2018.05.22 වැනි දින පැවැත්වුණු අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී එළඹුණු තිරණ පහත සඳහන් වේ.

ශ්‍රී ලංකාව කොරල් පර පිළිබඳ ජාත්‍යන්තර වැඩසටහනෙහි සාමාජිකත්වය ලබාගැනීම

ජෛව විවිධත්වයෙන් අනූන පරිසර පද්ධතියක් වන නිවර්තන කොරල් පර හිමි රටවල් අතුරින් ශ්‍රී ලංකාව සුවිශේෂී වේ. දෘඩ කොරල් විශේෂ 193කට අධික සංඛ්‍යාවක් ශ්‍රී ලංකාව වටා ඇති මුහුදු තීරයෙන් වාර්තා වන අතර, එම කොරල් පර ආශ්‍රිතව 900කට අධික වෙරළාසන්න මත්ස්‍ය විශේෂ විවිධත්වයක් පවතින බව හඳුනාගනු ලැබ තිබේ. ධීවර, සංචාරක හා විසිතුරු මත්ස්‍ය කර්මාන්ත සඳහා ආර්ථික දායකත්වයක් මෙන්ම, මුහුදු ඛාදනය අවම කිරීම, දිය සුළි හමුවේ වෙරළ තීරය ආරක්ෂා කිරීම ආදි පාරිසරික දායකත්වයන්ද කොරල් පර මඟින් හිමි වේ. වර්තමානය වන විට මානව ක්‍රියාකාරම් මෙන්ම, සුළි කුණාටු, සුනාමි වැනි ස්වාභාවික තත්ත්වයන් හේතුවෙන්ද කොරල් පර හානියකට ලක්වීමේ දැඩි අවදානමක් උද්ගත වී තිබේ. කොරල් සම්පත ආරක්ෂා කරගැනීමේ අරමුණින් කටයුතු කරන ජාත්‍යන්තර සංවිධානයක් වන කොරල් පර පිළිබඳ ජාත්‍යන්තර වැඩසටහනෙහි (International Coral Reef Initiative) සාමාජිකත්වය ලබාගැනීම මඟින් කොරල් පර සංරක්ෂණය සඳහා ජාත්‍යන්තර හවුකාරිත්වයන්හි ප්‍රතිලාභ තවදුරටත් ලබා ගැනීමට අවධානය යොමු වී තිබේ. ඒ අනුව, ජාත්‍යන්තර කොරල් පර වැඩසටහනෙහි සාමාජිකත්වය ශ්‍රී ලංකාව විසින් ලබාගැනීම පිණිස මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යතුමා වශයෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.


ශ්‍රී ලංකාව සහ රුවන්ඩාව අතර ආරක්ෂක ක්ෂේත්‍රයේ සහයෝගිතාව පිළිබඳ අවබෝධතා ගිවිසුමක් ඇති කරගැනීම

හමුදා සහයෝගිතාව වර්ධනය කිරීම, ඒ සඳහා පහසුකම් සැලසීම හා දිරිමත් කිරීම මෙන්ම දෙපාර්ශ්වය අතර ආරක්ෂක ක්ෂේත්‍රයේ සහයෝගිතාව වර්ධනය කරමින් අදාළ ශක්‍යතා වර්ධනය සඳහා ව්‍යුහයක් සැකසීම අරමුණු කරගනිමින්, ආරක්ෂාව සහ සුරක්ෂිතභාවය සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව සහ රුවන්ඩාව අතර අවබෝධතා ගිවිසුමක් ඇති කරගැනීම පිණිස ආරක්ෂක අමාත්‍යතුමා වශයෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.


රාජ්‍ය අංශයේ ගොඩනැඟිලි ඉදි කිරීම සඳහා රාජ්‍ය-පෞද්ගලික හවුල්කාරිත්ව ක්‍රමය යට‍ෙත් පෞද්ගලික ආයෝජන ලබාගැනීම

පාසල්, විශ්වවිද්‍යාල, රෝහල් සහ රජයේ කාර්යාල ආදී රජයට අයත් ගොඩනැඟිලි ඉදි කිරීම සඳහා වාර්ෂික අයවැය මඟින් වැඩි මුදල් ප්‍රමාණයක් වෙන් කිරීමට රජයට සිදු වන අතර, එම ගොඩනැඟිලි ඉදි කිරීමේ සහ නඩත්තු කිරීමේ කාර්යයන් වෙනුවෙන්ද කාලය සහ මුදල් වෙන් කිරීමට සිදු වේ. එබැවින් රජයේ අරමුදල් අනෙකුත් ප්‍රමුඛතා කාර්යයන් සඳහා වැය කළ හැකි වන පරිදි රජයේ ගොඩනැඟිලි ඉදි කිරීම සඳහා පෞද්ගලික අංශයේ ආයෝජන ලබාගැනීමේ හැකියාව සොයා බැලීම කෙරෙහි අවධානය යොමු වී තිබේ. ඒ අනුව, සෞඛ්‍ය, අධ්‍යාපන, උසස් අධ්‍යාපන, නිපුණතා සංවර්ධන හා වෘත්තීය පුහුණු යන ක්ෂේත්‍රයන්හි රජයේ ගොඩනැඟිලි ඉදි කිරීම සඳහා රාජ්‍ය - පෞද්ගලික හවුල්කාරිත්ව ක්‍රමවේදය යොදාගැනීමට යෝජනා වී තිබේ. මෙහිදී අදාළ රජයේ ආයතනය වෙනුවෙන් රජයේ ඉඩමක පෞද්ගලික ආයෝජකයා විසින් ගොඩනැඟිල්ල ඉදි කෙරෙන අතර, වසර 15ක 20ක පමණ සහන කාලයකින් අනතුරුව, එම ගොඩනැඟිල්ල රජයට පවරාගනු ලැබේ. ඒ දක්වා කාලය තුළ ගොඩනැඟිල්ල නඩත්තු කිරීමේ කාර්යය රාජ්‍ය - පෞද්ගලික හවුල්කාරිත්වය යටතේ සිදු කෙරෙන අතර, පෞද්ගලික ආයෝජකයා වෙත ගොඩනැඟිල්ල වෙනුවෙන් සහතික වූ වාරික ගෙවීම් රජය විසින් සිදු කරනු ලැබේ. ඒ අනුව, මෙම ක්‍රමවේදය යටතේ ඉහත සඳහන් කරන ලද ක්ෂේත්‍රයන්ට අදාළව රජයට අවශ්‍ය ගොඩනැඟිලි ඉදි කිරීම සඳහා පෞද්ගලික ආයෝජකයන් වෙතින් යෝජනා කැඳවීමට අවශ්‍ය ඉදිරි කටයුතු සිදු කිරීම පිණිස ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යතුමා වශයෙන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.


'සිසු සැරිය', 'ගැමි සැරිය' හා 'නිසි සැරිය' මගී බස්රථ සේවා සඳහා රජය විසින් ලබා දෙනු ලබන සහනාධාර මුදල වැඩි කිරීම

පාසල් ළමයින් සඳහා සහ විශ්වවිද්‍යාල, කාර්මික ආයතනවල හා ඒ හා සමාන වෙනත් ආයතනවල ශිෂ්‍යයන් සඳහා අනුග්‍රාහක ගාස්තු මත බස්රථ මගී ප්‍රවාහන සේවා සැලසීමත්, ලාභ නොලබන ග්‍රාමීය මාර්ගවල ජීවත් වන ජනතාවට බස් රථ සේවා සැලසීමටත්, පිළිවෙළින් 'සිසු සැරිය' හා 'ගැමි සැරිය' ව්‍යාපෘති රජය විසින් හඳුන්වා දෙනු ලැබ තිබේ. රාත්‍රී අවසන් ගමන් වාරයේ සහ අලුයම ප්‍රථම ගමන් වාරයේ විශ්වාසනීය බව තහවුරු කිරීම සඳහා 'නිසි සැරිය' ව්‍යාපෘතියද ක්‍රියාත්මක කරනු ලැබේ. මෙම මගී බස්රථ සේවාවන් ක්‍රියාත්මක කිරීම තවදුරටත් දිරි ගැන්වීම අවශ්‍ය වන අතර, ඒ අනුව, කාලීන පිරිවැය සැකිල්ලට ගෙන, එම මගී බස්රථ සේවාවන් සඳහා රජය විසින් ලබා දෙනු ලබන සහනාධාර පිරිවැය ඉහළ නැංවීම පිණිස ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.


තෝරාගත් කර්මාන්ත සඳහා බන්ධිත ගුදම් පහසුකම් ස්ථාපනය කිරීම

2018 අය වැය අයවැය යෝජනා අනුව, ඖෂධ නිෂ්පාදන කර්මාන්තය, කිරි ආශ්‍රිත නිෂ්පාදන කර්මාන්තය, ඝන අපද්‍රව්‍ය කළමනාකරණය හා පුනර්ජනනීය බලශක්තිය නිපදවීමේ ව්‍යාපාර යනාදිය සඳහා ප්‍රාග්ධන භාණ්ඩ ආනයනයේදී බදු සහන ලබා දීම හා රේගු නිශ්කාෂණයේදී ඇතිවන ප්‍රමාදයන් වළක්වා ගැනීම සඳහා පහසුකම් සැලසීම යෝජනා කරනු ලැබ තිබේ. එකී කර්මාන්තයන් ස්ථාපිත කිරීම හෝ පුළුල් කිරීම සඳහා වන ප්‍රාග්ධන භාණ්ඩ ආනයනය සඳහා කටයුතු කරන දේශීය ආයෝජකයින් වෙත සහන සැලසීම මඟින් එම ක්ෂේත්‍ර සංවර්ධනය කිරීම මෙමඟින් අපේක්ෂා කෙ‍රේ. ඒ අනුව, ඖෂධ නිෂ්පාදන, කිරි ආශ්‍රිත නිෂ්පාදන, පුනර්ජනනීය බලශක්තිය නිපදවීම හා ඝන අපද්‍රව්‍ය කළමනාකරණය යන කර්මාන්තවල නව ආයෝජන හා පුළුල් කිරීම සඳහා පහසුකම් සැලසීම වෙනුවෙන් බන්දිත ගුදම් පහසුකම් ක්‍රමයක් හඳුන්වා දීම පිණිස මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.


ආසියානු පුවත්පත් මණ්ඩල සහයෝගිතා සම්මන්ත්‍රණය (Cooperative Conference on Asia Press Councils) ශ්‍රී ලංකාවේදී පැවැත්වීම

රට තුළ යහපත් ජනමාධ්‍ය සංස්කෘතියක් ගොඩනැඟීමේ අරමුණින් විවිධ දැනුම්වත් කිරීම්, වැඩමුළු හා සම්මන්ත්‍රණ පැවැත්වීමත්, ජනමාධ්‍ය නිදහස හා මහජන අයිතිවාසිකම් ආරක්ෂා කිරීම සඳහා පියවර ගැනීමටත් ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩලය විසින් කටයුතු කරනු ලැබේ. ආසියානු කලාපයේ රටවල්වල පුවත්පත් මණ්ඩල හා ජනමාධ්‍ය මණ්ඩල අතර සහයෝගිතාව වර්ධනය, ගෝලීය ප්‍රවණතා කෙරෙහි අවබෝධය ඇති කරගැනීම, මෙරට වෘත්තීය ජනමාධ්‍යවේදීන් හා ආධුනික ජනමාධ්‍යවේදීන් පුහුණු කිරීම සඳහා ඉඩප්‍රස්තාව සලසා ගැනීම ආදි ප්‍රතිලාභ සැලකිල්ලට ගෙන, ආසියානු පුවත්පත් මණ්ඩල සහයෝගිතා සම්මන්ත්‍රණය ශ්‍රී ලංකාවේදී පැවැත්වීම සඳහා සත්කාරකත්වය දැරීමට යෝජනා වී තිබේ. ඒ අනුව, එම සම්මන්ත්‍රණය 2018 ඔක්තෝබර් මාසයේදී ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩලයේ සංවිධායකත්වයෙන් ශ්‍රී ලංකාවේදී පැවැත්වීම සඳහා සත්කාරකත්වය දැරීම පිණිස මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.


මෙරට රැඳවුම් ස්ථාන නිරීක්ෂණය සම්බන්ධයෙන් ජාත්‍යන්තර රතුකුරුස සංගමය (ICRC) සමඟ නව ගිවිසුමකට එළඹීම

ජාත්‍යන්තර රතුකුරුස සංගමය 1989 වර්ෂයේ පටන් ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මකව පවතින අතර, අදාළ සියලුම රජයේ ආයතන සමඟ වෘත්තීය මට්ටමින් විශිෂ්ට සබඳතා පවත්වා ගෙන යනු ලැබේ. එවකට ආරක්ෂක අමාත්‍යාංශයේ නියෝජනය යටතේ අත්සන් තබන ලද අවබෝධතා ගිවිසුමක් අනුව ශ්‍රී ලංකාවේ බන්ධනාගාරවල හා රැඳවුම් ස්ථානවල රඳවා සිටින පුද්ගලයින් බැලීමට යාමට එම සංගමය වෙත අවස්ථාව සලසා දී තිබේ. සියලුම රැඳවූවන්ට මානුෂික ආකාරයෙන් සලකනු ලබන බව තහවුරු කිරීම එම සංගමය විසින් සිදු කරනු ලබන අතර, අවධානය යොමු කළ යුතු කරුණු සම්බන්ධයෙන් අදාළ බලධාරින් දැනුම්වත් කරනු ලැබේ. යුද ගැටුම් අවසාන වීමෙන් පසු ඇති වී තිබෙන වාතාවරණය තුළ, ශ්‍රී ලංකාවේ පවත්වාගෙන යනු ලබන රැඳවුම් ස්ථාන නිරීක්ෂණ කටයුතු හා සංචාර සම්බන්ධයෙන් නව ගිවිසුමකට එළඹීමට එම සංගමය විසින් යෝජනා කරනු ලැ‍බ තිබේ. ශ්‍රී ලංකාවේ රැඳවුම් ස්ථානවල තත්ත්වය හා රැඳවූවන්ට සලකනු ලබන ආකාරය වැඩිදියුණු කිරීම සඳහා සහ ශ්‍රී ලංකාවේ බන්ධනාගාර පද්ධතිය ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූලව සකස් කිරීමේදී ජාත්‍යන්තර රතුකුරුස සංගමය සතු පුළුල් ජාත්‍යන්තර අත්දැකීම් සහ විශේෂඥභාවය ශ්‍රී ලංකාවට ලබාගැනීම ඉතා වැදගත් වේ. ඒ අනුව, ස්වකීය නිදහස අහිමි වූ පුද්ගලයන්ට යහපත උදා කිරීම සඳහා වූ සහයෝගිතාව සහ මානුෂීය ක්‍රියාකාරකම් පිළිබඳව ජාත්‍යන්තර රතු කුරුස සංගමය (ICRC) සමඟ වන යෝජිත ගිවිසුමට ශ්‍රී ලංකා රජය වෙනුවෙන් සිය අමාත්‍යාංශය විසින් අත්සන් තැබීම පිණිස විදේශ කට‍යුතු අමාත්‍ය තිලක් මාරපන මහතා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.


නාවිකයන්ට නිකුත් කරනු ලබන සහතික පිළිගැනීම (Certificate of Recognition) සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව හා ඕස්ට්‍රේලියාව අතර අවබෝධතා ගිවිසුමක් ඇති කරගැනීම

ප්‍රවීණතා සහතිකයක් සහිත නාවිකයකුට විදේශීය ධජයක් යටතේ ලියාපදිංචි කර ඇති නෞකාවක සේවය කිරීම සඳහා එම ප්‍රවීණතා සහතිකයට (Certificate of Competency) අමතරව අදාළ නෞකාව ලියාපදිංචි කර ඇති රාජ්‍යය විසින් නිකුත් කරනු ලබන ඊට සමාන තත්ත්වයේ සහතිකයක් (Certificate of Recognition) ලබාගැනීම අවශ්‍ය වේ. එවැනි සමාන තත්ත්වයේ සහතික නිකුත් කිරීම සඳහා අදාළ රාජ්‍යයන් අතර සම්මුතියක් හෝ අවබෝධතා ගිවිසුමක් ඇති කර ගෙන තිබිය යුතු අතර, ශ්‍රී ලංකාව විසින් දැනටමත් විදෙස් රටවල් 32ක් සමඟ එවැනි ගිවිසුම් ඇති කර ගෙන ඇත. මෙවැනි ගිවිසුම්වලට එළඹීම මඟින් ප්‍රවීණතා සහතික ලත් ශ්‍රී ලාංකික නාවිකයින් විශාල ප්‍රමාණයකට විදේශ නෞකාවල සේවය කිරීමේ රැකියා අවස්ථා විවර වේ. මෙම සහතිකපත් නිකුත් කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව සමඟ ගිවිසුමකට එළඹීමට ඕස්ට්‍රේලියානු රජය කැමැත්ත පළ කර ඇති අතර, ඒ අනුව, ඕස්ට්‍රේලියානු රජය සමඟ සමුද්‍රීය ප්‍රවීණතා සහතිකපත් පිළිගැනීම සම්බන්ධයෙන් වන අවබෝධතා ගිවිසුම්වලට එළඹීම පිණිස වරාය හා නාවික කටයුතු අමාත්‍ය මහින්ද සමරසිංහ මහතා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.


2018 යල කන්නයේ සිට ජෛව විද්‍යාත්මක (කාබනික) ක්‍රම භාවිතයෙන් වී වගා කරනු ලබන ගොවීන් සඳහා පොහොර සහනාධාර ක්‍රමයක් හඳුන්වාදීම

2016 යල කන්නයේ සිට ක්‍රියාත්මක කරන ලද පොහොර සහනාධාරය මුදලින් ගෙවීමේ වැඩපිළිවෙළ යටතේ ගොවීන්ට සිය වී වගාවන් සඳහා රසායනික පොහොර හෝ කාබනික පොහොර යෙදීම පිණිස අදාළ සහනාධාර මුදල යෙදවීමේ හැකියාව තිබුණි. එහෙත් 2018 යල කන්නයේ සිට නැවතත් රසායනික පොහොර සහන මිලකට ගොවීන් වෙත ලබා දීම මඟින් එම වැඩපිළිවෙළ ක්‍රියාත්මක කෙරෙන අතර, ඒ යටතේ කාබනික පොහොර යොදා ගොවිතැන් කරන ගොවීන් වෙත සහනයක් අත් වී නොමැත. එබැවින්, කාබනික ගොවිතැන දිරිමත් කිරීමේ වැදගත්කම සැලකිල්ලට ගෙන, එක් එක් කන්නයේදී කාබනික පොහොර භාවිත කර වගා කරනු ලබන ගොවීන් හා එලෙස වගා කෙරෙන භූමි ප්‍රමාණයන් ග්‍රාම නිලධාරි කොට්ඨාස මට්ටමින් හඳුනාගෙන, අදාළ මූල්‍ය සහනාධාරය එම ගොවීන්ගේ බැංකු ගිණුම්වලට බැර කිරීමට සහ එය සෑම කන්නයකදීම රසායනික පොහොර මිල වෙනස් වීම මත පදනම්ව ගැළපීමට කටයුතු කිරීම පිණිස කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.


ජනාධිපති කාර්යය සාධක බලකාය යටතේ ක්‍රියාත්මක කෙරෙන වැඩසටහන් පහක් (5) 'ආදර්ශ ගම්මාන' නිවාස වැඩසටහන තුළින් සමාජගත කිරීම

නිවාස හා ඉදිකිරීම් අමාත්‍යාංශය විසින් ජාතික නිවාස සංවර්ධන අධිකාරිය හරහා 2020 වසර වන විට ආදර්ශ ගම්මාන 2,500ක් අලුතින් ආරම්භ කිරීම සඳහා වන ජාතික වැඩසටහන ක්‍රියාත්මක කරනු ලැබ ඇති අතර, මේ වන විට ආදර්ශ ගම්මාන 700ක වැඩ ආරම්භ කර තිබේ. ඉන් ගම්මාන 60ක් දැනටමත් ඉදි කර ප්‍රජා අයිතියට පත් කර ඇත. ජනාධිපති කාර්ය සාධක බලකාය යටතේ ජාතික මට්ටමින් ක්‍රියාත්මක වන 'වකුගඩු නිවාරණ ජාතික වැඩසටහන','පරිසර සංරක්ෂණ ජාතික වැඩසටහන', 'ආහාර නිෂ්පාදන ජාතික වැඩසටහන', 'මත්ද්‍රව්‍ය නිවාරණ ජාතික වැඩසටහන' මෙන්ම 'ළමයින් සුරකිමු ජාතික වැඩසටහන'ද මෙම ආදර්ශ ගම්මාන මට්ටමින් දියත් කිරීමෙන් එම වැඩසටහන් මඟින් අපේක්ෂිත අරමුණු කාර්යක්ෂමව ළඟ කරගත හැකි වනු ඇති බව හඳුනාගනු ලැබ තිබේ. ඒ අනුව එකී වැඩසටහන් ආදර්ශ ගම්මාන නිවාස වැඩසටහන් තුළින් ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය සම්පත් හා අදාළ ආයතන සම්බන්ධීකරණය කිරීම පිණිස ජාතික මෙහෙයුම් කමිටුවක් ස්ථාපිත කිරීමටත්, එහි ක්‍රියාමාර්ගවල ප්‍රගතිය සෑම මාස 06කට වරක් අමාත්‍ය මණ්ඩලය වෙත වාර්තා කිරීමටත් නිවාස හා ඉදිකිරීම් අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා ඉදිරිපත් කළ යෝජනා අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.


උතුරු සහ නැ‍ඟෙනහිර පළාත්වල නැවත පදිංචි කරන ලද අඩු ආදායම්ලාභී පවුල් සඳහා ස්ථිර නිවාස 40,000ක් ඉදි කිරීම

ශ්‍රී ලංකාවේ උතුරු සහ නැ‍ඟෙනහිර පළාත්වල පැවති ගැටුම් හේතුවෙන් බලපෑමට ලක්ව අවතැන්ව සිට නැවත පදිංචි කරවන ලද අඩු ආදායම්ලාභී පවුල්වල ජනතාවගේ නිවාස ගැටලුවට ස්ථිර විසඳුමක් ලබා දීමේදී රජයේ මැදිහත්වීම යටතේ මහා පරිමාණ නිවාස ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීම අවශ්‍ය වේ. ඒ සඳහා පෙරසවි තාක්ෂණය යටතේ නිවාස 65,000ක් ඉදි කිරීමට මීට පෙර ඉදිරිපත් කෙරුණු යෝජනාව ඇතැම් පාර්ශ්වයන්ගේ විරෝධය මත ක්‍රියාත්මක නොකරන ලදී. මේ සඳහා විකල්පයක් වශයෙන් ජාතික ගොඩනැඟිලි පර්යේෂණ සංවිධානය විසින් නිර්දේශ කරනු ලැබ ඇති කොන්ක්‍රීට් පැනල තාක්ෂණය භාවිත කරමින් ඉදි කරනු ලබන නිවාස සඳහා එම ප්‍රදේශවල ජනතාවගේ මෙන්ම දේශපාලන නියෝජිතයින්ගේද පිළිගැනීම හිමි වී තිබේ. ඒ අනුව, උතුරු නැ‍ඟෙනහිර ප්‍රදේශවල නැවත පදිංචි කරන ලද අඩු ආදායම්ලාභී පවුල් සඳහා කොන්ක්‍රීට් පැනල තාක්ෂණය භාවිත කරමින්, වර්ග අඩි 650කින් යුත් ස්ථිර නිවාස 40,000ක් වසර දෙකක කාලසීමාවක් තුළ ඉදි කිරීම සඳහා නැවත පදිංචි කිරීම, පුනරුත්ථාපන, උතුරු සංවර්ධන සහ හින්දු ආගමික කටයුතු අමාත්‍ය ඩී.එම්.ස්වාමිනාදන් මහතා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.


උතුරු සහ නැ‍ඟෙනහිර පළාත්වල නැවත පදිංචි කරන ලද අඩු ආදායම්ලාභී පවුල් සඳහා ස්ථිර නිවාස 40,000ක් ඉදි කිරීම

ශ්‍රී ලංකාවේ උතුරු සහ නැ‍ඟෙනහිර පළාත්වල පැවති ගැටුම් හේතුවෙන් බලපෑමට ලක්ව අවතැන්ව සිට නැවත පදිංචි කරවන ලද අඩු ආදායම්ලාභී පවුල්වල ජනතාවගේ නිවාස ගැටලුවට ස්ථිර විසඳුමක් ලබා දීමේදී රජයේ මැදිහත්වීම යටතේ මහා පරිමාණ නිවාස ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීම අවශ්‍ය වේ. ඒ සඳහා පෙරසවි තාක්ෂණය යටතේ නිවාස 65,000ක් ඉදි කිරීමට මීට පෙර ඉදිරිපත් කෙරුණු යෝජනාව ඇතැම් පාර්ශ්වයන්ගේ විරෝධය මත ක්‍රියාත්මක නොකරන ලදී. මේ සඳහා විකල්පයක් වශයෙන් ජාතික ගොඩනැඟිලි පර්යේෂණ සංවිධානය විසින් නිර්දේශ කරනු ලැබ ඇති කොන්ක්‍රීට් පැනල තාක්ෂණය භාවිත කරමින් ඉදි කරනු ලබන නිවාස සඳහා එම ප්‍රදේශවල ජනතාවගේ මෙන්ම දේශපාලන නියෝජිතයින්ගේද පිළිගැනීම හිමි වී තිබේ. ඒ අනුව, උතුරු නැ‍ඟෙනහිර ප්‍රදේශවල නැවත පදිංචි කරන ලද අඩු ආදායම්ලාභී පවුල් සඳහා කොන්ක්‍රීට් පැනල තාක්ෂණය භාවිත කරමින්, වර්ග අඩි 650කින් යුත් ස්ථිර නිවාස 40,000ක් වසර දෙකක කාලසීමාවක් තුළ ඉදි කිරීම සඳහා නැවත පදිංචි කිරීම, පුනරුත්ථාපන, උතුරු සංවර්ධන සහ හින්දු ආගමික කටයුතු අමාත්‍ය ඩී.එම්.ස්වාමිනාදන් මහතා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.


මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ඊ-මෝටරිං ව්‍යාපෘතිය

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ඊ-මෝටරිං ව්‍යාපෘතිය සඳහා තොරතුරු තාක්ෂණ විසඳුමක් සකස් කර, ක්‍රියාත්මක කර පවරා දීමේ කොන්ත්‍රාත්තුව, අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශය පරිදි, Face Technologies & Metropolitan බද්ධ ව්‍යාපාරය වෙත පිරිනැමීම පිණිස ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.


පාසල් දරුවන් උදෙසා පිරිනමනු ලබන 'සුරක්ෂා' සෞඛ්‍ය රක්ෂණ යෝජනා ක්‍රමය 2018/2019 වසර තුළ ක්‍රියාත්මක කිරීම

2017 වසර සඳහා වන අයවැය යෝජනා අනුව, ක්‍රියාත්මක කරනු ලැබ ඇති 'සුරක්ෂා' සෞඛ්‍ය රක්ෂණ වැඩසටහන යටතේ, වයස අවුරුදු 5 සිට අවුරුදු 19 දක්වා වයස් කාණ්ඩයට අයත් පාසල් යන සියලුම දරුවන් සඳහා රක්ෂණ යෝජනා ක්‍රමයක් ඇති කරනු ලැබ ඇති අතර, ඒ හරහා සෑම දරුවෙකුටම රුපියල් ලක්ෂ දෙකක් වටිනා රක්ෂණාවරණයක් ලබා දෙනු ලැබ තිබේ. ඒ යටතේ, රෝහල්ගත කිරීමක් සඳහා රුපියල් ලක්ෂයක් සහ බාහිර රෝගී සේවා සඳහා රුපියල් 10,000/- ක් දක්වා ලබා දෙනු ලැබේ. ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව මඟින් වර්තමානයේ මෙම රක්ෂණාවරණ ක්‍රමය ක්‍රියාත්මක වේ. 2018/2019 වර්ෂය සඳහාද මෙම වැඩසටහන ක්‍රියාත්මක කිරීම සඳහා අයවැය ප්‍රතිපාදන වෙන් කරනු ලැබ තිබේ. ඒ අනුව, මෙම රක්ෂණ යෝජනා ක්‍රමය 2018/2019 වර්ෂය තුළ ක්‍රියාත්මක කිරීම සඳහා සුදුසු රක්ෂණ ආයතනයක් තෝරාගැනීම සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා ඉදිරිපත් කළ යෝජනාවක් සැලකිල්ලට ගනිමින්, ඒ සඳහා රාජ්‍ය රක්ෂණ ආයතන වෙතින් යෝජනා කැඳවීමටත්, පාසල් සිසුන්ට වැඩි ප්‍රතිලාභ ලබා දෙනු ලබන රක්ෂණ ආයතනයක් තෝරාගැනීමටත් අවශ්‍ය ඉදිරි පියවර ගැනීම පිණිස අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.


ඉන්ධන මිල වැඩිවීමත් සමඟ ඊට සමගාමීව බස් ගාස්තු සංශෝධනය කිරීම

2018 05 11 දින සිට සිදු කරන ලද ඉන්ධන මිල වැඩි වීමට සමගාමීව බස් ගාස්තු සංශෝධනය කරන ලෙස බස් සංගම් විසින් ඉදිරිපත් කරන ලද ඉල්ලීම් සැලකිල්ලට ගෙන, අවම බස් ගාස්තුව රුපියල් 10/-ක් වන පරිදි, අනෙකුත් බස් ගාස්තු 6.56%කින් වැඩි කිරීම පිණිස 2018 05 15 දින අමාත්‍ය මණ්ඩලය විසින් අනුමැතිය දෙන ලදී. එහෙත් එකී බස් ගාස්තු වැඩිවීම ප්‍රමාණවත් නොවන බවට බස් සංගම් විසින් නියෝජනයන් ඉදිරිපත් කරන ලදී. වාර්ෂික බස් ගාස්තු සංශෝධනය සඳහා පදනම් කරගනු ලබන සූත්‍රයේ ඇතැම් විචල්‍ය අගයන් වර්තමානයට ගැළපෙන පරිදි සංශෝධනය විය යුතු බව රජය විසින්ද පිළිගනු ලැබ තිබේ. මෙම කරුණු සැලකිල්ලට ගෙන, ප්‍රවාහන හා සිවිල් ගුවන්සේවා නියෝජ්‍ය ඇමතිතුමා සහ මුදල් හා ජනමාධ්‍ය නියෝජ්‍ය ඇමතිතුමා විසින් බස් සංගම් සමඟ සාකච්ඡා පවත්වනු ලැබ තිබේ. එහිදී ඇති කරගත් එකඟතාව අනුව ප්‍රවාහන හා සිවිල් ගුවන්සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා ඉදිරිපත් කළ යෝජනාව සැලකිල්ලට ගනිමින්, ඉදිරි වසර 02ක කාලසීමාව තුළ නැවත බස්ගාස්තු සංශෝධනය කිරීමක් සිදු නොකිරීමේ කොන්දේසියට යටත්ව, 2018 මැයි මස 22 දින සිට ක්‍රියාත්මක වන පරිදි, රුපියල් 10/-ක් වන අවම බස් ගාස්තුව රුපියල් 12/-ක් දක්වා වැඩි කිරීමටත්, අනෙකුත් බස් ගාස්තු 12.5%කින් වැඩි කිරීමටත් අමාත්‍ය මණ්ඩලය විසින් අනුමැතිය ලබා දෙන ලදී.