2018 – 04 – 24 දින පැවැත්වුණු අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී එළඹුණු තීරණ


01. ශ්‍රී ලංකාවේ දේශසීමා කළමනාකරණ ක්‍රමෝපාය ( Integrated Border Management - IBM ) ක්‍රියාත්මක කිරීම - න්‍යාය පත්‍රයේ විෂය අංක 06)

ජාතික ආරක්ෂාව හා සුරක්ෂිතතාව විධිමත් පරිධි පවත්වා ගෙන යාම සඳහා මෙරට දේශසීමා
ආරක්ෂා කිරීම හා කළමනාකරණය ඉතා වැදගත් වේ. විශේෂයෙන්ම දේශසීමා හරහා මිනිසුන් හා භාණ්ඩ සංසරණය ඉහළ යාමත් සමග මෙය අත්‍යාවශ්‍ය කරුණක්ව තිබේ. එබැවින් දේශසීමා (ප්‍රත්‍යන්ත) කළමනාකරණයේදී රජයේ ප්‍රධාන සම්බන්ධීකරණ ආයතනය ලෙස ක්‍රියාත්මක වීම පිණිස
“ජාතික ප්‍රත්‍යන්ත කළමනාකරණ කමිටුව” (National Border Management Committee) 2016 වර්ෂයේදී ස්ථාපිත කරනු ලැබ තිබේ.

දේශසීමා ආරක්ෂාව සම්බන්ධයෙන් ක්‍රියාත්මක වන විවිධ නියෝජිත ආයතනයන්හි වගකීම හා කාර්යභාරයන් හඳුනාගනිමින් ආදාල ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූලව විධිමත් ප්‍රත්‍යන්ත කළමනාකරණයක් මෙරට ස්ථාපිත කිරීම සඳහා ශ්‍රී ලංකා සමෝධානික ප්‍රත්‍යන්ත කළමනාකරණ ක්‍රමෝපාය හා ක්‍රියාකාරී සැලැස්මක් එම කමිටුව විසින් සකස් කරනු ලැබ තිබේ. ඕස්ට්‍රේලියානු රජය විසින් සංක්‍රමණය සඳහා වන අන්තර්ජාතික සංවිධානය ( IMO) හරහා ලබා දෙනු ලබන ප්‍රදාන ආධාර යටතේ එම ක්‍රමෝපාය සහ ක්‍රියාකාරී සැලැස්ම ක්‍රියාත්මක කිරීම පිණිස ආරක්ෂක අමාත්‍යතුමා වශයෙන් අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

02. “1990 සුවසැරිය පදනම” පනත් කෙටුම්පත නීතිගත කිරීම - (න්‍යාය පත්‍රයේ විෂය අංක 08)

ඉන්දියානු රජයේ ප්‍රදාන ආධාර යටතේ වර්තමානයේ බස්නාහිර හා දකුණු පළාත් වල ක්‍රියාත්මක කෙරෙන පුර්ව රෝහල් ප්‍රතිකාර ගිලන්ර‍ථ සේවාව , දිවයිනේ සෙසු පළාත් වෙත ව්‍යාප්ත කිරිමටත් , එම සේවාව පරිපාලනය කිරිම සඳහා 1990 සුවසැරිය පදනම ස්ථාපිත කිරිමටත් අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලබා දෙනු ලැබ තිබේ. ඒ සඳහා විධිවිධාන සලසමින් නීති කෙටුම්පත් සම්පාදක විසින් සකස් කරනු ලැබ ඇති 1990 සුවසැරිය පදනම පනත් කෙටුම්පත , රජයේ ගැසට් පත්‍රයේ පළ කිරිමටත්, ඉන් අනතුරුව එම පනත් කෙටුම්පත පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කිරිමටත් ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යතුමා වශයෙන් ගරු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමා ඉදිරිපත් කළ යෝජනා අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

03. යෝජිත තාක්ෂණික අධ්‍යාපන සංවර්ධන වැඩසටහන සඳහා අරමුදල් සලසා ගැනීම - (න්‍යාය පත්‍රයේ විෂය අංක 09)

නව තාක්ෂණයන්ට සහ නිපුණතාවයන් සඳහා වන වෙනස්වෙමින් පවතින ඉල්ලුමට සරිලන පරිදි මෙරට ශ්‍රම බලකාය සංවර්ධනය කිරීමේ අවශ්‍යතාවය රජය විසින් හඳුනාගනු ලැබ තිබේ. එබැවින් වෘත්තිය නිපුණතාවයන් ලබා දීම ඉලක්ක කරගනිමින් මෙරට අධ්‍යාපන ක්‍රමය තුළ සැලකිය යුතු වෙනස්කම් කිහිපයක් පසුගිය කාලසීමාව තුළ රජය විසින් සිදු කරනු ලැබ තිබේ. මේ යටතේ 2013 වසරේ සිට අ.පො.ස. ( උසස් පෙළ ) සඳහා තාක්ෂණවේදය විෂය ධාරාව හඳුන්වා දෙනු ලැබ ඇති අතර, එහි ප්‍රායෝගික ඉගැන්වීම් සඳහා නවීන යටිතල පහසුකම් හා උපකරණ ලබා දීමත්, ගුරුවරුන් පුහුණු කිරිමත් සිදු කළ යුතු වේ. ඒ සඳහා ඇමරිකානු ඩොලර් මිලියන 60.7 ක පිරිවැයක් යටතේ යෝජනා තාක්ෂණික අධ්‍යාපන සංවර්ධන වැඩසටහන ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබේ.

මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සඳහා ඇමරිකානු ඩොලර් මිලියන 50ක ණය මුදලක් ලබා දීමට අන්තර්ජාතික සංවර්ධනය සඳහා වන ඔපෙක් අරමුදල (OFID) එකඟ වී ඇති අතර, ඇමරිකානු ඩොලර් මිලියන 10.7ක ඉතිරි මුදල රජය විසින් දරනු ලැබේ. ඒ අනුව, එම ඇමරිකානු ඩොලර් මිලියන 50ක ණය මුදල ලබා ගැනීම සඳහා අන්තර්ජාතික සංවර්ධනය සඳහා වන ඔපෙක් අරමුදල (OFID) සමඟ ගිවිසුමකට එළඹීම පිණිස ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යතුමා වශයෙන් ගරු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

04. ප්‍රාථමික සෞඛ්‍යාරක්ෂණ පද්ධතිය සවිමත් කිරීමේ ව්‍යාපෘතිය - ( න්‍යාය පත්‍රයේ විෂය අංක 14)

නිදහස් සෞඛ්‍ය සේවය හේතුවෙන් මෙරට ළමා හා මාතෘ සෞඛ්‍ය සේවාවන්හි සහ බෝවන රෝග කළමනාකරණයෙහි සාර්ථකත්වයක් අත් කරගනු ලැබ ඇතත්, වියපත් ජනගහණය වර්ධනය වීම, වැරදි ආහාර හා සෞඛ්‍ය පුරුදු නිසා ඇතිවන බෝ නොවන රෝගවල වර්ධනය ආදි අභියෝගයන්ට තවදුරටත් මුහුණ දිය යුතුව තිබේ. බෝ නොවන රෝගවලට අමතරව ඩෙංගු, ක්ෂය රෝගය හා එච්.අයි.වී/ඒඩ්ස් වැනි බෝවන රෝග සඳහාද ප්‍රාථමික සෞඛ්‍යාරක්ෂණ මට්ටමේදී වැඩි අවධානයක් යොමු කළ යුතුව තිබේ. මේ හේතුවෙන් ශ්‍රි ලංකාව තුළ ප්‍රාථමික මට්ටමේ සෞඛ්‍යාරක්ෂණ සේවා පහසුකම් සංවර්ධනය කිරිම කාලීන අවශ්‍යතාවක් බවට පත්ව ඇති අතර, ඒ සඳහා සකස් කරන ලද සාර්ව සෞඛ්‍ය රැකවරණයක් අරමුණු කර ගත් සෞඛ්‍ය සත්කාර සැපයීමේ ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීම සඳහා අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලබා දෙනු ලැබ තිබේ.

මේ යටතේ මෙරට ප්‍රාථමික සෞඛ්‍යරක්ෂණ පද්ධතිය තුළ ඇති අඩුපාඩු හඳුනා ගනිමින්, පරිපූර්ණ ගුණාත්මක සෞඛ්‍ය සත්කාරක සේවාවක් සැපයිමට හැකි වන සේ ප්‍රාථමික සෞඛ්‍යරක්ෂණ පද්ධතිය සවිබල ගැන්වීමේ පස් අවුරුදු ව්‍යපෘතියක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කරනු ලැබ තිබේ. ලෝක බැංකුව විසින් සහනදායි කොන්දේසි යටතේ ලබා දීමට එකඟ වී ඇති ඇමරිකානු ඩොලර් මිලියන 200ක අරමුදල් භාවිතා කරමින්, සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය (වෛද්‍ය) රාජිත සේනාරත්න මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

05. අධිකරණ වෛද්‍ය විද්‍යාව සහ විෂය අධයන පිළිබඳ ආයතනයේ ක්‍රියාකාරකම් වැඩිදියුණු කිරීම - (න්‍යාය පත්‍රයේ විෂය අංක 15)

සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන අධිකරණ වෛද්‍ය විද්‍යාව සහ විෂ අධ්‍යන විද්‍යාව පිළිබඳ ආයතනය (Institute of Forensic Medicine and Toxicology- IFMT) මරණ පරීක්ෂණ පැවැත්වීමේදි සුවිශේෂ කාර්යභාරයක් ඉටු කරයි. එම ආයතනයේ ක්‍රියාකාරකම්වල ගුණාත්මකභාවය වැඩිදියුණු කිරීම අරමුණු කර ගනිමින් මෘත ශරීරාගාර ආශ්‍රිත කාර්යයන් ප්‍රමිතිගත කිරීම, කේන්ද්‍රගත කිරීම හා වෛද්‍ය නොවන කාර්යය මණ්ඩලය පුහුණු කිරීම තුළින් මෘත ශරීරාගාර මෙහෙයුම් වැඩිදියුණු කිරීම සඳහා අන්තර්ජාතික රතු කුරුස කමිටුව (ICRC) සමඟ එක්ව වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට යෝජනා වී තිබේ. ඒ සඳහා ශ්‍රි ලංකාවේ අන්තර්ජාතික රතු කුරුස කමිටුව සහ සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශය අතර ගිවිසුම් ලිපියක් අත්සන් කිරීම පිණිස සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය (වෛද්‍ය) රාජිත සේනාරත්න මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

06. රජයට අයත් මෝටර් වාහන සංඛ්‍යාව - (න්‍යාය පත්‍රයේ විෂය අංක 17)

රජයේ වත්කම් හා පිරිවැය කළමනාකරණය කිරීමේ අරමුණින් පිහිටුවන ලද කොම්ප්ට්‍රොලර් ජනරාල් කාර්යාලය විසින් නිකුත් කරන ලද 2017/01 දරන වත්කම් කළමනාකරණ චක්‍රලේඛයෙහි විධිවිධාන පරිදි එක්රැස් කරන ලද, පළාත් සභාවන්ට අයත් වාහන සම්බන්ධයෙන් මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මැතිතුමා ඉදිරිපත් කළ පහත තොරතුරු අමාත්‍ය මණ්ඩලය විසින් සැලකිල්ලට ගන්නා ලදී. තවද, පළාත් සභාවන්ට අයත් ධාවනය කළ නොහැකි තත්වයේ පවතින වාහන කඩිනමින් අපහරණය කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස අදාළ බලධාරින් වෙත උපදෙස් දීමට අමාත්‍ය මණ්ඩලය විසින් තීරණය කරන ලදී.

පළාත් සභා වාහනවල වර්තමාන තත්වය මුළු වාහන සංඛ්‍යාව
ධාවනය කළ හැකි ධාවනය කළ නොහැකි
1 මධ්‍යම පළාත් සභාව 1716 175 1891
2 නැගෙනහිර පළාත් සභාව 1579 423 2002
3 උතුරු මැද පළාත් සභාව 649 43 692
4 වයඹ පළාත් සභාව 1322 80 1402
5 උතුරු පළාත් සභාව 1719 236 1955
6 සබරගමු පළාත් සභාව 1197 71 1268
7 දකුණු පළාත් සභාව 1600 123 1723
8 ඌව පළාත් සභාව 1009 57 1066
9 බස්නාහිර පළාත් සභාව 3563 384 3947
මුළු වාහන සංඛ්‍යාව 14,354 1,592 15,946

07. ගාල්ල දිස්ත්‍රික්කයේ ගංවතුර ඇතිවීම වළක්වා එම ප්‍රදේශය සංවර්ධනය කිරීමේ යෝජිත ව්‍යාපෘතිය සඳහා ශක්‍යතා අධ්‍යයනයක් සිදු කිරීම - ( න්‍යාය පත්‍රයේ විෂය අංක 19)

ගාල්ල දිස්ත්‍රික්කයේ ගංවතුර ඇතිවීම වළක්වා එම ප්‍රදේශය සංවර්ධනය කිරීමේ අරමුණින් ක්‍රියාවට නැංවීමට යෝජිත ව්‍යාපෘතියේ පූර්ව ශක්‍යතා අධ්‍යයන කටයුතු මේ වන විට ආරම්භ කරනු ලැබ ඇති අතර, ඒ සඳහා වාරිමාර්ග හා ජල සම්පත් කළමනාකරණ අමාත්‍යාංශය සහ අනෙකුත් රජයේ ආයතන වලින් දත්ත එකතු කෙරෙමින් පවතී. අවශ්‍ය දත්ත නිල අදාළ ආයතන වෙතින් වශයෙන් ලබා ගැනීම සඳහා එම පූර්ව ශක්‍යතා අධ්‍යයනය සිදු කරනු ලබන සීමාසහිත MCC ජාත්‍යන්තර සමාගමට නිල ලිපියක් නිකුත් කිරීමටත්, මෙම ශක්‍යතා අධ්‍යයනයට සම්බන්ධ කටයුතු අදාල අමාත්‍යාංශ හා ආයතනවල සම්බන්ධිකරණය සහිතව සිදු කිරීමටත් ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

08. කර්මා‍න්ත පිහිටුවීම සදහා ප්‍රා දේශීය කර්මාන්තපුරවලින් ඉඩම් කොටස් වෙන් කර දීම -
( න්‍යාය පත්‍රයේ විෂය අංක 20)

ප්‍රා දේශීය මට්ටමින් කර්මාන්ත ප්‍රවර්ධනය කිරීම සඳහා ක්‍රියාත්මක වන ප්‍රාදේශීය කර්මාන්තපුර සංවර්ධන වැඩසටහන සඳහා ප්‍රාදේශිය කර්මාන්ත සේවා කමිටුව සහ අමාත්‍යාංශ ව්‍යාපෘති ඇගයිම් කමිටුව විසින් සුදුසු ආයෝජකයින් තෝරාගනු ලැබේ.

ඒ අනුව, කරන්දෙණිය, බටඅත, නූරාණි, පුත්තලම, ලක්ෂ උයන හා මඩකලපුව යන කර්මාන්තපුරයන්හි පවතින හිස් ඉඩම් කොටස්වල කර්මාන්ත ඇරඹිම සඳහා සුදුසු ආයෝජකයින් තෝරා ගැනිම පිණිස පුවත්පත් දැන්වීම් පළ කර යෝජනා කැඳවනු ලැබ තිබේ. එම ව්‍යාපෘති යෝජනා අතුරින් ප්‍රාදේශිය කර්මාන්ත සේවා කමිටුව සහ අමාත්‍යාංශ ව්‍යාපෘති ඇගයිමේ කමිටුව නිර්දේශ කරන ලද ව්‍යාපෘති යෝජනා 08ක් සඳහා 35 අවුරුදු බදු පදනම මත අදාල ඉඩම් කොටස් වෙන් කරදීම පිණිස කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදුයුදීන් මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.


09. උක් අභිජනන ද්‍රව්‍ය හුවමාරු කිරීම පිළිබඳ ශ්‍රී ලංකාව හා පකිස්තානය අතර ගිවිසුමක් අත්සන් කිරීම - ( න්‍යාය පත්‍රයේ විෂය අංක 24)

පාකිස්තානය කෘෂිකර්ම පර්යේෂණ ආයතන 3ක් හා ශ්‍රී ලංකාවේ උක් පර්යේෂණ ආයතනය අතර 2010 වර්ෂයේදී ඇති කර ගන්නා ලද සහයෝගීතාවයක් යටතේ නවීන අභිජනන ක්‍රම භාවිතයෙන් උක් ශාකය වැඩිදියුණු කිරීම සඳහා දෙරට අතර වාණිජ උක් ප්‍රභේද හුවමාරු කර ගැනීම හා ශ්‍රී ලංකාවේ තරුණ කෘෂි විද්‍යාඥයින් පුහුණු කිරීම සිදු කරනු ලැබ තිබේ.

එහි සාර්ථකත්වය සැලකිල්ලට ගෙන, මෙරට උක් පර්යේෂණ ආයතනය සහ පාකිස්තානයේ ෆයිසලාබාද්හි උක් පර්යේෂණ සංවර්ධන මණ්ඩලය සහ එහි උක් පර්යේෂන ආයතනය අතර උක් අභිජනන ද්‍රව්‍ය හුවමාරු කර ගැනීම සම්බන්ධයෙන් නව අවබෝධතා ගිවිසුමක් ඇති කර ගැනීමට යෝජනා වී තිබේ. මේ යටතේ නව උක් ප්‍රභේද ශ්‍රී ලංකාවට ලබා ගැනීමටත්, පාකිස්තානයේ කෘෂි විද්‍යාඥයින් සමඟ ඒකාබද්ධ පර්යේෂනවල නියැලීමටත් අවස්ථාව සැලසේ. ඒ අනුව, යෝජිත අවබෝධතා ගිවිසුමට අදාල ආයතන අතර අත්සන් තැබීම පිණිස වැවිලි කර්මාන්ත අමාත්‍ය නවීන් දිසානායක මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

10. ආදර්ශ ගම්මාන ආශ්‍රිතව ජීවනෝපාය මාර්ග සංවර්ධනය කිරීම - ( න්‍යාය පත්‍රයේ විෂය අංක 29)

නිවාස හා ඉදිකිරීම් අමාත්‍යාංශය මගින් ක්‍රියාත්මක කරනු ලබන ආදර්ශ ගම්මාන වැඩසටහන යටතේ, පදිංචියට තමාගේම නිවසක් නොමැති සහ නිවසක් තනා ගැනීමට සුදුසු ඉඩම් කොටසක් නොමැති අඩු ආදායම්ලාභී ප්‍රජාව වෙත රජයෙන් ඉඩමක් සහ නිවසක් තනා ගැනීම සදහා රුපියල් පන් ලක්ෂයක උපරිමයක් දක්වා ණය පහසුකම් සැලසීම සිදු කරනු ලැබේ. මෙම වැඩසටහන යටතේ 2015 වර්ෂයේ සිට මේ දක්වා ආදර්ශ ගම්මාන 596ක වැඩ ආරම්භ කර ඇති අතර, ඉන් ආදර්ශ ගම්මාන 54ක් මේ වන විටත් ප්‍රතිලාභීන්ගේ අයිතියට ලැබ තිබේ.

මෙම ප්‍රජාව තිරසර ලෙස නඟා සිටුවීමේදී නිවාස සැපයීමට අමතරව ඔවුන්ගේ ජීවනෝපාය ඇතුළු ආදායම් මාර්ග නඟා සිටුවීමද අත්‍යාවශ්‍ය වේ. එබැවින්, ගෙවතු වගාව, සුළු පරිමාන සත්ව පාලනය, ගෘහ කර්මාන්ත හා ස්වයං රැකියා ආදී ජීවනෝපාය මාර්ග සංවර්ධනය කිරීමේ වැඩසටහන් එම ආදර්ශ ගම්මාන තුළ ක්‍රියාත්මක කිරීම සදහා අදාල ආයතනවල නිලධාරීන්ගෙන් සමන්විත මෙහෙයුම් කමිටුවක් පත් කිරීම පිණිස නිවාස හා ඉදිකිරීම් අමාත්‍ය සජිත් ප්‍රේමදාස මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

11. සැමට සෙවන හා ග්‍රාම ශක්ති ආදර්ශ ගම්මාන සඳහා ඉඩම් වෙන් කිරීම - (න්‍යාය පත්‍රයේ විෂය අංක 31)

අඩු ආදායම්ලාභී ජන කොටස් සමාජ ආර්ථික වශයෙන් සවිබල ගැන්වීමේදී මූලික අවශ්‍යතාවක් වන ඔවුන්ගේ නිවාස ගැටළුව විසඳාළීම සදහා “ සැමට සෙවන” හා “ ග්‍රාම ශක්ති ” ආදර්ශ ගම්මාන වැඩසටහන් රජය විසින් ක්‍රියාත්මක කරනු ලැබ තිබේ. එම වැඩසටහන යටතේ 2020 වර්ෂය වන විට ආදර්ශ ගම්මාන 2500ක් ඉදි කිරීමේ ඉලක්කය සපුරා ගැනීම සඳහා එක් වර්ෂයකට ආදර්ශ ගම්මාන 650ක් පමණ ඉදි කළ යුතුවේ.

මේ සඳහා දීප ව්‍යාප්ත මට්ටමින් ඉඩම් වෙන් කිරීමේ කාර්යය කඩිනමින් සිදු කළ යුතු අතර, ඒ සඳහා නිවාසහා ඉදි කිරීම් අමාත්‍යාංශයේ ලේකම්වරයාගේ සහ ඉඩම් හා පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශයේ ලේකම්වරයාගේ සම සභාපතීත්වයෙන් යුත් අදාල අමාත්‍යාංශ හා ආයතනවල නියෝජිතයින්ගෙන් සමන්විත නිලධාරී කමිටුවක් ස්ථාපිත කිරීම පිණිස නිවාස හා ඉදිකිරීම් අමාත්‍ය සජිත් ප්‍රේමදාස මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

12. ශ්‍රී ලංකා පොලීසියේ නව ගොඩනැගිලි ඉදි කිරීමේ කාර්යයන් සඳහා උපදේශක සේවා ආයතන පත් කරගැනීම - (න්‍යාය පත්‍රයේ විෂය අංක 38)

නව ගොඩනැගිලි ඉදි කිරීම, වැඩිදියුණු කිරීම සහ අලුත්වැඩියා කිරීම සදහා ශ්‍රී ලංකා පොලීසිය වෙත වාර්ෂිකව රුපියල් මිලියන 1000කට වැඩි මුදලක් වෙන් කරනු ලැබේ. 2018 වර්ෂයේ සිට 2020 වර්ෂය දක්වා වන කාල සීමාව තුළ ශ්‍රී ලංකා පොලීසියේ නව ගොඩනැගිලි ඉදිකිරීමේ ව්‍යාපෘති සදහා උපදේශක සේවා සැපයීමේ ආයතනයක් තෝරා ගැනීම පිණිස රාජ්‍ය පරිපාලන හා කළමනාකරණ අමාත්‍ය සහ නීතිය සා සාමය පිළිබඳ අමාත්‍ය රංජිත් මද්දුමබණ්ඩාර මහතා ඉදිරිපත් කළ යෝජනාවක් සැලකිල්ලට ගනිමින්, ඉංජිනේරුමය කාර්යයන් පිළිබඳ මධ්‍යම උපදේශක කාර්යාංශය, රාජ්‍ය ඉංජිනේරු සංස්ථාව සහ ජාතික ගොඩනැගිලි දෙපාර්තමේන්තුව යන ආයතන වෙතින් එම සේවාවන් ලබා ගැනීමට අමාත්‍ය මණ්ඩලය විසින් අනුමැතිය ලබාදෙන ලදී.

13. ලංකා මිනරල් සෑන්ඩ්ස් ලිමිටඩ් සතු ඛනිජ වැලි විකිණීම - (න්‍යාය පත්‍රයේ විෂය අංක 40)

ලංකා මිනරල් සෑන්ඩ්ස් ලිමිටඩ් ආයතනය විසින් සිය ප්‍රධාන නිෂ්පාදන වන ඉල්මනයිට්, රූටයිල්, සර්කෝන් හා හයිටයි ඉල්මනයිට් ආදී ඛනිජ වැලි වර්ග ජාත්‍යන්තර තරඟකාරී ලංසු කැඳවීම මඟින් අළෙවි කිරීම සිදු කරනු ලැබේ. ඒ අනුව අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශය පරිදි, විවිධ වර්ගවල ඛනිජ වැලි මෙට්‍රික් ටොන් 17,800ක් ඒ සඳහා ඉහළම මිල ගනන් ඉදිරිපත් කර තිබූ ලංසු කරුවන් වෙත අලෙවි කිරීම පිණිස කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදුයුදීන් මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

14. බොරතෙල් බැරල් 7,000,000ක් මිලදී ගැනීම සඳහා දිගුකාලීන කොන්ත්‍රාත්තුවකට එළඹීම - න්‍යාය පත්‍රයේ විෂය අංක 43)

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සතු සපුගස්කන්ද තෙල් පිරිපහදුවේ පිරිපහදු ක්‍රියාවලිය අඛණ්ඩව පවත්වා ගැනීමට අවශ්‍ය බොරතෙල් සැපයුම සහතික කිරීම පිණිස දීර්ඝ කාලීන කොන්දේසි යටතේ බොරතෙල් මිලදී ගැනීමට තීරණය කරනු ලැබ තිබේ. ඒ අනුව, 2018 අප්‍රේල් 01 සිට මාස අටක කාලයක් සඳහා අවශ්‍ය මර්බන් බොරතෙල් (Murban Crude Oil) බැරල් 7,000,000ක් මිලදී ගැනීම සදහා වන කොන්ත්‍රාත්තුව, අමාත්‍ය මණ්ඩලය විසින් පත්කරන ලද ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශය පරිදි බොරතෙල් බැරලයක් ඇමරිකානු ඩොලර් 1.69ක් බැගින් වන මුදලකට M/s, Ss Wiss Singapore Overseas Enterprises pvt. Ltd වෙත පිරිනැමීම පිණිස ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍ය අර්ජුන රණතුංග මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

15. බියගම 220/33kV ග්‍රිඩ් උපපොළ ඉදි කිරීම සහ වැඩිදියුණු කිරීම - (න්‍යාය පත්‍රයේ විෂය අංක 44)

හරිත බල ශක්ති සංවර්ධන හා බලශක්ති කාර්යක්ෂමතා ඉහළ නැංවීමේ ආයෝජන වැඩසටහන යටතේ ක්‍රියාත්මක කෙරෙන , බියගම 220/33Kv ග්‍රිඩ් උපපොළ ඉදි කිරීම සහ වැඩිදියුණු කිරීම සඳහා වන කොන්ත්‍රාත්තුව, අමාත්‍ය මණ්ඩලය විසින් පත්කරන ලද ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශය පරිදි, රුපියල් මිලියන 1,434.11ක මුදලකට Ms.ABB India Limited වෙත ප්‍රදානය කිරීම පිණිස විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය රංජිත් සිඹලාපිටිය මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.


16. රජයේ කර්මාන්තශාලා දෙපාර්තමේන්තුවේ කාර්යසාධනය වැඩිදියුණු කිරීම සදහා අවශ්‍ය යන්ත්‍රෝපකරණ මිල දී ගැනීම - (න්‍යාය පත්‍රයේ විෂය අංක 45)

රාජ්‍ය සහ පෞද්ගලික අංශ සඳහා යාන්ත්‍රික ඉංජිනේරු සේවා සපයනු ලබන පුරෝගාමී ආයතනයක් වන රජයේ කර්මාන්තශාලා දෙපාර්තමේන්තුවේ බර වැද්දුම් හා යන්ත්‍ර වැඩහල මඟින් විශේෂයෙන්ම වාරි මාර්ග අංශයේ විශාල ව්‍යුහයන් සඳහා අවශ්‍ය නිෂ්පාදන සඳහා සේවාවන් සපයනු ලැබේ. මෙරට වාරි කර්මාන්තවල දියුණුවත් සමඟ ජල කළමනාකරණ සොරොව් දොරටු සෑදීම, සවිකිරීම හා අළුත්වැඩියා කිරීම සදහා වන ඉහළ යමින් පවතින ඉල්ලුමට සරිලන පරිදි එම වැඩහලෙහි නිෂ්පාදන ධාරිතාව වැඩිදියුණු කළ යුතු බව හදුනාගනු ලැබ තිබේ.
ඒ අනුව, රජයේ කර්මාන්තශාලා දෙපාර්තමේන්තුවේ බර වැද්දුම් අංශය සදහා අවශ්‍ය ගාන පට්ටලයක් ( Plano Miller) හා පරිගණක මගින් ක්‍රියාකරවිය හැකි, ( Computer Numerical Control - CNC) යන්ත්‍රයක් මිලදී ගැනීම පිණිස නිවාස හා ඉදිකිරීම් අමාත්‍ය සජිත් ප්‍රේමදාස මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.


17. පිරිපහදු කරන ලද ඛනිජ තෙල් නිෂ්පාදන මිලදී ගැනීම සඳහා දිගුකාලීන කොන්ත්‍රාත්තු තුනකට (03) එළඹීම - (න්‍යාය පත්‍ර යේ විෂය අංක 55)

2018 මාර්තු මස 15 දින සිට ඉදිරි මාස අටක (08) කාලසීමාවක් සඳහා අවශ්‍ය ඩීසල් බැරල් 4, 650, 000 ක් ද, ගුවන්යානා ඉන්‍ධන බැරල් 2.080,000ක්ද, පෙට්‍රල් බැරල් 1, 275,000ක්ද මිලදී ගැනීම සඳහා අමාත්‍ය අමාත්‍ය මණ්ඩලය විසින් පත්කරන ලද ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශය පරිදි, අදාල සැපයුම් කරුවන් සමඟ දිගු කාලීන කොන්ත්‍රාත් තුනකට (03) එළඹීම පිණිස ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍ය අර්ජුන රණතුංග මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.