වෙත ළඟා වීමෙන් පසුව, ජල ආචාර (Water Salute) පවත්වා, පිළිගෙන, ශ්‍රීලන්කන් ගුවන් සේවයේ බෝයිං – 747 හැංගරය වෙත, රැස්ව සිටි විශාල පිරිසකගේ අත්පොළසන් නාදය මැද සම්ප්‍රාප්ත විය.