2018-08-28 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණ



01. ගල්කිස්සේ සිට අඟුලාන දක්වා වෙරළ තීරය සහ ඛාදනයට ලක් වී ඇති කළු ගං මුව දොරෙහි වැලි වැටිය ස්ථායි කිරීම

- දකුණු කොළඹ වැලි පෝෂණ ව්‍යාපෘතිය යටතේ ගල්කිස්සේ සිට අඟුලාන දක්වා වෙරළ තීරය ස්ථායි කිරීම සඳහා අමාත්‍ය මණ්ඩලය විසින් මීට පෙර ප්‍රතිපත්තිමය අනුමැතිය ලබා දී තිබිණි. ඒ අනුව, යාන්ත්‍රික වැලි පෝෂණ විධික්‍රමය භාවිතා කරමින් ගල්කිස්සේ සිට අඟුලාන දක්වා වෙරළ තීරය ස්ථායි කිරීම සහ මෑතදී ඇති වූ ගංවතුර නිසා ඛාදනයට ලක් වූ කළු ගං මුව දොරෙහි වැලි වැටිය නැවත ස්ථායි කිරීම පිණිස මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යතුමා වශයෙන් අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

02. ශ්‍රී ලංකාවේ රාජ්‍ය-පෞද්ගලික සහයෝගිතාවන් සඳහා සහාය ලබා දීමට අවශ්‍ය පහසුකම් වැඩිදියුණු කිරීම
- රාජ්‍ය-පෞද්ගලික සහයෝගිතාවන් සඳහා සහාය වීමට අවශ්‍ය ව්‍යූහයක් වැඩිදියුණු කිරීම හා ඒ සඳහා අවශ්‍ය යටිතල පහසුකම් මූල්‍යනය කිරීම සඳහා ලෝක බැංකුවේ ප්‍රතිසංස්කරණය හා සංවර්ධනය සඳහා වන ජාත්‍යන්තර බැංකුව වෙතින් ඇමරිකානු ඩොලර් මිලියන 25ක අරමුදල් සලසා ගැනීම සඳහා අමාත්‍ය මණ්ඩලය විසින් මීට පෙර අනුමැතිය දෙනු ලැබ ඇත. ඒ අනුව, ඒ සම්බන්ධයෙන් වන සාකච්ඡා සම්මුති පැවැත්වීම සඳහා සහ අදාළ ණය ගිවිසුම්වලට එළඹීම සඳහා ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යතුමා වශයෙන් ගරු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
03. 2018 රාජ්‍ය නත්තල් උත්සවය මන්නාරම පදවිය මුල් කර ගනිමින් පැවැත්වීම
- රාජ්‍ය නත්තල් උත්සවය සෑම වසරකදීම රදගුරු පදවියක් මුල් කර ගනිමින් එම පදවියේ රදගුරු හිමිපාණන්ගේ මූලිකත්වයෙන් හා උපදේශකත්වයෙන් පැවැත්වීමට කටයුතු කරනු ලැබ ඇත. ඒ අනුව සියලු ජාතීන්ට අයත් වන ජනතාව ජීවත්වන මන්නාරම ප්‍රදේශය තුළ ජාතීන් අතර සංහිඳියාව වර්ධනය කිරීමේ අරමුණින් සහ ඔවුන් තුළ අධ්‍යාත්මික පිබිදීමක් ඇති කිරීමේ අරමුණින් 2018 රාජ්‍ය නත්තල් උත්සවය 'සමිඳු උපතයි නත්තල් සිරියයි' යන තේමාව යටතේ මන්නාරම කතෝලික පදවිය මුල් කර ගනිමින් පැවැත්වීම පිණිස සංචාරක සංවර්ධන හා ක්‍රිස්තියානි ආගමික කටයුතු අමාත්‍ය ජෝන් අමරතුංග මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
04. 2021 ආසියානු සංවර්ධන බැංකුවේ වාර්ෂික සමුළුව ශ්‍රී ලංකාවේදී පැවැත්වීම
- දීර්ඝ කාලයක් තිස්සේ ශ්‍රී ලංකාවේ සංවර්ධන හවුල්කරුවෙකු ලෙස දායක වී සිටින ආසියානු සංවර්ධන බැංකුවේ, 2021 වර්ෂයේ වාර්ෂික රැස්වීම ශ්‍රී ලංකාවේදී පැවැත්වීම සඳහා සත්කාරකත්වය ලබා දීම පිණිස වන අභිප්‍රාය ආසියානු සංවර්ධන බැංකුව වෙත දැනුම් දීමටත්, එම කාර්යය සඳහා ජාතික අධීක්ෂණ කමිටුවක් හා අනුකමිටු පත් කිරීමටත් මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
05. 1982 අංක 9 දරන ශ්‍රී ලංකා සංවර්ධන පරිපාලන ආයතන පනත සංශෝධනය කිරීම
- ශ්‍රී ලංකා සංවර්ධන පරිපාලන ආයතනයේ කාර්යභාරය සහ පරිපාලන සැකැස්ම වර්තමාන අවශ්‍යතාවන්ට ගැළපෙන පරිදි සකස් කරගැනීම සඳහා අවශ්‍ය සංශෝධනයන් ඇතුළත් කරමින්, 1982 අංක 9 දරන ශ්‍රී ලංකා සංවර්ධන පරිපාලන ආයතන පනත සංශෝධනය කිරීම පිණිස රාජ්‍ය පරිපාලන හා කළමනාකරණ සහ නීතිය හා සාමය පිළිබඳ අමාත්‍ය රංජිත් මද්දුම බණ්ඩාර මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
06. වැවිලි ක්ෂේත්‍රයේ කාර්යසාධනය වෙනුවෙන් 2019 වර්ෂයේ සිට ක්‍රියාත්මක කිරීමට යෝජිත නව ව්‍යාපෘති
- තේ, රබර් හා පොල් ආශ්‍රිත නිෂ්පාදන අපනයනය කිරීම හරහා 2017 වසරේදී රුපියල් බිලියන 457.85ක ආදායමක් ඉපැයීමට හැකි වූ අතර,එය ඉදිරියේදී තවදුරටත් වර්ධනය කරගැනීම සඳහා විවිධ පර්යේෂණ, සේවා හා ක්‍රමවේද වැඩිදියුණු කළ යුතු බවට හඳුනාගනු ලැබ ඇත. ඒ සඳහා දෙමුහුන් පොල් බීජ නිෂ්පාදනය කිරීම, මයිටා පාලනය සඳහා විලෝපිත මයිටාවන් සාදා ගැනීම සහ ඵලදායී හා කාර්යක්ෂමතා නවීන දුම්කාමර ස්ථාපිත කිරීම යනාදී ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබේ. ඒ අනුව ඒ සඳහා අවශ්‍ය ප්‍රතිපාදන වෙන්කරවා ගැනීම පිණිස වැවිලි කර්මාන්ත අමාත්‍ය නවින් දිසානායක මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
07. ජාතික ගොඩනැඟිලි පර්යේෂණ සංවිධානය විසින් ශ්‍රී ලංකාවේ රසායනික ආපදා අවදානම් හඳුනාගැනීමේ ක්‍රමික තක්සේරුව
- ශ්‍රී ලංකාවේ රසායනික ද්‍රව්‍ය නිසා සිදු වන හදිසි අනතුරු බොහෝමයක් ඒ පිළිබඳ දැනුම්වත් නොවීම, ඒවා භාවිතා කෙරෙන ස්ථාන/පරිශ්‍ර නිසි පරිදි නඩත්තු නොකිරීම හා අධීක්ෂණයේ දුර්වලතා සහ වැරදි කාර්මික භාවිතය නිසා සිදු වන බව ජාතික ගොඩනැඟිලි පර්යේෂණ සංවිධානය විසින් සිදු කරන ලද අධ්‍යයනයක් මඟින් තහවුරු වී ඇත. එම තත්ත්වයට පිළියමක් ලෙස රසායනික ආපදා සඳහා විධිමත් ආපදා කළමනාකරණ රාමුවක් සකස් කරගැනීමේ අවශ්‍යතාවය සලකා ශ්‍රී ලංකාවේ රසායනික ආපදා අවදානම් හඳුනා ගැනීමේ තක්සේරුවක් 2019 - 2020 වර්ෂ තුළ සිදු කිරීම පිණිස වාරිමාර්ග සහ ජල සම්පත් හා ආපදා කළමනාකරණ අමාත්‍ය දුමින්ද දිසානායක මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
08. මහපොළ උසස් අධ්‍යාපන ශිෂ්‍යත්ව භාර අරමුදල සතු ආයෝජන විධිමත් කිරීම
- වරප්‍රසාද නොලත් යෞවනයන්ට උසස් අධ්‍යාපන අවස්ථා ඇති කිරීම හා ඒ සඳහා පහසුකම් සැපයීම හා වැඩිදියුණු කිරීම මහපොළ ශිෂ්‍යත්ව භාර අරමුදලේ පරමාර්ථය වේ. මහපොළ ප්‍රධාන අරමුදල ශක්තිමත් කිරීම සඳහා එහි අරමුදල් ආයෝජනය කිරීම මහපොළ අරමුදලේ පූර්ණ හිමිකාරිත්වය යටතේ පිහිටුවා ඇති නැෂනල් වෙල්ත් කෝපරේෂන් ලිමිටඩ් සමාගම සහ නැෂනල් වෙල්ත් සිකියුරිටීස් සමාගම මඟින් සිදු කරනු ලැබ තිබේ. එහෙත් එම සමාගම්වල ක්‍රියාකාරිත්වය හේතුවෙන් මහපොළ අරමුදලට අවාසිදායක තත්ත්වයන් මතුව ඇති නිසාත් මහපොළ අරමුදල සතු ආයෝජනයන් වඩාත් විධිමත් කිරීම සඳහාත් ඉහත සමාගම් දෙක ඈවර කර මහපොළ උසස් අධ්‍යාපන ශිෂ්‍යත්ව භාර අරමුදල සතු සියලුම අරමුදල් රජයේ බැංකු හා මහ බැංකු බැඳුම්කරවල පමණක් ආයෝජනය කිරීම සඳහා අවශ්‍ය පියවර ගැනීම පිණිස උසස් අධ්‍යාපන හා සංස්කෘතික කටයුතු අමාත්‍ය (ආචාර්ය) විජයදාස රාජපක්ෂ මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
09. 1981 අංක 66 දරන මහපොළ උසස් අධ්‍යාපන ශිෂ්‍යත්ව භාර අරමුදල් පනත සඳහා සංශෝධන
- රජයේ උසස් අධ්‍යාපන ආයතනවල ඉගෙනුම ලබන ශිෂ්‍යයන් හට ඔවුන්ගේ අධ්‍යාපන කටයුතු සිදු කිරීම සඳහා මූල්‍යාධාර සපයනු ලබන මහපොළ උසස් අධ්‍යාපන ශිෂ්‍යත්වය නියාමනය කරනු ලබන 1981 අංක 66 දරන මහපොළ උසස් අධ්‍යාපන ශිෂ්‍යත්ව භාර අරමුදල් පනතේ නාමය 1981 අංක 66 දරන ලලිත් ඇතුලත්මුදලි මහපොළ උසස් අධ්‍යාපන ශිෂ්‍යත්ව භාර අරමුදල් පනත ලෙස සංශෝධනය කිරීම පිණිස උසස් අධ්‍යාපන හා සංස්කෘතික කටයුතු අමාත්‍ය (ආචාර්ය) විජයදාස රාජපක්ෂ මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
10. ක්‍රීඩා පාසල්හි ශිෂ්‍යත්වධාරින්ගේ පෝෂණ දීමනා මුදල සංශෝධනය කිරීම
- ක්‍රීඩා සඳහා දක්ෂ සිසුන් තෝරා ගෙන, ඔවුන් වෙත විධිමත් පුහුණුවක් ලබා දීම මඟින් ජාතික හා ජාත්‍යන්තර මට්ටමේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් බිහි කිරීමේ අරමුණින් ක්‍රීඩා පාසල් ස්ථාපිත කරනු ලැබ ඇත. මෙම පාසල්වල පුහුණුවීම් කටයුතුවල නිරතවන සිසුන්හට ප්‍රමාණවත් පෝෂණයක් ලබා දීමේ අරමුණින්, එක් ශිෂ්‍යයෙකුහට ලබා දෙන මාසික පෝෂණ දීමනාව රුපියල් 2,500/- සිට රුපියල් 5,000/-දක්වා ඉහළ නැංවීම පිණිස අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
11. 2019 අධිවේගී තැපැල් සේවය (EMS) පිළිබඳ ආසියා පැසිපික් කලාපීය වාර්ෂික සම්මන්ත්‍රණය ශ්‍රී ලංකාවේ පැවැත්වීම

- 2019 අධිවේගී තැපැල් සේවය (EMS) පිළිබඳ ආසියා පැසිපික් කලාපීය වාර්ෂික සම්මන්ත්‍රණය, විදේශ නියෝජිතයින්ගේ සහභාගිත්වයෙන් 2019 වර්ෂයේ සැප්තැම්බර් මස ශ්‍රී ලංකාවේදී පැවැත්වීම පිණිස තැපැල්, තැපැල් සේවා හා මුස්ලිම් ආගමික කටයුතු අමාත්‍ය එම්.එච්.ඒ.හලීම් මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.


12. කටුබැද්ද, කාර්මික ඉංජිනේරු පුහුණු ආයතනයේ යටිතල පහසුකම් සංවර්ධනය කිරීමේ ව්‍යාපෘතිය

- කටුබැද්ද, කාර්මික ඉංජිනේරු පුහුණු ආයතනය විසින් යාන්ත්‍රික, ඉදි කිරීම්, ලී වැඩ යන ක්ෂේත්‍රයන් යටතේ ජාතික වෘත්තීය සුදුසුකම් (NVQ) 4 මට්ටමේ වසර තුනක පූර්ණකාලීන පාඨමාලා සහ එක් වසරක පරිගණක පාඨමාලා පවත්වනු ලබයි. රැකියා වෙළඳපොළට ගැළපෙන පාඨමාලාවන්ගෙන් යුත් මෙම ආයතනයේ අවශ්‍ය පහසුකම් වැඩි දියුණු කිරීම මඟින් වාර්ෂිකව බඳවා ගනු ලබන සිසුන් සංඛ්‍යාව ඉහළ නැංවීමට සැලසුම් සකස් කරනු ලැබ ඇත. ඒ අනුව, ඔස්ට්‍රියානු සහන ණය යෝජනා ක්‍රමයක් වෙතින් මූල්‍ය පහසුකම් ලබා ගනිමින් මෙම ආයතනය රුපියල් මිලියන 2,400ක ආයෝජනයක් සහිතව වැඩිදියුණු කිරීම සඳහා සවිස්තරාත්මක ව්‍යාපෘති යෝජනාවක් කැඳවීමටත්, ඒ සඳහා අවශ්‍ය විදේශීය අරමුදල් සහාය ලබා ගැනීමටත් විද්‍යා, තාක්ෂණ, පර්යේෂණ, නිපුණතා සංවර්ධන හා වෘත්තීය පුහුණු සහ කන්ද උඩරට උරුමය පිළිබඳ අමාත්‍ය (ආචාර්ය) සරත් අමුණුගම මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

13. කොළොන්නාව ඇළ හැරවුම් යෝජනා ක්‍රමය

- කොළඹ අගනගර ආශ්‍රිත නාගරික සංවර්ධන ව්‍යාපෘතිය යටතේ කිලෝමීටර 4.8ක් දිග කොළොන්නාව ඇළ හැරවුම් යෝජනා ක්‍රමය උප කොටස් 04ක් යටතේ රුපියල් මිලියන 3,000ක ආයෝජනයක් සහිතව ක්‍රියාත්මක කිරීමට සැලසුම් කරනු ලැබ තිබේ. එහි 3 අදියර යටතේ සිදු කළ යුතු වැඩිදියුණු කිරීම් සඳහා වන කොන්ත්‍රාත්තුව අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශය පරිදි E&C ආයතනය සහ RR ආයතනය විසින් ඇති කරගත් බද්ධ ව්‍යාපාරය වෙත රුපියල් මිලියන 1,004.4ක මුදලකට පිරිනැමීම පිණිස මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.


14. හම්බන්තොට දිස්ත්‍රික්කයේ ආදර්ශ ගම්මානවල ප්‍රතිලාභීන්ගේ අභිවෘද්ධිය සඳහා ග්‍රාමීය පාලම් 08ක් ඉදි කිරීම

- හම්බන්තොට දිස්ත්‍රික්කයේ යටිතල පහසුකම් අඩු ගම්මානවල ආරම්භ කෙරෙන ආදර්ශ ගම්මානවල නිවාස ප්‍රතිලාභීන්ට නාගරික පොදු පහසුකම් වෙත පහසුවෙන් ළඟා විය හැකි පරිදි, රඹුක්වැව වැලිගත්ත ආර හරහා පාලම, මුවන්වැව වීරවිලආර හරහා පාලම, පන්නේගමුව සහ අභයපුර හරහා දියබැඳිය පාලම, අම්බලන්තොට ලියන්ගස්තොට හා බැදිගන්තොට හරහා පාලම, තණමල්විල මාර්ගයේ මලලආර, රන්මුදුවැව පාලම, රබර්වත්ත සහ උඩුවිල අතර පාලම, කටුවන කෙසෙල්වත්ත පාලම සහ ලුණුගම්වෙහෙර දකුණ ඉවුර හරහා පාලම යන ග්‍රාමීය පාලම් 08 'නගමු පුරවර' වැඩසටහන යටතේ ඉදි කිරීම පිණිස නිවාස හා ඉදිකිරීම් අමාත්‍ය සජිත් ප්‍රේමදාස මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.


15. 2018 ජාතික ආහාර නිෂ්පාදන වර්ෂය ලෙස නම් කිරීම

- පසුගිය වර්ෂවල බලපෑ නියඟය හා ගංවතුර වැනි අයහපත් කාලගුණික තත්ත්වයන් හේතුවෙන් පසුබෑමට ලක්වූ කෘෂිකාර්මික කටයුතු නව ප්‍රබෝධයකින් යුතුව ආරම්භ කිරීම සඳහා පුරන් වී ඇති කුඹුරු නැවත අස්වද්දමින්, වගා කළහැකි අනෙකුත් සියලුම ඉඩම් වගා කටයුතු සඳහා යෙදවීමටත්, වගාවන් සඳහා අවශ්‍ය බීජ, රෝපණ ද්‍රව්‍ය යනාදිය නිෂ්පාදනය කිරීම සඳහා, අදාළ සියලුම රාජ්‍ය ආයතනවල අවධානය යොමු කරවීම පිණිස චක්‍රලේඛ උපදෙස් නිකුත් කිරීමට කටයුතු කරන බවත් අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා විසින් අමාත්‍ය මණ්ඩලය දැනුම්වත් කරන ලදී.