ආසියාතික රටවලින් HIV රෝගය පැතිරීම ඉතා අවම මට්ටමක පවත්වා ගත් රටක් ලෙස ශ්‍රී ලංකාව හැඳින්විය හැකි බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය නියෝජ්‍ය ඇමැති, වෛද්‍ය හංසක වි‍ජේමුණි මහතා පැවැසීය.

නියෝජ්‍ය ඇමැතිවරයා මේ බව පැවැසුවේ මෙරට සංචාරයක නිරතව සිටින ලිංගික හා ප්‍රජනන අයිතිවාසිකම් සඳහා වූ යුරෝපීය පාර්ලිමේන්තු සංසදයේ නියෝජිතයන් වෙනුවෙන් ශ්‍රී ලංකා පවුල් සංවිධාන සංගමය සංවිධාන කළ කොළඹ කිංග්ස්බරි හෝටලයේ පැවැති විශේෂ උත්සවයකට සහභාගි වෙමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ නියෝජ්‍ය ඇමැතිවරයා මෙලෙස ද සඳහන් කළේය.

“විශේෂයෙන්ම රටේ ජනගහනයට සාපේක්ෂව HIV සමඟ ජීවත්වන්නන්ගේ ප්‍රමාණය සැලකීමේදී එය ඉතා අඩු මට්ටමක පැවතීම ප්‍රශංසනීය කරුණක්. ඒ සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශය ප්‍රමුඛත්වය ගනිමින් ලිංගාශ්‍රිත රෝග සහ ඒඩ්ස් මර්දන වෙනුවෙන් ක්‍රියාත්මක කරන විශේෂ වැඩසටහන්වලට අමතරව ශ්‍රී ලංකා පවුල් සංවිධාන සංගමයෙන් සිදු කරන මෙවැනි අර්ථවත් ක්‍රියාකාරකම් බෙහෙවින් හේතු වෙනවා.

මෙරට මාතෘ සෞඛ්‍ය සහ ප්‍රජනන සෞඛ්‍ය සේවා වැඩිදියුණු කිරීමට වත්මන් රජය ගෙන යන විශේෂ වැඩපිළිවෙළ වඩාත් ශක්තිමත්ව ඉදිරියට ගෙන යෑමට සෞඛ්‍ය අමාත්‍යාංශය සක්‍රීයව දායකත්වය දක්වනවා. මෙරට ජීවත්වන සමස්ත ජනතාවට ‘පොහොසත් රටක් – ලස්සන ජීවිතයක්’ උදාකර දීමට වත්මන් රජය නිරතුරුව කැපවී ක්‍රියා කරනවා.”

ශ්‍රී ලංකා පවුල් සංවිධාන සංගමයේ ආරාධනාවක් අනුව පැමිණි යුරෝපීය පාර්ලිමේන්තු සංසදයේ නියෝජිතයන් පිරිස දින පහක් මෙරට අධ්‍යයන සංචාරයක නිරත වූ අතර, එම කණ්ඩායම මඩකලපුව, නුවරඑළිය සහ ගාල්ල දිස්ත්‍රික්කවල නිරීක්ෂණ චාරිකාවක ද නිරත වූහ.

එහිදී එම නියොජිතයන් ලිංගික හා ප්‍රජනක සෞඛ්‍ය පිළිබඳ පවතින ගැටලු සහ ප්‍රවණතා පිළිබඳව එම ප්‍රදේශවල ජනතාව සමඟත්, සෞඛ්‍ය අංශයේ නිලධාරීන් සමඟත් අදහස් හුවමාරු කරගැනීමට ද පියවර ගනු ලැබීය.

ඩෙන්මාර්කය, එක්සත් රාජධානිය, ෆින්ලන්තය, ස්වීඩනය, ඔස්ට්‍රියාව, බෙල්ජියම ඇතුළු තවත් රටවල් කිහිපයක් නියෝජනය කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ඇතුළු නියෝජිතයෝ මෙම කණ්ඩායමට ඇතුළත් වූහ.

මේ අවස්ථාවට ශ්‍රී ලංකා පවුල් සංවිධාන සංගමයේ සභාපතිනී අරුණි මාර්සලින්, විධායක අධ්‍යක්ෂ ආචාර්ය රුචිත පෙරේරා මහත්ම මහත්මීන් ඇතුළු එම සංගමයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීහු ද, සෞඛ්‍ය ක්ෂේත්‍රයේ නිලධාරීහු ද සහභාගි වූහ.