පරිසර පද්ධතිය යළි ප්‍රතිෂ්ඨාපනය කර අනාගත පරපුරට ලබාදීම අපගේ වගකීම යැයි ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඊයේ (05) කෑගල්ල නිදහස් මාවතේදී පැවැති ජගත් පරිසර දින ප්‍රධාන සැමරුම් උත්සවය අමතමින් ප්‍රකාශ කළේය.
මෙවර ජගත් පරිසර දින තේමාව වූයේ ‘ප්ලාස්ටික් භාවිතය දුරලමු’ යන්නයි. එම මූලික තේමාව පෙරදැරිව දේශීයව ‘දලුලන්න – ඉඩදෙන්න’ මැයෙන් වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබිණි.
පාරිසරික පුනර්ජීවනය ඇති කිරීමට අවශ්‍ය අවකාශය ලබා ගැනීම අරමුණු කරගෙන මේ වැඩසටහන් ක්‍රියාත්මක කෙරේ. ජගත් පරිසර දිනය චාරිත්‍රයක් ලෙස සැමරීමට නොව, පරිසරය ආරක්ෂා කිරීමට අවශ්‍ය කරන ක්‍රියාමාර්ග ආරම්භය වෙනුවෙන් යොදා ගැනීමට රජය විසින් අපේක්ෂා කෙරේ.
බන්දුලපෙතියාගේ වාසස්ථාන ප්‍රදේශය අභයභූමියක් බවට ප්‍රකාශයට පත් කිරීම, රක්ෂිත ප්‍රකාශයට පත් කිරීම පිළිබඳ නව ගැසට් පත්‍ර හතරක් සහ නිල්ගල රක්ෂිතය පිළිබඳ ගැසට් පත්‍රයක් පිළිගැන්වීම, පාසල් තුනක් පරිසර හිතකාමී ආදර්ශ පාසල් බවට පත් කිරීම, හරිත දුම්රිය ස්ථාන ඇගයීම ආදිය ද මෙහිදී සිදු විය.
පරිසර අමාත්‍යාංශය සහ එයට අනුබද්ධ ආයතන, සියලුම රාජ්‍ය ආයතන ‘ක්ලීන් ශ්‍රී ලංකා’ ලේකම් කාර්යාලය සහ පාරිසරික සංවිධාන සමඟ එක්ව මෙවර පරිසර දිනය සමරයි.
එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ජනාධිපතිවරයා මෙසේ ද කීවේය.
“කොන්ක්‍රීට් ප්ලාස්ටික් මත විනාශයට පත් වූ පරිසරය යළි ප්‍රතිෂ්ඨාපනය කිරීමට සෑම දෙනාටම පුරවැසි වගකීමක් තිබෙනවා. පරිසරය පිළිබඳ ක්ෂේත්‍රය ජාතික ඒකාග්‍රතාව ඇති කිරීමට ද යොදාගත හැකියි.
පොදු ජාතික විඥානයකින් යුතුව මිහිතලය සමඟ සාමය ගොඩනැඟීමේ වගකීමක් අපේ පරම්පරාවට තිබෙනවා. එය මඟහැර නොගත යුතුයි. කිසිදු භේදයකින් තොරව සියලු දෙනා ඊට එක් විය යුතුයි. අද ඉතාමත් වැදගත් දිනයක්. මම රැස්වීම් විශාල ප්‍රමාණයක් ආමන්ත්‍රණය කර තිබෙනවා. විවිධ අදහස් විවිධ අවස්ථාවල ප්‍රකාශයට පත් කර තිබෙනවා. ඒත් අද මට පැවරී තිබෙන්නේ හුදු කතාවක් නොවෙයි. මට පැවරී තිබෙන්නේ අපේ මාතෘ භූමියත්, අපේ පරිසර පද්ධතියත් පිළිබඳ බැඳීමක් සහ වගකීමක්. මේ උත්සවයත් හුදු උත්සවයක් නොවෙයි. පරිසර පද්ධතිය පිළිබඳ අපේ බැඳීම, හැඟීම සහ වගකීම ප්‍රකාශයට පත් කිරීමක් කියා මා විශ්වාස කරනවා. විදේශිකයන් අපට හමු වුණොත් ඔවුන් කියන්නේ ඔබේ රට ලස්සන රටක් කියලා. පරිසර පද්ධතිය පිළිබඳ ඉතා අගනා ඉතිහාසයක් අපට හිමි වී තිබෙනවා. මේ පරිසර පද්ධතිය වර්තමානයේ අපේ රට ලස්සන කර තිබෙනවා.
එහෙත් අපට පෙනෙන මේ අලංකාරත්වය පිටුපස ඉතාමත් ගැඹුරු ඛේදවාචකයක් තිබෙනවා. අපට මේ පෙනෙන සුන්දරත්වය සැබවින්ම පරිසර පද්ධතියේ තිබෙනවාද? ඊට වඩා ගැඹුරු ඛේදවාචකයන්ට අපි මුහුණදී තිබෙනවා. අපි කුඩා කාලයේදී අපේ රාජ්‍ය හඳුනා ගත්තේ නාය යෑම්වලින් තොර රාජ්‍යයක් ලෙසයි. ඒත් අපේ ජීවිත කාලයේම අපි නාය යෑමේ ඛේදවාචකය අත්විඳිනවා. අපි කුඩා කාලයේදී අපේ රට හඳුනා ගත්තේ ගංවතුර සහ විශාල නියඟවලින් තොර රාජ්‍යයක් ලෙසයි. එම හිමිකම සමඟ ඉපදුණු අපි, අපේ ජීවිත කාලයේම මහා ගංවතුරවල සහ මහා නියඟවල විනාශය අත්විඳිනවා. ඒ වගේම අලි මිනිස් ගැටුම විශාල ඛේදවාචකයක් වී තිබෙනවා.
ඉතාමත් හොඳ ජෛව පද්ධතියක් තිබූ අපේ රටේ පරිසර පද්ධතිය සහ එහි වෙසෙන ජීවීන් අතර විශාල ගැටුමක් නිර්මාණය කර තිබෙනවා. ඒ නිසා වර්තමානයේ ජීවත්වන අපට අත්හැරිය නොහැකි වගකීමක් සහ යුතුකමක් තිබෙනවා. අපි මේ රාජ්‍ය තුළ පරිසර පද්ධතිය යළි ප්‍රතිෂ්ඨාපනය කළ යුතුයි. මේ ඛේදවාචකය මේ ආකාරයටම ඉදිරියට ගියොත් අනාගත පරපුරට අපි හිමි කර දෙන්නේ මහත් ඛේදවාචකයක්. ඒ නිසා වර්තමානයේ ජීවත් වන පුරවැසියන් ලෙස අප හමුවේ තිබෙන අත්හළ නොහැකි වගකීම වන්නේ මේ පරිසර පද්ධතිය යළි ප්‍රතිෂ්ඨාපනය කර අනාගත පරපුරට ආරක්ෂා කර දීමයි. මේ පරිසරය පිටුපස ශක්තිමත් අණපනත් විශාල ප්‍රමාණයක් තිබෙනවා. අපේ රටේ බලවත්ම අණපනත් තිබෙන්නේ පරිසර ක්ෂේත්‍රයේ. එම අණ පනත් ක්‍රියාත්මක කිරීම සහ එමඟින් පරිසරයට ආරක්ෂාව ලබා දීමට ඉතා විධිමත් රාජ්‍ය යාන්ත්‍රණයක් තිබෙනවා.
මේ විනාශයන් පසුපස දේශපාලන අධිකාරිය තිබෙනවා. අපේ රටේ ප්‍රාදේශීය වැලි තොටුපොළවලින් විශාල ප්‍රමාණයක් අයත් වන්නේ දේශපාලනඥයන්ට. එහෙම නැත්නම් දේශපාලනඥයාගේ සමීපතමයකුට. මේ තත්ත්වය මට වඩා හොඳින් ඔබ දන්නවා. අපේ වන විනාශය පිටුපසත් දේශපාලනඥයන් සිටිනවා. මේ වනය විනාශ කිරීමට දේශපාලන අධිකාරියේ ආරක්ෂාව සහ රැකවරණය තිබුණා.
ඔබ ජීවය මරා දමන පංගුකරුවෙක් වෙන්න එපා. ඔබ ජීවය දෙන පංගුකරුවෙක් වන්න. ඊට අවශ්‍ය දේශපාලන රැකවරණය අපි දෙනවා. දේශපාලන අධිකාරිය යහපත්කරණයට ලක් වී තිබුණාට පැරණි නිලධාරී යන්ත්‍රණයේ යම් කොටස් පැරැණි පුරුද්දෙන් ගැලවෙන්න අසමත් වී තිබෙනවා. පාස්පෝට් දෙපාර්තමේන්තුවෙන් හොර පාස්පෝට් හදපු නිලධාරීන් හමු වෙනවා. රේගුවෙන් භාණ්ඩ එළියට දාපු නිලධාරීන් හමු වෙනවා. පතල් කාර්යාංශයෙන් විවිධ ආක්‍රමිකතා කළ නිලධාරීන් හමු වෙනවා. ඒ නිසා අපි කියන්නේ පරණ පුරුදු අත්හැර අලුත් වෙන්න කාලේ ඇවිත් තිබෙනවා. මා නැවත නැවත මතක් කරන්නෙ වෙනස් වෙන්න නැත්තම් අපි වෙනස් කරනවා.
මම අනුරාධපුරේ සිටින කාලේ අනුරාධපුර කියන්නේ බඹයක් කැපුවත් වතුර තිබූ නගරයක්. ඒත් දැන් බඹ දහයක් කැපුවත් අනුරාධපුරේ වතුර හොයාගන්න නෑ. අප හිතුවේ නෑ අපේ ජීවිත කාලයේදී අනුරාධපුරේ වතුර විකුණන කඩ පැමිණේවි කියලා. ඉස්සර කඩුගන්නාව නඟිද්දී අපට ඇහෙන්නේ රැහැයියන්ගේ සද්දෙයි, වතුර සද්දෙයි. අපේ කන් අගුල් වැටුණා. දැන් එහෙම වෙන්නෙ නෑ පරිසරය වියළිලා. අපේ ජීවිත කාලයේදීම මේ ඛේදවාචකය අත්දකින පරම්පරාවක් බවට පත් වෙලා.
මධ්‍යම කඳුකරයේ තිබෙන ජලාශ විශාල ප්‍රමාණයක් රොන්මඩවලින් පිරී තිබෙනවා. පාරිසරික ව්‍යාපෘති ඉදි කිරීමේදී අපි පරිසරය පිළිබඳව කල්පනා කළා ද කියා නැවත සිතා බලන්න ඕනේ. අපේ ඉතිහාසයේ මුතුන්මිත්තන් කවදාවත් මධ්‍ය කඳුකරයේ ජලාශ ගොඩනැඟුවේ නෑ. හැමදෙනාම සිදු කළේ මධ්‍ය කඳුකරය ආරක්ෂා කර එයින් ලැබෙන වතුර තැන්නෙදී හරස් කර ජලාශ හැදීමයි. මිණිපෙ ඇළ හැදුණේ එහෙමයි. එකල මධ්‍යම කඳුකරයේ තමයි අලි ගහනය වැඩියෙන් තිබුණේ.
අපේ පරිසර පද්ධතියේ කොක්කු රෑන්, සමනල රෑන් අද දකින්න නෑ. මිනිසා සිදු කළ ව්‍යසනයේ ප්‍රතිඵල අපට පෙනෙන්න තිබෙනවා. සමනලුන් පෙනෙන්න නැති දේශයක අද කුඩා ළමයින් හැදෙන්නේ. එම නිසා සමනලුන් නැවත පැමිණෙන පරිසර පද්ධතියක් නිර්මාණය කිරීම අපගේ වගකීමයි. ඕනෑම ක්ෂේත්‍රයක් පිළිබඳව වෙනස් සංකල්ප තිබෙන්න පුළුවන්. ආර්ථික ක්ෂේත්‍රයට, අධ්‍යාපන ක්ෂේත්‍රයට වෙන වෙන සංකල්ප තිබිය හැකියි. ඒත් පරිසරය සම්බන්ධව තිබෙන්න පුළුවන් එකම එක සංකල්පයක් පමණයි. පරිසරය සුරක්ෂිත කර මීළඟ පරම්පරාවට භාර දීම වැඩිහිටි අපගේ වගකීමයි. මෙය ක්‍රියාත්මක කිරීමට පුරවැසියා අප සමඟ සිටිනවා. ඒ නිසා අපේ පරිසර පද්ධතිය නැවත ප්‍රතිෂ්ඨාපනය කිරීමට අවස්ථාවක් තිබෙනවා.
පරිසරය පිළිබඳ ප්‍රශ්නයේදී සිංහල, දෙමළ, මුස්ලිම් සෑම කෙනාටම එක තැනකට පැමිණිය හැකියි. ජාතික ප්‍රශ්නය කවරක් වුණත් පරිසර ප්‍රශ්නයේදී එකට සිටිය හැකියි. පරිසරය පිළිබඳ ක්ෂේත්‍රයෙන් ජාතික ඒකාග්‍රතාව ඇති කළ හැකියි. පොදු ජාතික විඥාණයකින් යුතුව ජාතික පරිසරය ගොඩනැඟීමට අපට අවස්ථාව ලැබී තිබෙනවා. ඒ නිසා තමයි අප කියන්නේ ‘දලුලන්න ඉඩ දෙන්න’ කියලා.
අපි ලෝක ජාතීන්ට පවසන්නේ මෙයයි. අප ප්‍රමාණයෙන් කුඩා දූපතක් විය හැකියි. ඒත් අද අපට හෘද සාක්ෂියේ දැවැන්තයකු ලෙස නැඟී සිටිය හැකියි. එකට එක්ව අපට යළි ඉතාමත් හොඳ පරිසර පද්ධතියකට හිමිකම් කියන රාජ්‍යයක් නිර්මාණය කළ හැකියි. එදාට ලෝකය ශ්‍රී ලංකාව දෙස බලා මෙසේ පවසනු ඇති. “මෙන්න පස ආත්මයක් බවට පත් කර ගත් ජාතියක්. මෙන්න මිහිතලය සමඟ ප්‍රතිවිරෝධී නොවන මිහිතලය සමඟ සාමය ඇති කර ගත් ජාතියක්.”
අද අපි ඉන්නේ මිහිතලය සමඟ ගැටුමක. මිහිතලය සමඟ සාමය ඇති කර ගත යුතු ජාතියක් ගොඩනැඟීම අපගේ සිහිනය බවට පත් කර ගනිමු. ඒ වෙනුවෙන් අප සැම එක් වෙමු.”
පරිසර ඇමැති, වෛද්‍ය දම්මික පටබැඳි මහතා, සබරගමුව පළාත් ආණ්ඩුකාර චම්පා ජානකී රාජරත්න මහත්මිය සහ ආදිවාසී නායක ඌරුවරිගේ වන්නියලැත්තන් ඇතුළු පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියහ.