01. අමාත්‍ය මණ්ඩලයේ සාමූහික වගකීම ආරක්ෂා කිරීම - (විෂය අංක 06)

ශ්‍රී ලංකා ජනරජයේ ආණ්ඩුවේ පාලනය මෙහෙයවිම හා එම පාලනය පිළිබඳ විධානය භාරව ක්‍රියාකරනු ලබන අමාත්‍ය මණ්ඩලය පාර්ලිමේන්තුවට සාමුහිකව වගකිමට සහ පිළිතුරු දීමට බැඳි සිටින බව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 42(2) වන ව්‍යවස්ථාවේ දැක්වේ. එසේ වුවද ඔවුන් එම සම්ප්‍රදායට ගරු නොකිරීම නිසා මතුවූ විවිධ ගැටලූ හා ඒ හේතුවෙන් රටේ යහපත වෙනුවෙන් ගතයුතුව තිබූ කඩිනම් තීරණ ක්‍රියාත්මක කිරීමට නොහැකි වූ අවස්ථාවන් සැලකිල්ලට ගනිමින් ඉදිරියේදී එවැනි තත්ත්වයන් ඇතිවීම වැළැක්වීමේ අරුමුණ ඇති අතිගරු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා ඉදිරිපත් කළ පහත සඳහන් යෝජනා සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවිය.

01. සාමූහික වගකීම ආරක්ෂා කිරීමේ අමාත්‍ය මණ්ඩලයේ මහඟු සම්ප්‍රදාය ගරු කරමින් හා සදාචාරාත්මක දේශපාලන සංස්කෘතියක් අලූතින් ප්‍රතිශ්ඨාපනය කිරීම සඳහා අමාත්‍ය මණ්ඩලය සතු වගකීම ඉටුකරන බවට හා ඒ සඳහා වන කැපවීම ප්‍රදර්ශනය කරන බවට ප්‍රතිඥාවක් අමාත්‍ය මණ්ඩලයේ සෑම සාමාජිකයෙකු විසින්ම ලබා දීම.

02. යහපාලනයේ ප්‍රශස්ත පරිචයන්ට අනුකූලව අමාත්‍යවරුන් විසින් ස්වේච්ඡාවෙන් පිළිපැදිය යුතු ආචාරධර්ම පද්ධතියක් සකස් කිරීම සඳහා අමාත්‍යවරුන්ගෙන් සමන්විත අමාත්‍ය කමිටුවක් පත් කිරීම හා එක් මාසයක් ඇතුළත එසේ සකස් කරනු ලබන ආචාර ධර්ම පද්ධතිය අමාත්‍ය මණ්ඩලය විසින් සම්මත කර ගැනීම.

ඒ අනුව, සියලූම අමාත්‍යවරුන් විසින් අමාත්‍ය මණ්ඩලයේ සාමූහික වගකිම සුරකින බවට මෙම අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී ප්‍රතිඥාවක් ලබා දෙන ලදී.

02. කියෝතෝ සන්ධානය අනුව දේශගුණ විපර්යාසය අවම කිරීම සඳහා ශ්‍රි ලංකාවේ එකඟතාවය ප්‍රකාශ කිරීම - (විෂය අංක 10)

දේශගුණික විපර්යාස ආශ්‍රිත ගැටලූ සාකච්ඡා කිරීම පිණිස ජාත්‍යන්තර ප්‍රජාව විසින් සාමූහිකව සම්මත කරන කරගෙන ඇති ප්‍රධාන සම්මුතිය වන දේශගුණික විපර්යාසය පිළිබඳ එක්සත් ජාතීන්ගේ සම්මුතියෙහි පර්මාර්ථ ළඟා කර ගැනිම පිණිස නීත්‍යානුකූල වශයෙන් බැඳුණු පාර්ශවකරුවන් විසින් 1997 වසරේදී ජපානයේ කියෝතේ නගරයේදී කියෝතෝ සන්ධානය පිහිටවනු ලැබීය.
2008 - 2012 දක්වා වූ කාල සීමාව තුළ කි්‍රයාත්මක වූ මෙම සන්ධානයේ පළමු බැඳීම් කාලය තුළදී කාර්මික රටවල් විසින් නිකුත් කරනු ලැබූ හරිතාගාර වායු ප්‍රමාණය අපේක්ෂිත පරිදි අඩුකර ගත නොහැකි වූ බැවින් 2012 වසරේදී දෝහා කටාර් නගරයේ පැවති එකී සන්ධානයේ පාර්ශවකරුවන්ගේ අටවෙනි සම්මේලනයේදී ඒ පිළිබඳ දෙවන බැඳීම් කාල සීමාවක් පැනවීමේ යෝජනාවකට එළඹ තිබේ. මෙම කාල සීමාව 2013 වසරේ සිට 2020 කාල සීමාව තුළ කි්‍රයාත්මක වන අතර ඒ මඟින් කාර්මික රටවල් විසින් නිකුත් කරන හරිතාගාර වායු ප්‍රමාණය 1990 වසරේදී නිකුත් කළ ප්‍රමාණයට වඩා අවම වශයෙන් 18% කින් අවම කර ගැනීමට අපේක්ෂා කරයි.
ඔබැවින් කියෝතෝ සන්ධානයේ යෝජිත දෙවන බැඳීම් කාල සිමාව බලගැන්වීම සඳහා තවදුරටත් අවශ්‍ය සහය ලබා දෙමින් මිහිතලය රැකගැනීමට ශ්‍රි ලංකාව දක්වන සැලකිල්ල ප්‍රකාශ කිරීමට මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍ය වශයෙන් අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවිය.

03. අපස්මාර රෝහල සහ සෞඛ්‍ය මධ්‍යස්ථාන ව්‍යාපෘතිය - (විෂය අංක 13)

ශ්‍රී ලංකාවේ වෙසෙන අපස්මාර රෝගීන් සඳහා ප්‍රතිකාර පිණිස නවීන තාක්ෂණයෙන් හා සියලූ පහසුකම්වලින් සමන්විතව රෝහලක් ඉදිකිරීම සංවර්ධනය සඳහා වන සෞදි අරමුදලේ සහාය ඇතිව 2008 වසරේදී ආරම්භ කරන ලදී. එම ව්‍යාපෘතියෙන් 90.5% ක ප්‍රමාණයක් මේ වනවිට අවසන් කර ඇති අතර එහි ඉතිරි ඉදිකිරීම් සඳහා සංවර්ධනය සඳහා වන සෞදි අරමුදලෙන් ඇ.එ.ජ. ඩොලර් මිලියන 12ක අතිරේක අරමුදල් ලබා ගැනීමට මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවිය.

04. 2010 අංක 19 දරන මරණ ලියාපදිංචි කිරීමේ (තාවකාලික විධිවිධාන) පනත සංශෝධනය කිරීම - (විෂය අංක 15)

ත්‍රස්තවාදී ක්‍රියා, ජන කැළඹීම් හා ස්වභාවික ව්‍යසනයන් ආදී ස්වභාවික නොවන තත්ත්වයන් යටතේ මියගිය පුද්ගලයාගේ මෘත ශරීරය සොයා ගැනීමට නොහැකි අවස්ථාවන්හිදී එබඳු මරණ ලියාපදිංචි කිරීම සඳහා විධිවධාන එම පනතේ ඇතුළත් නොවන බැවින් ඊට විසඳුමක් ලෙස 2010 අංක 19 දරණ මරණ ලියාපදිංචි කිරීමේ (තාවකාලික විධිවිධාන ) පනත හඳුන්වා දෙන ලදී. එහෙත් කිසියම් හේතුවක් නිසා අතුරුදන් වූ පුද්ගලයෙක් මියගිය බවට ඥාතීන් විසින් පිළිනොගන්නා අවස්ථාවකදී ඉහත පනත යටතේ එවැනි අතුරුදන් වීම් මරණ ලෙස ලියාපදිංචි කිරීමට හැකියාවක් නොමැත. එවැනි අවස්ථාවදී අතුරුදන් වූ පුද්ගලයාගේ පවුලේ සාමාජිකයන්ට හිමිවිය යුතු හිමිකම් කිසිවක් ලබාගැනීමට නොහැකි වී ඇති අවස්ථාවන් නිරීක්ෂණය වී ඇත. ඒ අනුව, ජාත්‍යන්තර පිළිගත් ක්‍රමවේදයන්ට අනුකූලව, මෙවන් අවස්ථාවදී බොහෝ රටවල් විසින් නිකුත් කරනු ලබන අතුරුදන් වූ පුද්ගලයා /මියගිය බවට සැකකරන පුද්ගලයා ,දක්නට නොමැති බවට සහතිකය, (Certificate of Absence) හා සමාන සහතිකයක් නිකුත් කිරීමට හැකියාව ලැඛෙන පරිදි, 2010 අංක දරන මරණ ලියාපදංචි කිරීමේ (තාවකාලික විධිවිධාන) පනත සංශෝධනය කිරීම පිණිස ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවිය.

06. වන රෝපා - ජාතික රුක් රෝපණ වැඩසටහන - ( විෂයය අංක 21)

වන ගහණය අඩු වීම ශ්‍රී ලංකාව මුහුණ දෙන සුවිශේෂ පාරිසරික ගැටලූවක් වන අතර පරිසර සංරක්ෂණය පිළිබඳව 2016 - 2018 කාලය තුළ තුන් අවුරුදු ජාතික වැඩසටහනක් ක්‍රියාත්මක කිරීම මගින් දැනට 29% ක් වන මෙරට වන ගහණය 29% ක් දක්වා තවත් හෙක්ටයාර 6,000 කින් ඉහළ නැංවීමට ඉලක්ක කර තිබේ. එසේම ශ්‍රි ලංකාවේ වන ගහණය ඉහළ නැංවීම අරමුණු කර ගනිමින් රාජ්‍ය හා රාජ්‍ය නොවන පාර්ශවකරුවන් විසින් දැනටමත් සිදු කරගෙන යනු ලබන රුක් රෝපණ වැඩසටහන්හි තිරසර බව සුරැකෙන පරිදි ඵලදායී අන්දමින් එකී කටයුතු සම්බන්ධීකරණය කිරීමද සිදු කරනු ඇත.
2015 ඔක්තෝබර් මාසය පුරා වන රෝපා නමින් ජාතික රුක් රෝපණ වැඩටසටහනක් ක්‍රියාත්මක කිරීමටත් එමගින් වන වැස්ම වැඩි කිරීම, වන වියනෙහි ගුණාත්මක තත්වයන් ඉහළ නැංවීම, ශ්‍රී ලංකාව සතු ජෛව විවිධත්වය හා ස්වභාවික පරිසර පද්ධතිය නිසි ලෙස සංරක්ෂණය කිරීම, මුඩු බිම් රුක් රෝපණයට යොදා ගැනීම සහ වාණිජ වන වගා ප්‍රවර්ධනය හා කළමනාකරණය පිණිස වන විවිධ ක්‍රියාකාරකම් පහත සඳහන් පරිදි ක්‍රියාත්මක කිරීමටත් සැලසුම් සකස් කොට තිබේ.


• පළමු සතිය
සුවිශේෂී පාරිසරික පද්ධති සුරකීම පිණිස ඒ ආශ්‍රිත වන වගා ප්‍රවර්ධනය, නඩත්තුව සහ ආරක්ෂාව සඳහා වන අරණ රැකවරණ තේමාව යටතේ ක්‍රියාත්මක වීම.

• දෙවන සතිය
ජන හිසට - තුරු සෙවණ තේමාව යටතේ ජනාවාස ආශ්‍රිතව තුරු වියන් සෑදීමට දායක වන අතු වදුලූ සහිත ගස් වැවීමෙන් හරිත බව ප්‍රවර්ධනය හා එහි ප්‍රතිලාභ ජනතාවට ලැඛෙන බව තහවුරු කිරීම.

• තුන්වන සතිය
තුරු කැපකරු අපි නිරතුරු යන තේමාව යටතේ රාජ්‍ය නොවන සංවිධාන හා පෞද්ගලික අංශය ජාතික රුක් රෝපණ ක්‍රියාදාමයේ සක්‍රිය පාර්ශවකරුවන් කර ගැනීම.

• හතර වන සතිය
වන අරණට ජන සරණ යන තේමාව යටතේ සමාජයේ විවිධ කණ්ඩායම් නිර්මාණශීලී හා තිරසාර වන රෝපණ කටයුතුවලට යොමු කිරීම.

2015 ඔක්තෝබර් මාසයේදී දිවයින පුරා දිස්ත්‍රික් හා ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ මට්ටමෙන් මෙම වැඩසටහන ක්‍රියවට නංවන අතර සෑම වසරකම ඔක්තෝබර් මාසයේ පරිසර සංරක්ෂණ ක්‍රියකාරකම් ප්‍රාදේශීය මට්ටමෙන් සංවිධානය කිරීමට යෝජනා කර ඇත. ඒ අනුව, රජයේ සියලූ ආයතනවල සහ පෞද්ගලික හා රාජ්‍ය නොවන ආයතනයන්ගේ සක්‍රිය දායකත්වයෙන් මෙම වැඩසටහන ක්‍රියාත්මක කිරීම පිණිස මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍ය වශයෙන් අතිගරු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

07. ප්‍රජාතාන්ත්‍රික ප්‍රතිංස්කරණ හා සමාජ ඒකාබද්ධතාව උදෙසා වූ සහයෝගිතාව ශක්තිමත් කිරීමේ වැඩසටහන සහ නැගී එන ප්‍රදේශයන්හි සමතුලිත ඉහළ ආර්ථීක වර්ධනයක් ඇති කිරීම හා රාජ්‍ය මූල්‍ය කළමනාකරණය (විෂයය අංක 24)

සමාජ ඒකාබද්ධතාව උදෙසා වූ සහයෝගිතාව ශක්තිමත් කිරීමේ වැඩසටහන සහ නැගී එන ප්‍රදේශයන්හි සමතුලිත ඉහළ ආර්ථීක වර්ධනයක් ඇති කිරීමේ වැඩසටහන ක්‍රියාත්මක කිරීම සඳහා ප්‍රදානයන් ලබාගැනීම වෙනුවෙන් වූ සහයෝගිතා ගිවිසුම් දෙකකට 2011 වසරේදී ශ්‍රි ලංකා ජනරජය විසින් අන්තර්ජාතික සංවර්ධනය සඳහා වන එක්සත් ජනපද නියෝජිත ආයතනය (United States Agency for International Development-USAID) සමග අත්සන් තබන ලදී. වර්තමාන සමාජ, ආර්ථීක හා දේශපාලන පසුබිම සලකා බලමින් සමාජ ඒකාබද්ධතාව උදෙසා වූ සහයෝගිතාව ශක්තිමත් කිරීමේ වැඩසටහනෙහි නාමය ප්‍රජාතාන්ත්‍රික ප්‍රතිසංස්කරණ හා සමාජ ඒකාබද්ධතාව උදෙසා වූ සහයෝගිතාව ශක්තිමත් කිරීමේ වැඩසටහන ලෙස සංශෝධනය කිරීමට සහ එම වැඩසටහන වෙනුවෙන් USAID විසින් දෙනු ලබන දායකත්වය තවත් ඇමෙරිකානු ඩොලර් මිලියන 3.49 කින් වැඩිකිරීම මගින් එම වැඩසටහන සඳහා, ඇමරිකානු ඩොලර් මිලියන 10.73 ක් හා උතුර, උතුරුමැද, නැගෙනහිර හා ඌව වැනි පළාත්වල ක්‍රියාත්මක නැගී එන ප්‍රදේශයන්හි සමතුලිත ඉහළ ආර්ථීක වර්ධනයක් ඇති කිරීමේ වැඩසටහනෙහි නාමය නැගී එන ප්‍රදේශයන්හි සමතුලිත ඉහළ ආර්ථීක වර්ධනයක් ඇති කිරීම හා රාජ්‍ය මූල්‍ය කළමනාකරණය ලෙස සංශෝධනය කිරීමට සහ එම වැඩසටහන වෙනුවෙන් USAID විසින් දෙනු ලබන දායකත්වය තවත් ඇමරිකානු ඩොලර් මිලියන 3 කින් වැඩි කිරීම මගින් එම වැඩසටහන සඳහා ඇමරිකානු ඩොලර් මිලියන 14.71 ක් ලබාගැනීම සඳහාත් වන සහයෝගිතා ගිවිසුම්වලට එළඹීම පිණිස මුදල් අමාත්‍ය රවි කරුණානායක මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

08. 2015 යල කන්නයේ වී අස්වැන්න කළමනාකරණය- (විෂය අංක 25)
• 2015-09-09 දින පවත්වන ලද අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී තීරණය කළ පරිදි 2015 යල කන්නයේ වී මිල දී ගැනීමේ වැඩසටහන අධීක්ෂණය කිරීම සහ ගොවීන්ට සහන සැලසීම වඩාත් කාර්යක්ෂම කිරීමේ අරමුණින් ඉදිරි වී මිල දී ගැනීමේ වැඩසටහන සැලසුම් කිරීම සම්බන්ධයෙන් නිර්දේශ ඉදිරිපත් කිරීම පිණිස පත් කරන ලද, මුදල් අමාත්‍යවරයාගේ සභාපතිත්වයෙන් යුතු අමාත්‍ය මණ්ඩල අනුකමිටුව විසින් ඉදිරිපත් කරන ලද පහත සඳහන් නිර්දේශ ක්‍රියාත්මක කිරීම සඳහා අමාත්‍ය මණ්ඩලය විසින් අනුමැතිය දෙන ලදී.

• වී මිල දී ගැනීමේ වැඩසටහන ආරම්භයේදී මිල දී ගැනීමට අපේක්ෂා කළ මෙට්‍රික් ටොන් 120,000 ක් වූ වී ප්‍රමාණය මෙට්‍රික් ටොන් 160,000 දක්වා මෙට්‍රික් ටොන් 40,000 කින් වැඩි කිරීම.

• ඒ සඳහා අවශ්‍ය වන රුපියල් මිලියන 1,906 ක අමතර මූල්‍ය ප්‍රතිපාදන ලබාදීම.

• දැනට රජය සතු වී තොගය අතුරින් අවශ්‍ය ආරක්ෂිත තොගය පවත්වා ගනිමින් ඉතිරි වී තොගය වී අලෙවි මණ්ඩලය විසින් රජයේ ප්‍රසම්පාදන ක්‍රියාපටිපාටිය අනුගමනය කරමින් බැහැර කිරීමට කටයුතු කර 2015/ 2016 ඉදිරි මහ කන්නයේ වී මිලදී ගැනීම සඳහා ප්‍රමාණවත් ගබඩා පහසුකම් සලසා ගැනීම.

• වැඩි ගොවීන් සංඛ්‍යාවකගෙන් වී මිල දී ගැනීමට හැකිවන පරිදි වී මිල දී ගැනීමේදී සිදුවන අක්‍රමිකතා අවම කරගැනීම.

• රජයේ වී මිලදී ගැනඇමේ වැඩසටහන ක්‍රියාත්මක කෙරෙන අතරම වී මිල දී ගැනීම සඳහා පෞද්ගලික අංශය මැදිහත් වීම වඩාත් පුළුල් කිරීම උදෙසා දැනට අකර්මණ්‍යව පවතින සුළු හා මධ්‍ය පරිමාණ වී මෝල් හිමියන් සවිබල ගැන්වීම පිණිස අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීම.

• ගබඩා පහසුකම් නොමැති තොග රැස් කරන්නන් සඳහා විශේෂ තාවකාලික ගබඩා පහසුකම් සපයා දීම මගින් මිල දී ගැනීමේ තරගකාරීත්වයක් ඇති කිරීම.

• යල සහ මහ කන්න දෙකෙහිම සාර්ථක වී අස්වැන්නක් ලැබීම තුළින් රට තුළ ඇතිවන වී අතිරික්තය යොදා ගනිමින් ජීව ඉන්ධන නිපදවීම සඳහා පෞද්ගලික අංශයේ ආයෝජන දිරි ගැන්වීම.

• සහල් පිටි යොදා ගනිමින් අගය එකතු කරන ලද නිෂ්පාදන සිදු කරනු ලබන කර්මාන්ත දිරිමත් කිරීම.

• දීර්ඝකාලීන විසඳුමක් ලෙස අපනයන වෙළෙඳපොළට සරිලන නව වී ප්‍රභේද ගොවීන් අතර ප්‍රචලිත කිරීම.

• එක් කන්නයක් සඳහා වී හැර වෙනත් ක්ෂේත්‍ර භෝග හඳුන්වා දීම තුළින් භෝග විවිධාංගීකරණයට අවශ්‍ය පියවර ගැනීම.

09.හෙම්මාතගම ජලසම්පාදන ව්‍යාපෘතිය- විෂය අංක 26)

රුපියල් මිලියන 3,303.26 ක රජයේ අරමුදල් මගින් සහ යුරෝ මිලියන 81.96 ක විදේශීය අරමුදල් මගින් ක්‍රියාවට නංවනු ලබන ඉහත ව්‍යාපෘතිය සඳහා ආර්ථීක කටයුතු පිළිබඳ අමාත්‍ය මණ්ඩල අනුකාරක සභාවේ අනුමැතිය ද හිමි වී ඇත. මෙම ව්‍යාපෘතිය මගින් මාවනැල්ල, අරණායක හා රඹුක්කන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයන්හි ජනතාව වෙත සෙත සැලසෙයි. එම ව්‍යාපෘතියෙහි කටයුතු ඉදිරියට කරගෙන යාම පිණිස නගර සැලසුම් හා ජලසම්පාදන අමාත්‍ය රවුෆ් හකීම් මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

10. කොළඹ වරාය නගර සංවර්ධන ව්‍යාපෘතියෙහි ගිවිසුම් කාලය මාස 06 කින් දීර්ඝ කිරීම- (විෂයය අංක 27)

ශ්‍රී ලංකා රජය හා අදාළ ව්‍යාපෘති සමාගම අතර කොළඹ නගර සංවර්ධන ව්‍යාපෘතිය සම්බන්ධයෙන් අත්සන තබන ලද 2014-09-16 දිනැති ගිවිසුම, එම ගිවිසුමෙහි කාලය අවසන් වන 2015-09-15 දින සිට තවත් මාස හය (06) ක කාලයක් දක්වා දීර්ඝ කිරීම පිණිස වරාය හා නාවික අමාත්‍ය අර්ජුන රණතුංග මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

11. ගරු අමාත්‍යවරුන් සඳහා උපදේශකවරුන් පත් කිරීම- (විෂය අංක 28)

ගරු අමාත්‍යවරුන් සඳහා උපදේශකවරුන් පත් කිරීම සහ එසේ පත් කරනු ලබන උපදේශකවරුන් සඳහා දීමනා ගෙවීම සම්බන්ධයෙන් ප්‍රතිපත්තිමය තීරණයක් ගැනීමේ අවශ්‍යතාව අමාත්‍ය මණ්ඩලයේ ලේකම්වරයා විසින් අමාත්‍ය මණ්ඩලයේ අවධානය වෙත යොමු කරන ලදුව, අමාත්‍ය මණ්ඩලය විසින් පහත සඳහන් පරිදි තීරණය කරන ලදී.

• අමාත්‍යාංශයේ කටයුතු පිළිබඳව එහි සේවයේ නියුතු ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ගෙන් අපේකෂා කළ නොහැකි උපදෙස් ලබා දිය හැකි බවට අමාත්‍යවරයා විසින් අදහස් කරනු ලබන, අමාත්‍යාංශයේ විෂයය පථය හා එහි කාර්යභාරය පිළිබඳව පෘථුල දැනුමක් සහිත ප්‍රවීණයන් පමණක් අමාත්‍යවරුන්ගේ උපදේශකවරුන් වශයෙන් පත් කිරීම පිණිස සලකා බැලිය යුතු බව,

• එක් අමාත්‍යවරයෙකු සඳහා අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය සහිතව එක් උපදේශකවරයකු පමණක් පත් කළ යුතු බව සහ එහෙත් විෂයන් දෙකක් හෝ ඊට වැඩි ගණනකට අදාළ පුළුල් විෂයය පථයක් ඇති අමාත්‍යාංශයක අමාත්‍යවරයකු සඳහා අදාළ විෂයය ක්ෂේත්‍රය පිළිබඳව ප්‍රවීණතාව/ පළපුරුද්ද සහිත උපදේශකවරුන් උපරිම වශයෙන් දෙදෙනෙකු (02) පමණක් අමාත්‍ය මණ්ඩලයේ අනුමැතියට යටත්ව පත් කළ හැකි බව. 

• ඔවුන්ට මාසික දීමනා ගෙවීමේදී අදාළ අමාත්‍යාංශයේ විෂය ක්ෂේත්‍රයට අදාළව ඉතා ඉහළ මට්ටමේ අධ්‍යාපන හෝ වෘතඇතීය සුදුසුකම් සපුරා තිබීම, නවෝත්පාදන ස්වභාවයේ වැඩසටහන් හෝ ව්‍යාපෘති සම්බන්ධයෙන් පුරෝගාමී මෙහෙවරක් ඉටු කර තිබීම, උපදේශකවරයකු ලෙස පත් කිරීමට පූර්වාසන්න සමයේ ඉතා ඉහළ පාරිශ්‍රමිකයන් ලබමින් පෞද්ගලික අංශයේ ජ්‍යෙෂ්ඨ මට්ටමේ තනතුරු දරමින් සිටි අයකු වීම, රාජ්‍ය සේවයේ ඉහළ මට්ටමේ තනතුරු දරා තිබීම ආදී කරුණු කෙරෙහි අවධානය යොමු කළයුතු බව.