2018.01.09 වැනි දි රැස්වූ අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී එළැඹී තීරණ


රාජ්‍ය ණය කළමනාකරණය
රජයේ ආදායම ඉහළ නංවමින් හා රාජ්‍ය මූල්‍ය ඒකාග්‍රතාවක් ඇති කිරීමෙන් රාජ්‍ය ණය ඒකරාශී වීම අඩු කිරීම මඟින්, 2020 වර්ෂය අවසානය වන විට, දළ දේශීය නිෂ්පාදිතයෙහි ප්‍රතිශතයක් ලෙස රාජ්‍ය ණය අනුපාතය 70%ක් දක්වා පහත හෙළීමට රජය සැලසුම් කර තිබේ. ආර්ථික කළමනාකරණය පිළිබඳ අමාත්‍ය මණ්ඩල කාරක සභාවේ ඉල්ලීම මත ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපතිවරයා විසින් මේ සඳහා පවතින විකල්පයන් ඉදිරිපත් කරනු ලැබ ඇති අතර, වඩාත් හිතකර ලෙස රාජ්‍ය ණය කළමනාකරණය කිරීම සම්බන්ධයෙන් ආයෝජක ආයතන වෙතින්ද විවිධ යෝජනා ඉදිරිපත් වී තිබේ. එබදු ඇතැම් යෝජනා පහත දැක්වේ.
(i) මැදිකාලීන රාජ්‍ය මූල්‍ය පුරෝකථනයන්හි සඳහන් අන්දමට දළ දේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් ලෙස රාජ්‍ය ආදායම ක්‍රමානුකූලව ඉහළ නැංවීම.
(ii) පිරිවැය ප්‍රතිලාභ විශ්ලේෂණය මඟින් තෝරා ගනු ලබන, වඩාත් ඉක්මණින් ප්‍රතිලාභ ලැබෙන කාර්යයන් සඳහා රාජ්‍ය ආයෝජන යෙදවීම.
(iii) රාජ්‍ය ආයෝජන සඳහා දේශීය පෞද්ගලික අංශය හෝ විදේශීය ආයෝජකයින් ආකර්ශණය කරගැනීම මඟින් රාජ්‍ය ආයෝජන වෙනුවෙන් ණය ලබාගැනීම අඩු කිරීම.
(iv) රජය සතු විශාල ව්‍යවසායයන්ගේ මූල්‍ය සහ මෙහෙයුම් තත්ත්වය දියුණු කිරීම තුළින් රජයේ වියදම් කෙරෙහි ඒවායේ බලපෑම අඩු කිරීම.
(v) වඩාත් විචක්ෂණශීලි ලෙස දේශීය ණය නිකුත් කිරීම.
(vi) සාපේක්ෂ ලෙස වඩාත් අඩු පොලියක් යටතේ ණය ලබාගත හැකි අවස්ථාවලදී ලබා ගන්නා ණයවලින් ඉහළ පොලියක් යටතේ ලබා ගෙන ඇති ණය ගෙවා දැරීම.
එකී විකල්පයන් සහ යෝජනාද, වගකීම් කළමනාකරණ ක්‍රියාවලිය ක්‍රියාත්මක කිරීමේදී මුහුණ දීමට සිදුවන අභියෝගයන්ද ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යතුමා වශයෙන් ගරු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමා විසින් අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් කරන ලද අතර, අමාත්‍ය මණ්ඩලය විසින් එම කරුණු සැලකිල්ලට ගන්නා ලදී.

'Wolbachia' බැක්ටීරියාව මගින් ඩෙංගු මදුරුවන් මර්දනය කිරීමේ නියමු ව්‍යාපෘතියක් ඕස්ට්‍රේලියානු රජයේ ආධාර යටතේ ක්‍රියාත්මක කිරී
- ශ්‍රී ලංකාවේ තුළ ප්‍රධාන මහජන සෞඛ්‍ය ගැටලුවක් බවට ‍ඩෙංගු රෝගය පත්ව ඇති අතර, පසුගිය දශක දෙකක කාලය තුළ එය වසංගත තත්ත්වයක් බවට පත්ව තිබේ. මෙම රෝගය වැළැක්වීම සඳහා විවිධ ක්‍රියාමාර්ග ගනු ලැබූවද මෙම රෝගී තත්ත්වය හේතුවෙන් 2017 වර්ෂයේදී පමණක් මෙරටට අහිමි වූ මිනිස් ජීවිත සංඛ්‍යාව 400කට අධික වේ. 'ඊඩිස් ඊජිප්ටයි' (Aedes aegypti) මදුරු විශේෂය මඟින් ව්‍යාප්ත වන ඩෙංගු රෝගය සාම්ප්‍රදායික ක්‍රම මඟින් පාලනය කිරීමේදී පවතින දුර්වලතා හේතුවෙන් එය පාලනය කිරීම සඳහා වඩා කාර්යක්ෂම හා පරිසර හිතකාමී ජෛව පාලන ක්‍රමෝපායක් යොදා ගැනීමේ අවශ්‍යතාව හඳුනාගනු ලැබ තිබේ.
‍ෙඩංගු වෛරසය සම්ප්‍රේෂණය වීම වැළැක්වීම සඳහා 'Wolbachia' බැක්ටීරියාව යොදාගැනීමට ඇති හැකියාව ඕස්ට්‍රේලියාවේ මොනෑෂ් විශ්වවිද්‍යාලය සාර්ථකව අත්හදා බලා තිබේ. මෙම බැක්ටීරියාව මඟින් ඩෙංගු මදුරුවන්ගේ ශරීරය තුළ සම්ප්‍රේෂණය කළ හැකි මට්ටමකට ඩෙංගු වෛරසය වර්ධනය වීම වළක්වනු ලැබේ. මෙම ක්‍රමවේදය ඕස්ට්‍රේලියාව, වියට්නාමය, ඉන්දුනීසියාව, බ්‍රසීලය හා කොලොම්බියාව යන රටවල්වල මේ වන විට සාර්ථකව ක්‍රියාත්මක කෙරෙමින් පවතී. ඒ අනුව, ශ්‍රී ලංකාව තුළ ඩෙංගු රෝගය ව්‍යාප්ත වීම වැළැක්වීමේ දීර්ඝකාලීන ක්‍රමවේදයක් වශයෙන් 'Wolbachia' බැක්ටීරියාව යොදාගැනීමේ ව්‍යාපෘතියක්, ඕස්ට්‍රේලියානු රජයේ ආධාර යටතේ නියමු ව්‍යාපෘතියක් වශයෙන් කොළඹ දිස්ත්‍රික්කයේ තෝරාගත් ප්‍රදේශයන්හි ක්‍රියාත්මක කිරීම පිණිස සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය (වෛද්‍ය) රාජිත සේනාරත්න මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

'මඳසරුබව'ට ප්‍රතිකාර කිරීමේ අංග සම්පූර්ණ ප්‍රතිකාර මධ්‍යස්ථාන ඇති කිරීම
'මඳසරුභාවය' හෙවත් 'ගර්භිණීභාවය උදා කරගැනීමට අපොහොසත් වීම', ශ්‍රී ලංකාවේ අඹුසැමි යුවළ අතරින් 15%කට වැඩි පිරිසක් මුහුණ දෙන ගැටලුවක් වී ඇති බව හඳුනාගනු ලැබ තිබේ. අඹුසැමි සබඳතා බිඳ වැටීම, සමාජයේ හුදකලා වීම, ගෘහස්ත සහයෝගය නොලැබීම, දේපළ උරුම වීම වැළකීම ආදි ඍණාත්මක සමාජීය ප්‍රතිවිපාකවලට එම තත්ත්වය හේතු වී තිබේ.
එබැවින්, මඳසරු බවට ප්‍රතිකාර කිරීමේදී රාජ්‍ය සෞඛ්‍ය සේවය විසින් වර්තමානයේ සලසනු ලබන සේවාවන් තවදුරටත් වැඩිදියුණු කිරීමේ අවශ්‍යතාව හඳුනාගනු ලැබ තිබේ. ඒ අනුව කෘත්‍රිම සංසේචනය (IVF) සහ ඩිම්බ/කළල අධිශීත කිරීම වැනි නවීන ප්‍රතිකාර ක්‍රමද සලසනු ලබන, මඳසරු බවට ප්‍රතිකාර කිරීමේ අංග සම්පූර්ණ සේවා මධ්‍යස්ථානයක් පළමුව කාසල් වීදිය කාන්තා රෝහලෙහි ස්ථාපිත කිරීමටත්, එහි දෙවන මධ්‍යස්ථානය ගාල්ල කරාපිටිය නව මාතෘ රෝහලෙහි ස්ථාපනය කිරීමටත්, තුන්වන අදියර යටතේ අනෙකුත් සෑම පළාතකම එවැනි ප්‍රතිකාර මධ්‍යස්ථානයක් බැගින් ස්ථාපනය කිරීමටත් සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය (වෛද්‍ය) රාජිත සේනාරත්න මැතිතුමා ඉදිරිපත් කළ යෝජනා අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
'වර්ධනය සඳහා යහපාලනය' (Governance for Growth) වැඩසටහන ක්‍රියාත්මක කිරීම
සමාජයේ කිසියම් පිරිසකගේ නොව පොදු මහජනතාවගේ අවශ්‍යතා සම්පූර්ණ කිරීමෙහි ලා රජය සතු වගකීම 'යහපාලනය' සංකල්පයෙහි මූලික අංගයක් වේ. යහපාලනය වෙනුවෙන් රජය විසින් දරනු ලබන ප්‍රයත්නයන්ට සහයෝගයක් වශයෙන් මහජනතාවට රාජ්‍ය සේවාවන් ලබා දීම වැඩිදියුණු කිරීම උදෙසා ඕස්ට්‍රේලියානු ඩොලර් මිලියන 31ක ප්‍රදානයක් ලබා දීමට ඕස්ට්‍රේලියානු රජය එකඟ වී තිබේ. මෙම අරමුදල් යොදා ගනිමින් 'වර්ධනය සඳහා යහපාලනය' (Governance for Growth) නමින් වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබේ.
ආර්ථිකය වර්ධනය ඉහළ නැංවීම සහ එම වර්ධනයෙහි ප්‍රතිලාභ සමාජය තුළ ව්‍යාප්ත කිරීම මඟින් රටෙහි පවතින දුප්පත්කම හා ආදායම් විෂමතාවන් අවම කිරීම, කාර්යක්ෂම හා වගවිය හැකි රාජ්‍ය සේවාවන් ලබා දීම සඳහා අනුග්‍රහය දැක්වීම, ආර්ථික තීරණ ගැනීමේදී හා රාජ්‍ය සේවාවන් ලබා දීමේ ගුණාත්මක බව ඉහළ නැංවීමේදී ඒකාබද්ධ පර්යේෂණ වැඩසටහන් සඳහා සහාය දීම යන කරුණු මේ යටතේ ආවරණය කෙරේ. ඒ අනුව, යෝජිත වැඩසටහන ඉදිරි වසර 05ක කාල සීමාව තුළ ක්‍රියාවට නැංවීමටත්, ඒ සම්බන්ධයෙන් ඕස්ට්‍රේලියානු රජය සමඟ පාලිත ගිවිසුමකට අත්සන් තැබීමටත් මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මැතිතුමා ඉදිරිපත් කළ යෝජනා අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

වර්තමානයේ ක්‍රියාත්මක වීසා නිකුත් කිරීමේ ක්‍රමවේදය ක්‍රමවත් හා යාවත්කාලීන කිරීම
ශ්‍රී ලංකාවේ සංවර්ධන ක්‍රියාවලිය සඳහා දේශීය හා විදේශීය ආයෝජන ප්‍රවර්ධනය කිරීමේ රජයේ ප්‍රතිපත්තියට සමගාමීව වර්තමාන වීසා නිකුත් කිරීමේ ක්‍රමවේදය යාවත්කාලීන හා ක්‍රමවත් කිරීමට යෝජනා වී තිබේ. සුදුසුකම් ලත් විදේශීය ජාතිකයින්ගේ ඉල්ලීම මත, වර්තමානයේදී සංචාරක වීසා (Visit Visa), නේවාසික වීසා (Residence Visa), මාර්ගස්ථ වීසා (Transit Visa) යන වීසා වර්ග නිකුත් කරනු ලැබේ. වර්තමානයේ පවතින වීසා වර්ග සහ ඒ සඳහා අය කරනු ලබන ගාස්තු සංශෝධනය කිරීමටත්, දැනට ශ්‍රී ලංකා රුපියල්වලින් අය කරනු ලබන වීසා ගාස්තු ඇමරිකානු ඩොලර්වලින් අය කිරීමටත් ආර්ථික කළමනාකරණය පිළිබඳ අමාත්‍ය මණ්ඩල කාරක සභාව විසින් නිර්දේශ කරනු ලැබ තිබේ. ඒ අනුව, පහත සඳහන් අංගද වීසා නිකුත් කිරීමේ ක්‍රමවේදයට ඇතුළත් කරමින් 1948 අංක 20 දරන ආගාමික හා විගාමික පනතේ 14වන වගන්තිය හා අදාළ රෙගුලාසි යෝග්‍ය වන පරිදි සංශෝධනය කිරීම පිණිස අභ්‍යන්තර කටයුතු, වයඹ සංවර්ධන හා සංස්කෘතික කටයුතු අමාත්‍ය එස්.බී.නාවින්න මැතිතුමා ඉදිරිපත් කළ යෝජනා අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
* ශ්‍රී ලංකා අයෝජන මණ්ඩලය යටතේ වන ක්ෂේත්‍රයන්හි ආයෝජිකයින්/සේවකයින්ට අදාළ නේවාසික වීසා නිර්දේශ කිරීමේ බලය ආයෝජන මණ්ඩලය අයත්වන අමාත්‍යාංශයේ ලේකම්වරයා වෙත පැවරීම.
* වලංගු වීසා කාලය ඉක්මවා සිටින විදේශිකයින්ගෙන් වීසා ගාස්තුවට අමතරව ඇමරිකානු ඩොලර් 500ක දඩ මුදලක් අය කිරීම.
* විදේශීය ශිෂ්‍යයින් සඳහා සම්පූර්ණ අධ්‍යයන කාල පරිච්ඡේදය සඳහා නේවාසික වීසා ලබා දීම.
* ශ්‍රී ලංකාවට ඇමරිකානු ඩොලර් 500,000කට වැඩි මුදලක් ප්‍රේෂණය කරනු ලබන විදේශිකයින්ට අවුරුදු 10ක කාල සීමාවක් සඳහා නේවාසික වීසා නිකුත් කිරීම.
* ශ්‍රී ලාංකික පුරවැසියකු හා විවාහ වී සිටින විදේශීය කලත්‍රයා සඳහා වසර 05ක කාලසීමාවක් සඳහා කලත්‍ර වීසා ලබා දීම සහ ඔවුන්ගේ දරුවන්ටද වීසා ලබා දීම.
* සිය ශ්‍රී ලාංකේය කලත්‍රයන් මියගිය විදේශීය කලත්‍රයන් සඳහා මෙන්ම, ශ්‍රී ලංකාව තුළ වසර 10ක කාලයක් අඛණ්ඩව වාසය කරන ලද හෝ වයස අවුරුදු 18ට අඩු දරුවන් සිටින විදේශීය කලත්‍රයන් සඳහා රැකියාවක නිරත වීම පිණිස අවුරුදු 02ක කාලසීමාවකට නේවාසික වීසා ලබා දීම.
* ද්විත්ව පුරවැසිභාවය සඳහා අයදුම් කිරීමට හැකියාවක් නොමැති, දැනටමත් විදේශීය රටක පුරවැසිභාවය ලබා ඇති, ශ්‍රී ලාංකිකයන්ව සිටි පුද්ගලයින් හට ස්ථිර නේවාසික වීසාවක් (Permanent Residence Visa) ලබා දීම.

මුහුදේ කූඩු තුළ මුහුදු මත්ස්‍ය වගා ව්‍යාපෘතියට අදාළ සේවා සැපයුම් මධ්‍යස්ථානයක් ඉදි කිරීම සඳහා ඉඩම් කොටසක් ලබා දීම
විවෘත මුහුදේ කූඩු තුළ මසුන් වගා කිරීමේ තාක්ෂණය යොදාගනිමින් වෙළඳ පොළේ ඉහළ ඉල්ලුමක් සහිත මොදා, පොම්පානු (වව්වාලයා) හා කොස්සා යන මත්ස්‍ය විශේෂ වාණිජ මට්ටමින් ඇති කිරීමේ ව්‍යාපෘතියක් පාරිසරික සංරක්ෂණ ක්‍රම අනුගමනය කරමින් සහ නවීන තාක්ෂණය භාවිත කරමින් අදියර දෙකක් යටතේ ක්‍රියාත්මක කිරීමට අමාත්‍ය මණ්ඩලය විසින් දැනටමත් අනුමැතිය ලබා දෙනු ලැබ ඇත. ඒ සඳහා ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ, කොඩ්ඩියාර් ප්‍රදේශයේ ශ්‍රී ලංකා වරාය අධිකාරියට අයත් දේශීය මුහුදු තීරයේ හෙක්ටයාර 150ක මුහුදු ප්‍රදේශයක් ග්ලෝබල් සිලෝන් සී ෆුඩ් (පෞද්ගලික) සමාගම වෙත 30 අවුරුදු බදු පදනම මත ලබා දීමට ද අනුමැතිය ලබා දෙනු ලැබ තිබේ.
එම ව්‍යාපෘතිය යටතේ වාර්ෂිකව මෙට්‍රික් ටොන් 2,000ක පමණ මත්ස්‍ය නිෂ්පාදනයක් සිදු කිරීමට නියමිත අතර, ඊට අවශ්‍ය සේවා සම්පාදනය සහ මසුන් වෙළඳ පොළට ඉදිරිපත් කිරීමට පෙර සිදු කළ යුතු පිරිසැකසුම් කටයුතු සඳහා සේවා මධ්‍යස්ථානයක් ඉදි කිරීමට අවශ්‍ය වී තිබේ. ඒ සඳහා මුතූර් ප්‍රා‍ෙද්ශීය ලේකම් කොට්ඨාසයේ පිහිටි අක්කර 01ක බිම් කොටසක්, ග්ලෝබල් සිලෝන් සී ෆුඩ් (පෞද්ගලික) සමාගම වෙත බදු පදනම මත වසර 30ක කාලයක් සඳහා ලබා දීම පිණිස ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය මහින්ද අමරවීර මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

ඇල්ල වැව ජලාශය සඳහා ඉඩම් අත්පත් කරගැනීම හේතුවෙන් බලපෑමට ලක්වන පවුල් සඳහා සහන සැලසීම
රත්නපුර දිස්ත්‍රික්කයේ, ඇඹිලිපිටිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ඉදි කිරීමට යෝජිත ඇල්ල වැව ජලාශය මඟින් පනාමුර, වලල්ගොඩ, හුලංදාඔය යන ප්‍රදේශයන්හි පිහිටි අක්කර 1,800ක පමණ ඉඩම් ප්‍රමාණයකට වාරි ජලය සැපයීමට සැලසුම් කර තිබේ. මෙම ජලාශය ඉදි කිරීම සඳහා ඉඩම් පවරා ගැනීම හේතුවෙන් පවුල් 20ක් පමණ අවතැන් වන බව හඳුනාගනු ලැබ තිබේ. එම පවුල් සඳහා නිවාස තනාගැනීමට විකල්ප ඉඩම් ලබා දීමට සහ සාධාරණ වන්දියක් ලබා දීමට සුදුසු වැඩපිළිවෙළක් යෙදීම පිණිස වාරිමාර්ග හා ජලසම්පත් කළමනාකරණ අමාත්‍ය විජිත් විජයමුණි සොයිසා මැතිතුමා ඉදිරිපත් කළ යෝජනා අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

වතු ප්‍රදේශ සඳහා නව ගම්මාන සංවර්ධන අධිකාරිය පිහිටුවීම
ශ්‍රී ලංකාවේ වැවිලි කලාපයේ සමාජ, ආර්ථික, සංස්කෘතික හා යටිතල පහසුකම් සංවර්ධනය තුළින් එම කලාපවල ජීවත්වන ප්‍රජාවට ජාතික සංවර්ධන ක්‍රියාවලියට දායක වීමට හැකි වන පරිදි ඔවුන් සමාජමය හා ආර්ථිකමය වශයෙන් සවිබලගැන්වීම අරමුණු කරගනිමින් 'වැවිලි කලාපය සඳහා වූ නව ගම්මාන සංවර්ධන අධිකාරිය' ස්ථාපනය කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලබා දෙනු ලැබ තිබේ.
එම කාර්යය සඳහා නීති කෙටුම්පත් සම්පාදක විසින් සකස් කරනු ලැබ ඇති පනත් කෙටුම්පතෙහි ඇතුළත් විධිවිධාන පිළිබඳව සාකච්ඡා කර ඒ සම්බන්ධයෙන් එළඹුණු එකඟතාවන් වැවිලි කර්මාන්ත අමාත්‍ය නවින් දිසානායක මැතිතුමා සහ කඳුරට නව ගම්මාන, යටිතල පහසුකම් හා ප්‍රජා සංවර්ධන අමාත්‍ය යූ. පලනි දිගම්බරම් මැතිතුමා විසින් අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් කරන ලද අතර, එම පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ඉදිරි කටයුතු කිරීම සඳහා අමාත්‍ය මණ්ඩලය විසින් අනුමැතිය ලබා දෙන ලදී.
ජාතික ලේඛනාරක්ෂක දෙපාර්තමේන්තුවේ ප්‍රධාන ගොඩනැඟිල්ල ප්‍රතිසංස්කරණය කිරීම
මෙරට අනන්‍යතාව තහවුරු කර ලීමෙහි ලා ඉතා වැදගත්, ඉපැරණි වටිනා අභිලේඛන රාශියක් මෙන්ම 1885 වර්ෂයේ සිට පැවත එන මෙරට නීතිරීති, අණපනත් ජාතික ලේඛනාරක්ෂක දෙපාර්තමේන්තුවේ තැන්පත් කරනු ලැබ තිබේ. අනන්‍ය ගෘහ නිර්මාණ සැලැස්මකට අනුව ඉදි කරනු ලැබ ඇති මෙම දෙපාර්තමේන්තුවේ ප්‍රධාන ගොඩනැඟිල්ල මහල් 07කින් සමන්විත වන අතර, එය වසර 40ක් පමණ පැරණි වේ.
එබැවින්, මෙහි තැන්පත් කරනු ලැබ ඇති ඉතා වැදගත් ලේඛන නිසි ප්‍රමිතීන්ට අනුව සංරක්ෂණය කිරීම සඳහා අවශ්‍ය ප්‍රශස්ත පරිසරය නිර්මාණය කිරීමටත්, උසස් ලේඛනාගාර සේවයක් මහජනතාවට ලබා දීමටත් හැකි වන පරිදි, එම ප්‍රධාන ගොඩනැඟිල්ල ප්‍රතිසංස්කරණය කිරීම පිණිස අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මැතිතුමා ඉදිරිපත් කළ යෝජනා අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

රාජ්‍ය අංශ ගිණුම් ප්‍රමිති අනුව පළාත් පාලන ආයතන සඳහා පොදු ගිණුම් ක්‍රමයක් සකස් කිරීම
පළාත් පාලන ආයතනවල දැනට ක්‍රියාත්මක වන ගිණුම් ක්‍රමයේ පවතින අඩුපාඩු නිවැරදි කර ජාත්‍යන්තරව පිළිගත් ගිණුම්කරණ ප්‍රමිතීන්ට අනුකූල නව ගිණුම් පද්ධතියක් හඳුන්වා දීමේ අරමුණින් ලෝක බැංකු ආධාර යටතේ ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කරනු ලැබ තිබේ. මෙමඟින් සකස් කරනු ලැබ ඇති නව ගිණුම්කරණ ක්‍රමවේදය 2018 වසරේ සිට දිවයිනේ සියලුම පළාත් පාලන ආයතන සඳහා හඳුන්වා දීමට නියමිතය. මේ සම්බන්ධයෙන් පළාත් පාලන ආයතනවල නිලධාරින් දැනුවත් කිරීමේ වැඩසටහන් ද ක්‍රියාත්මක කරනු ලැබ තිබේ. ඒ අනුව, මෙම නව ගිණුම් ක්‍රමය, 2018 මුදල් වර්ෂයේ සිට සියලුම පළාත් පාලන ආයතන තුළ ක්‍රියාත්මක කිරීම පිණිස පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ෆයිසර් මුස්තාපා මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

කළුතර දිස්ත්‍රික්කයේ, බේරුවල හා අලුත්ගම ප්‍රදේශවල 2014 06 15 - 2014 06 16 දිනයන්හි සිදු වූ සිද්ධියේ වින්දිතයින්ට වන්දි ප්‍රදානය කිරීම
කළුතර දිස්ත්‍රික්කයේ, බේරුවල හා අලුත්ගම ප්‍රදේශවල 2014 ජුනි මස 15 හා 16 දිනවල සිදුවූ අවාසනාවන්ත සිදුවීම අතරතුරදී නාඳුනන පුද්ගලයන් විසින් පවුල් 273කට අයත් දේපළ විනාශ කරනු ලැබ ඇති අතර, එහිදී හානි වූ ගොඩනැඟිලි ශ්‍රී ලංකා යුද හමුදාව විසින් අලුත්වැඩියා කර දෙන ලදී. එහෙත් එහිදී හානි වූ ගෘහ උපකරණ සහ ජීවනෝපාය මාර්ග යථා තත්ත්වයට පත් කරගැනීම සඳහා වින්දිතයින්ට වන්දි ගෙවීමක් සිදු නොකරන ලදී.
අදාළ හානි පරීක්ෂා කිරීම සඳහා පත් කරන ලද නිලධාරි කමිටුව විසින් එම සිදුවීම හේතුවෙන් අහිමි වූ අනෙකුත් දේපළ හා ගෘහ උපකරණ වෙනුවෙන් වන්දි ගෙවීම නිර්දේශ කරනු ලැබ තිබේ. ඒ අනුව, බන්ධනාගාර ප්‍රතිසංස්කරණ, පුනරුත්ථාපන, නැවත පදිංචි කිරීම හා හින්දු ආගමික කටයුතු අමාත්‍ය ඩී.එම්.ස්වාමිනාදන් මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාවක් සැලකිල්ලට ගනිමින්, වර්තමානයේ පවතින විධිවිධානවලට යටත්ව, එම වන්දි පිරිනැමීම සිදු කිරීම පිණිස අමාත්‍ය මණ්ඩලය විසින් අනුමැතිය දෙන ලදී.

ජාත්‍යන්තර තරග/තරගාවලි අරමුණු කරගනිමින් ජාතික සංචිතගත ක්‍රීඩා කණ්ඩායම්හි කාර්යසාධනය ප්‍රවර්ධනය කිරීම
ශ්‍රී ලංකාවේ සිටින වෘත්තීයමය ක්‍රීඩක - ක්‍රීඩිකාවන් සංඛ්‍යාව අ‍තළොස්සක් වන අතර, ඔවුන්ගෙන් වැඩිදෙනෙක් තම දෛනික රාජකාරි හා අනෙකුත් කටයුතු අතර, ඉඩප්‍රස්තා ලැබෙන පරිදි ක්‍රීඩා පුහුණුවීම්වල නිරත වෙති. ජාත්‍යන්තර තරගාවලි ඉලක්ක කරගනිමින් ක්‍රීඩක - ක්‍රීඩිකාවන්ගේ කාර්යසාධනය ඉහළ නැංවීම සඳහා ඔවුන් පුහුණු සංචිතවලට ඇතුළත් කරගෙන තාක්ෂණික පුහුණුව, ආහාරපාන, වෛද්‍ය උපදේශකත්වය, ඖෂධ ආදිය නිවැරදි මගපෙන්වීම යටතේ ලබා දීම ඉතා වැදගත් වේ. දැනට ක්‍රීඩා අමාත්‍යාංශය විසින් මලල ක්‍රීඩා, බර ඉසිලීම, වූෂු, හොකී, රගර්, කරාතේ යන ක්‍රීඩා හා පැරාඔලිම්පික් තරග සඳහා ක්‍රීඩා පුහුණු සංචිත පවත්වාගෙන යනු ලබන අතර, එමඟින් ක්‍රීඩක - ක්‍රීඩිකාවෝ 159 දෙනෙක් පුහුණු කෙරෙති. එම සංචිතවල ක්‍රීඩක - ක්‍රීඩිකාවන් සඳහා එක් අයෙකුට රුපියල් 10,000 සිට 80,000 දක්වා වන දීමනාවක් ද ගෙවනු ලැබේ.
ජාත්‍යන්තර තරග/තරගාවලි ජයග්‍රහණ ඉලක්ක කරගනිමින් මෙම පුහුණු සංචිතවල කාර්යසාධනය වැඩි කිරීම අත්‍යවශ්‍ය වේ. මෙම සංචිතවල ක්‍රීඩකයින් වැඩිදෙනෙකු රාජ්‍ය, ත්‍රිවිධ හමුදාව, පොලීසිය වැනි ආයතනවල සේ‍වයේ යෙදමින් ක්‍රීඩාවල යෙදෙන බැවින්, පුහුණු කටයුතු සඳහා ඔවුන් එම වෘත්තීය පරිසරයෙන් පූර්ණකාලීනව නිදහස් කරගැනීමට පියවර ගැනීම අවශ්‍ය වේ. එමෙන්ම සෑම පුහුණු සංචිතයක් සඳහාම ජාතික හා ජාත්‍යන්තර පුහුණුකරුවන්ගේ සේවය ලබාගැනීමටත්, පුහුණු සංචිතවලට එක් වන ක්‍රීඩික ක්‍රීඩිකාවන් සඳහා අවශ්‍ය පහසුකම් සැලසීමටත්, ක්‍රීඩාවෙන් උපරිම දක්ෂතා පෙන්නුම් කරනු ලබන ක්‍රීඩක - ක්‍රීඩිකාවන්ට අදාළ බඳවා ගැනීමේ සුදුසුකම් සපුරා ඇති විට රාජ්‍ය ආයතනයන්හි පත්වීම් ලබා දීම මඟින් ඔවුන් දිරිගැන්වීමටත් ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මැතිතුමා ඉදිරිපත් කළ යෝජනා අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

බිබිල සිට චෙන්කලඩි දක්වා වන මාර්ග කොටස (කිලෝමීටර් 86.75) ඉදි කිරීමේ ව්‍යාපෘතිය අධීක්ෂණය කිරීම සඳහා උපදේශක සේවා ලබාගැනීම
බදුල්ල - චෙන්කලඩි මාර්ගයේ, බිබිල සිට චෙන්කලඩි දක්වා කිලෝ මීටර 86.75 දිගැති මාර්ග කොටස පුනරුත්ථාපනය කර වැඩිදියුණු කිරීම පිණිස, සංවර්ධනය සඳහා වන සවුදි අරමුදල (SFD) විසින් ඇමරිකානු ඩොලර් මිලියන 60ක ණය මුදලක් ශ්‍රී ලංකා රජය වෙත සපයනු ලැබ තිබේ. එම මාර්ග කොටසේ ඉදි කිරීම් අධීක්ෂණය සඳහා වන උපදේශක සේවා සැපයීමේ කොන්ත්‍රාත්තුව, අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද උපදේශක ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශය පරිදි, රුපියල් මිලියන 258.3ක මුදලකට Resources Development Consultants (Pvt) Ltd. වෙත ප්‍රදානය කිරීම පිණිස උසස් අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
හොරණ නව වෘත්තීය පුහුණු මධ්‍යස්ථානය ඉදි කිරීමේ කොන්ත්‍රාත්තුව ප්‍රදානය කිරීම
- මෙරට වෘත්තීය පුහුණු මධ්‍යස්ථාන ජාලය පුළුල් කිරීමේ අරමුණින් ක්‍රියාත්මක කෙරෙන 'නිපුණතා ආංශික සංවර්ධන වැඩසටහන' යටතේ, හොරණ නව වෘත්තීය පුහුණු මධ්‍යස්ථානය ඉදි කිරීම සඳහා අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය දැනටමත් ලබා දෙනු ලැබ තිබේ. ඒ අනුව, එම වෘත්තීය පුහුණු මධ්‍යස්ථානය ඉදි කිරීමේ කොන්ත්‍රාත්තුව, අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශය පරිදි, රුපියල් මිලියන 141 මුදලකට M/s. Asiri Constructions ආයතනය වෙත පිරිනැමීම පිණිස නිපුණතා සංවර්ධන හා වෘත්තීය පුහුණු අමාත්‍ය චන්දිම වීර‍ක්කොඩි මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

කෙරවලපිටිය, මුතුරාජවෙල ප්‍රදේශයේ, ගොඩ කිරීම් සඳහා සහ මුහුදු වැලි සංචිත රැස් කිරීම සඳහා අක්වෙරළ වැලි කැණීම සහ පොම්ප කිරීම

ගංගා වැලි ගොඩදැමීම අහිතකර පාරිසරික හානිවලට හේතු වන බැවින්, එය අවම කිරීම සඳහා වන විසඳුමක් ලෙස වෙරළට ඔ‍බ්බෙන් වූ මුහුදෙන් කණින ලද වැලි පිරිපහදු කර, ඉදි කිරීම් කටයුතු සඳහා සැපයීමට ශ්‍රී ලංකා ඉඩම් ගොඩ කිරීමේ හා සංවර්ධනය කිරීමේ සංස්ථාව විසින් කටයුතු කරනු ලැබේ. මේ වෙනුවෙන් මුතුරාජවෙල ප්‍රදේශයේ පවත්වාගෙන යනු ලබන සංචිතය සඳහා අලුතෙන් මුහුදු වැලි සපයා ගැනීම අවශ්‍යව තිබේ. එමෙන්ම සංවර්ධන සැලසුම් අනුව කෙරවලපිටිය ප්‍රදේශයේ යෝජිත ඉඩම් ගොඩකිරීමේ කටයුතු සඳහාද මුහුදු වැලි සපයා ගත යුතුව තිබේ.

මෙම කාර්යයන් සඳහා අක්වෙරළ වැලි කැණීම සහ පොම්ප කිරීම සඳහා සුදුසු කොන්ත්‍රාත්කරුවකු තෝරා ගැනීම පිණිස ජාත්‍යන්තර ලංසු කැඳවනු ලැබ ඇති අතර, අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශය පරිදි, එම කොන්ත්‍රාත්තුව, ඇමරිකානු ඩොලර් මිලියන 19.97ක මුදලකට, ඩෙන්මාර්කයේ M/s. Rohde Nielsen A/S වෙත ප්‍රදානය කිරීම පිණිස මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

සෙත්සිරිපාය පරිශ්‍රයේ ඉදි කෙරෙන යෝජිත බහුමහල් කාර්යාල සංකීර්ණයේ ටැඹ අත්තිවාරම ඉදි කිරීම
- ශ්‍රී ජයවර්ධනපුර - කෝට්ටේ පරිපාලනමය නගරය තුළ ඉහළ යන කාර්යාල ඉඩ පහසුකම් ඉල්ලුම සඳහා බහු මහල් කාර්යාල සංකීර්ණයක් ඉදි කිරීමට නාගරික සංවර්ධන අධිකාරිය විසින් සැලසුම් කරනු ලැබ තිබේ. සෙත්සිරිපාය පරිශ්‍රයේ ඉදි කෙරෙන යෝජිත ගොඩනැඟිල්ල මහල් 25කින් සමන්විත වන අතර, වර්ග මීටර 123,902ක ඉඩ ප්‍රමාණයකින් යුක්ත වේ. නවීන කාර්යාල පහසුකම්වලින් සමන්විත වන පරිදි හරිත ගොඩනැඟිලි සංකල්ප මත සැලසුම් කර ඇති මෙම ගොඩනැඟිලි සංකීර්ණය වසර 3 1/2ක් තුළ ඉදි කර අවසන් කිරීමට අපේක්ෂා කෙරේ. මේ සඳහා ඇස්තමේන්තුගත පිරිවැය රුපියල් බිලියන 15.6ක් වේ.
යෝජිත ගොඩනැඟිල්ලේ ටැඹ අත්තිවාරම ඉදි කිරීම සඳහා මේ වන විට ලංසු කැඳවනු ලැබ ඇති අතර, අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශය පරිදි එම කොන්ත්‍රාත්තුව, රුපියල් මිලියන 1,155ක මුදලකට M/s. San Piling (Pvt) Ltd. වෙත පිරිනැමීම පිණිස මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

මහනුවර, භූගත වැසි ජලාපවහන පද්ධතිය පුනරුත්ථාපනය කිරීම
උපායමාර්ගික නගර සංවර්ධන ව්‍යාපෘතිය යටතේ සිදු කෙරෙන මහනුවර නගර සංවර්ධන කටයුතුවලට සමගාමීව මහනුවර, භූගත වැසි ජලාපවහන පද්ධතිය පුනරුත්ථාපනය කිරීමට සැලසුම් කර තිබේ. ඒ සඳහා වන සිවිල් වැඩ කොන්ත්‍රාත්තුව, අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශය පරිදි, රුපියල් මිලියන 1,016.3ක මුදලකට Ludwig Pfeiffer (Germany) - Gypsum Structural (India) (Pvt.) Ltd. බද්ද ව්‍යාපාරය වෙත පිරිනැමීම පිණිස මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

ලක්විජය බලාගාරයේ ගල් අඟුරු අංගණය හා අළු අංගණය වටා සුළං ආවරණයක් ඉදි කිරීම
පුත්තලම, ලක්විජය බලාගාරයේ විදුලි ජනන කටයුතු සඳහා වාර්ෂිකව ගල් අඟුරු මෙට්‍රික් ටොන් මිලියන 2.4ක් පමණ අවශ්‍ය වේ. එහි ජැටියට නැවෙන් ගොඩ බානු ලබන ගල් අඟුරු ගබඩා අංගණය වෙත ප්‍රවාහනය කිරීමේදී මෙන්ම ගබඩා කර තැබීමේදීද, දහනය කරන ලද ගල් අඟුරු අළු තාවකාලිකව ගබඩා කර තැබීමේදීද දූවිලි ජනනය වේ. මෙය ඒ අවට පදිංචිකරුවන්ට විශාල කරදරයක්ව තිබේ. ගල් අඟුරු ගබඩා කර ඇති අංගණයේ මුහුදු සීමාවේ මීටර 450ක් දිග හා මීටර 15ක් උස සුළං බාධකයක් දැනටමත් ඉදි කොට ඇති නමුත්, තද සුළං හමන කාලවලදී මෙම බාධකය ප්‍රමාණවත් නොවන බව හඳුනා ගනු ලැබ තිබේ. එමෙන්ම, දහනය කරන ලද ගල් අඟුරු අළු ගබඩා කර ඇති අංගණයද ආවරණය වන පරිදි මෙම සුළං බාධකය දීර්ඝ කිරීමේ අවශ්‍යතාව හඳුනාගනු ලැබ තිබේ.
එබැවින්, ලක්විජය බලාගාරයේ වර්තමාන සුළං බාධකය ගල් අඟුරු අංගණය හා අළු අංගණය ද සම්පූර්ණයෙන්ම ආවරණය වන පරිදි පුළුල් කර ඉදි කිරීම සඳහා කොන්ත්‍රාත්කරුවකු තෝරා ගැනීම පිණිස ලංසු කැඳවනු ලැබ තිබේ. ඒ අනුව, එම කොන්ත්‍රාත්තුව, අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශය පරිදි රුපියල් මිලියන 723.7ක මුදලකට Laugfs Engineering (Pvt.) Ltd. and Sanken Construction (Pvt.) Ltd. වෙත ප්‍රදානය කිරීම පිණිස විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
ශ්‍රී ලංකා පොලීසිය සහ විශේෂ කාර්ය බලකාය සඳහා නිල ඇඳුම් සහ අනෙකුත් රෙදිපිළි වර්ග මිල දී ගැනීම
ශ්‍රී ලංකා පොලීසිය සහ විශේෂ කාර්ය බලකාය සඳහා අවශ්‍ය නිල ඇඳුම් කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යාංශය යටතේ ලියාපදිංචි දේශීය රෙදිපිළි නිෂ්පාදකයින් වෙතින් මිල ගණන් කැඳවීම මඟින් මිල දී ගනු ලැබේ. ඒ අනුව, ශ්‍රී ලංකා පොලීසිය හා විශේෂ කාර්ය බලකාය සඳහා අවශ්‍ය නිල ඇඳුම්, දේශීය රෙදිපිළි වෙන් කර දීමේ කමිටුව විසින් නිර්දේශිත දේශීය රෙදිපිළි නිෂ්පාදකයින් වෙතින් රුපියල් මිලියන 257.3ක මුදලකට මිල දී ගැනීම පිණිස නීතිය හා සාමය සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
අනුරාධපුර උතුර ජල සම්පාදන ව්‍යාපෘතිය - අදියර II - සවිස්තරාත්මක නිර්මාණ හා ලංසු සහාය සඳහා වන උපදේශක කොන්ත්‍රාත්තුව
- අනුරාධපුර උතුර ජල සම්පාදන ව්‍යාපෘතියේ අදියර IIහි සවිස්තරාත්මක නිර්මාණ හා ලංසු සහාය සඳහා වන උපදේශක කොන්ත්‍රාත්තුව, අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද උපදේශක ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශය පරිදි ශ්‍රී ලංකාවේ M/s. Ceywater Consultants (Pvt) Ltd. හා ශ්‍රී ලංකාවේ M/s. EML Consultants (Pvt) Ltd. සමඟ අනුබද්ධ වූ ජපානයේ M/s. NJS Consultants Co. Ltd. වෙත පිරිනැමීම පිණිස නගර සැලසුම් හා ජල සම්පාදන අමාත්‍ය රවුෆ් හකීම් මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

2005 වර්ෂයේ සිට 2015 වර්ෂය දක්වා කාලය තුළ විවිධ හිරිහැරයන්ට හා පීඩාවන්ට පත් වූ මාධ්‍යවේදීන්ට සහන සැලසීම
2005 වර්ෂයේ සිට 2015 වර්ෂය දක්වා කාලය තුළ විවිධ හිරිහැරයන්ට හා පීඩාවන්ට පත් වූ මාධ්‍යවේදීන්ට සහන සැලසීමේ අරමුණින් එවැනි හිරිහැරයන්ට හා පීඩාවන්ට පත්වූ මාධ්‍යවේදීන්ට තම අභියාචනා ඉදිරිපත් කිරීම සඳහා පුවත්පත් දැන්වීම් පළ කිරීම මඟින් අවස්ථාව දෙන ලදී. එම අභියාචනා සම්බන්ධයෙන් අමාත්‍ය මණ්ඩලය වෙත නිර්දේශ ඉදිරිපත් කිරීම පිණිස හිටපු විදේශ කටයුතු ඇමතිතුමාගේ සභාපතිත්වය යටතේ අමාත්‍ය මණ්ඩල අනුකාරක සභාවක් පත් කරන ලදී. එකී අභියාචනා භාර ගැනීමේ කාලසීමාව පසුව 2017 මැයි 01 දින දක්වා පසුව දීර්ඝ කරනු ලැබ ඇති අතර, එහිදී තවත් අභියාචනා 14ක් ඉදිරිපත් වී ඇත. ඒ අනුව, එම අභියාචනා පරීක්ෂා කර බලා නිර්දේශ ඉදිරිපත් කිරීම පිණිස පහත සඳහන් අමාත්‍යවරුන්ගෙන් සමන්විත නව අමාත්‍ය මණ්ඩල අනුකාරක සභාවක් පත් කිරීම පිණිස අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී:
* ගරු මංගල සමරවීර මැතිතුමා,
මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය - (සභාපති);
* ගරු අනුර ප්‍රියදර්ශන යාපා මැතිතුමා,
ආපදා කළමනාකරණ අමාත්‍ය;
* ගරු ගයන්ත කරුණාතිලක මැතිතුමා,
ඉඩම් සහ පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ අමාත්‍ය.