පරිසරයට කසළ එකතුවීම කියන්නේ ලෝකයේ සෑම රටකටම තිබෙන විශාල ගැටලුවකි. නූතන පරිභෝජනවාදී ජීවන රටාව නිසා බැහැර කෙරෙන කසළ ප්‍රමාණයත් අතිවිශාල යි. මේ නිසා තැන තැන කඳු ගැසෙන කසළ රටට බරක් වී තිබේ. එසේ එකතුවන කසළ බැහැර කිරීම සඳහා විශාල මුදලක් වැය කිරීමටද සිදු වී ඇත. 2017 වසරේ සිංහල අවුරුදු සමයේ මීතොටමුල්ල කුණු කන්ද නාය යාමත් සමඟම කසළ ප්‍රශ්නය අන් කවරදාටත් වඩා කතා කරන මාතෘකාවක් බවට පත්විය. නමුත් පසුගියදා ඒ කසළ කතාව වෙනත් දෙසකට යොමු වූයේ කෙරවලපිටියේදී ආරම්භ කෙරුණ කසළවලින් විදුලිය උත්පාදනය කරන බලාගාරය නිසාය.

රටක සංවර්ධනය බොහෝ පැතිකඩ ඔස්සේ විමසා බැලිය යුතු තත්ත්වයකි. එහි දී සමාජ, ආර්ථික සදාචාර, සංස්කෘතික සංවර්ධනය මෙන්ම භෞතික සංවර්ධනය ද ප්‍රධාන අංගයකි. භෞතික සංවර්ධනයේ දී බල ශක්තියට වැදගත් ස්ථානයක් හිමිවේ. පසුගිය කාලයේ රටක් වශයෙන් අප රටේ ජල විදුලි බලය හා බලශක්තිය සංවර්ධනය උදෙසා ගනු ලැබූ තීරණ අනුව කෙරවළපිටියේ ඉදිකළ ඝන අපද්‍රව්‍ය විදුලි බලාගාරය අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් පසුගිය (17) දින විවෘත කෙරිණ.

මෙමඟින් මෙතෙක් රටට මහ බරක් වූ ද දශක ගණනාවක් තිස්සේ විසඳුම් නොලැබුණා වූ ද කසළ ප්‍රශ්නයට විසඳුමක් ලැබෙයි. එ පමණක් නොව එම විසඳුම රටට විදුලි බලය උත්පාදනය කරන සම්පතක් බවට පත්කරගත හැකි වීම ද රට ම ලද විශාල ජයග්‍රහණයකි.

කෙරවළපිටිය ඝන අපද්‍රව්‍ය විදුලි බලාගාරය (Colombo Waste to Energy Power Plant) විසින් දිනකට නාගරික ඝන අපද්‍රව්‍ය ටොන් 600-800ක ප්‍රමාණයක් දහනය කිරීමට නියමිත අතර එමඟින් ජාතික විදුලිබල පද්ධතියට දිනකට මෙගාවොට් 10ක විදුලි බලයක් එකතු කිරීමට නියමිත ය. මෙතෙක් හිසරදයක් ව පැවැති කොළඹ නගරයේ ඝන අපද්‍රව්‍ය බැහැර කිරීමේ ගැටළුව සඳහා මෙමඟින් ස්ථිරසාර විසඳුමක් ලැබෙයි. පිරිසිදු නාගරික පරිසරයක් නිර්මාණය කිරීමටත් පුරවැසියන්ගේ ජීවන තත්ත්වය උසස් මට්ටමකට ගෙන ඒමටත් මෙම ව්‍යාපෘතිය ඔස්සේ ලබා දෙන දායකත්වය අතිමහත් ය. සෞභාග්‍යයේ දැක්මට අනුව පුනර්ජනනීය බලශක්ති දායකත්වය වර්ධනය කරමින්, රටේ බලශක්ති ගැටලුවට ස්ථිරසාර විසඳුම් ලබාගැනීමට අමතරව, රටේ කසල ගැටළුවට ද මෙම බලාගාරය ඉදිකිරීම කදිම විසඳුමක් ලෙස හදුන්වා දීමට හැකිය.

කොළඹ නගරයේ නාගරික ඝන අපද්‍රව්‍ය බැහැර කිරීම සහ පුනර්ජනනීය බලශක්තිය උත්පාදනය සඳහා මෙමඟින් ස්ථිරසාර විසඳුමක් නිර්මාණය වේ.

කොළඹ නගර සභාව, එයිට්කන් ස්පෙන්ස් සමාගම සහ ලංකා විදුලි බල මණ්ඩලය ඒකාබද්ධව මෙම ව්‍යාපෘතියට දායකත්වය ලබාදෙයි. එයිට්කන් ස්පෙන්ස් (AITKEN SPENCE) සමාගම මෙම ව්‍යාපෘතිය වෙනුවෙන් වැය කළ මුදල රුපියල් බිලියන 15කි. වඩා සුන්දර මෙන්ම පිරිසිදු නාගරික පරිසරයක් නිර්මාණය කිරීමටත් පුරවැසියන්ගේ ජීවන තත්ත්වය උසස් මට්ටමකට ගෙන ඒමටත් මෙමඟින් හැකියාව ලැබේ.

විදුලිබල අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මැතිතුමා සඳහන් කළේ, ශ්‍රී ලාංකේය විදුලිබල ක්ෂේත්‍රයේ තවත් එක් පරිවර්තනීය ලකුණක් ඉදිරියේ, ඇසින් දුටු සාක්ෂිකරුවන් බවට පත්වීමට අප සියලු දෙනාහට හැකියාව ලැබුණු බවයි. ප්‍රථම වරට ශ්‍රී ලාංකේය බලශක්ති ක්ෂේත්‍රයට ඝන අපද්‍රව්‍ය දහනයෙන් බලශක්තිය ලබාගැනීම බලශක්ති විප්ලවයේ තීරණාත්මක අවස්ථාවකි. මෙමඟින් ජාතික බලශක්ති පද්ධතිය බලගැන්වීම පමණක් නොව පරිසරයට ආදරය කරන, ලස්සන රටක හීනය සඳහා තබන යෝධ පියවරක් වශයෙන් මෙම අවස්ථාව ඉතිහාසගත වේ. මෙය මෙගාවොට් 10 ක දායකත්වයක් ලබාදෙන විදුලි බලාගාරයක් ලෙස පමණක් ලඝු නොකොට කසල හිසරදයෙන් රට මුදා ගැනීමේ යෝධ පියවරක් ලෙස අවබෝධ කරගත යුතුය.

21 වන ශත වර්ෂයට පා තබන විට පැවතියේ ජල විදුලියත්, පොසිල ඉන්ධන දහනයෙන් ලබාගත් බලශක්තියත් පමණකි. නමුත් 21වන ශතවර්ෂයේ 3 වන දශකයට අප පා තබන විට දැවැන්ත වෙනස්කම් රාශියක් සිදුවිණි. හිටපු ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන මැතිතුමා ශ්‍රී ලාංකේය බලශක්ති ක්ෂේත්‍රයේ ප්‍රගතිශීලී තීන්දු තීරණ රාශියක් ගත් නායකයෙකි. ගරු අගමැති මහින්ද රාජපක්ෂ මැතිතුමා එම පියවර ඉදිරියට ගිය නායකයෙකි. ඝන අපද්‍රව්‍ය වලින් විදුලිය නිපදවීමත් එතුමන්ගේ නමින් ඉතිහාසගත වනු ඇත. එමෙන්ම පළමු එල්.එන්.ජී. බලාගාරයේ සමාරම්භයත් මාර්තු 05 දා කෙරවලපිටිය ප්‍රදේශයේදී ඉතිහාසගත වීමට නියමිතය. ඩීසල් වලට වඩා වැඩි මුදලක් එක ඒකකයකට ගෙවීමට, ලංකා විදුලිබල මණ්ඩලය තීරණය කළේ එතරම් පහසුවකින් නොවෙයි. විදුලි බල මණ්ඩලය පිරිවැය ගැන සිතුවේ නැත. ඔවුන් සිතුවේ මෙය ජාතික යුතුකමක් ලෙසටයි. එහි ගෞරවය විදුලිබල මණ්ඩලයට නිතැතින්ම ලැබිය යුතුය. මෙම අවස්ථාවට සම්බන්ධ වී ඇති පාර්ශව 03 වන්නේ ශ්‍රී ලංකා ආණ්ඩුව, පුද්ගලික අංශයේ සමාගම් සහ පළාත් පාලන ආයතනයි. අතිගරු ජනාධිපතිතුමාගේ සිහිනය වන්නේ රටේ අග නගරය කසල වලින් හා අපද්‍රව්‍යවලින් ශූන්‍ය නගරයක් බවට පත් කිරීමය.

මෙම සතිය ශ්‍රී ලාංකීය බලශක්ති ක්ෂේත්‍රයේ සුවිශේෂී සතියක් වන්නේ කුඩා සූර්ය බලාගාර 7000 ක් ස්ථාපිත කිරීමට පසුගිය 15 දා කැබිනට් අනුමැතිය ලැබීමෙනි. පසුගිය 17 වැනිදා පළමු කසල ව්‍යාපෘතිය ජාතියට දායාද විය. ජීවවායුවලින් (Bio Gas) විදුලිය නිපදවීමේ පළමු ව්‍යාපෘතිය එලඹෙන ඔක්තෝම්බර් මස 01 වැනිදා ජාතියට දායාද කරමින්, අතිගරු ජනාධිපතිතුමාගේ, ගරු අගමැතිතුමාගේ ජන්ම භූමිය වන මාතර, ලංකාවේ පළමු හරිත නගරය බවට පත්කිරීමටත් මේ වනවිට සූදානමින් සිටියි. අප රටක් ලෙස පක්ෂ පාටභේදයකින් තොරව මේ සියලුම තාක්ෂණයන් ඒකරාශි කරගෙන මේ ගමන ඉදිරියට යා යුතුය.

කොළඹ කුණු ප්‍රශ්නයට මෙන්ම බලශක්ති ප්‍රශ්නයටත් විසඳුමක් දෙමින් කෙරවලපිටියේදී ඉවතලන කසළ ද්‍රව්‍යවලින් විදුලිය නිපදවීමේ ව්‍යාපෘතියක් ආරම්භ වී තිබේ. එය ලංකාවේ පළමු කසළ දහන විදුලිබල ව්‍යාපෘතියයි. මෙම කසළ බලාගාරය නිසා කොළඹ මහ නගර සභාවට මාසිකව රුපියල් මිලියන පනහක මුදලක් ඉතිරි කරගැනීමට හැකිවී තිබේ. එසේම විවිධ තැන්වලට කුණු දැමීමට ගොස් මුහුණ දුන් ප්‍රශ්නවලින් මිදීමටද හැකියාව උදාවී තිබේ.

වෙස්ටන් පවර් සමාගම සමඟ කොළඹ මහ නගර සභාව පැමිණ ඇති ගිවිසුම පරිදි නගර සභාව එම සමාගමට දිනකට කසළ ටොන් 600-800ත් අතර ප්‍රමාණයක් ලබාදිය යුතුය. මෙකී ප්‍රමාණය ගැන සිතන කළ ඕනෑම​ කෙනකුට මතුවන ප්‍රශ්නයක් තිබේ. ඒ විදුලිය නිෂ්පාදනය සඳහා දහනයට ගනු ලබන්නේ කුමන අන්දමේ කසළ ද යන්නයි. මේ පිළිබඳ අදහස් දක්වන නියෝජ්‍ය නාගරික කොමසාරිස් ඉංජිනේරු යෝගරාණි සිල්වෙස්ටර් මහත්මිය ‘ප්‍රතිචක්‍රීයකරණය කළ හැකි කසළ සහ ඝන අපද්‍රව්‍ය හැර සෙසු සියලු දේ මෙහිදී දහනය කිරීම සඳහා යොදාගන්නා බවටත් දැනට එක් දිනකදී කොළඹ නගරයෙන් එකතු වන කුණු ප්‍රමාණය එම බලාගාරයේ ඉල්ලුම සම්පූර්ණ කිරීමට ප්‍රමාණවත් නොවන හෙයින් නගර සභාවේ අනුමැතිය සහිතව දිනකට කසළ මෙට්‍රික් ටොන් 150ක් මෙම බලාගාරයට ලබාදීමට බස්නාහිර පළාත් සභාවට අවසර ලබා දී ඇති බවද ප්‍රකාශ කළාය.

මෙම ව්‍යාපෘතිය ගැන කී සැණින් බොහෝ දෙනා තුළ මතුවන සැකය නම් කසළ දහනය නිසා පරිසර ප්‍රශ්න ඇතිවේද යන්නය. ‘‘නවීන තාක්ෂණය උපයෝගි කරගනිමින් පිටවන වායු පරීක්ෂා කර තිබේ. මෙම බලාගාරයේ ක්‍රියාවලියෙන් කිසිදු හානිකර දෙයක් වා තලයට මුසුවෙන්නේ නැහැ. ඒ පිළිබඳව අප පරිසර අධිකාරිය සමඟ එක්ව නිරන්තර අධීක්ෂණ කටයුතු සිදු කරනවා’’ යනුවෙන් ඇය වැඩිදුරටත් සඳහන් කළා ය. මෙම ව්‍යාපෘතිය මගින් ජාතික විදුලිබල පද්ධතියට මෙගාවොට් 10ක පමණ විදුලියක් ලබාදීමටද හැකියාව ලැබී තිබේ. එසේම මෙයින් නිපදවන විදුලි ඒකකයක් රුපියල් 20-36 මුදලකට මිලදී ගැනීමට ලංකා විදුලිබල මණ්ඩලය එකඟත්වය පළකර තිබීම ද විශේෂත්වයකි.

දිනකට කසළ මෙට්‍රික් ටොන් 600-800ත් අතර කසළ ප්‍රමාණයක් දහනය කිරීමේ ධාරිතාවක් මෙම බලාගාරය සතුව තිබෙන හෙයින් රටේ සංවර්ධනයත් සමඟ ඉදිරියේදී යෝජිත සංවර්ධන ව්‍යාපෘති වන වරාය නගරය හා නව නිවාස සංකීර්ණයක් ඉදිකිරීම වැනි මහා පරිමාණ ව්‍යාපෘති මඟින් ජනනය වන කසළ ලබාගැනීම සඳහා ද මෙහි ඉඩකඩ පවතී.

කොළඹ නගරයේ දෛනිකව එක්රැස් කරනු ලබන නාගරික කසළ බැහැර කිරීම සඳහා තිරසාර විද්‍යාත්මක විසඳුමක් ​මේ වනවිට ලැබී ඇති නිසා මින් ඉදිරියට කොළඹ නගරයේ ජනතාවට කැළි කසළවලින් පීඩා විඳීමට සිදුනොවනු නැත.

ජල විදුලිය, ඩීසල් බලාගාර, සුළං බලාගාර, සූර්යබල විදුලි බලාගාර ගැන රටේ ජනතාව අසා තිබුණත් කසළ දහන බලාගාරයක් ගැන අසා තිබුණේ නැත. ඒ නිසාම පසුගියදා ආරම්භ කෙරුණු කසළ දහන බලාගාරයෙන් විදුලිය නිපදවන්නේ​ කෙසේද යන්න සඳහන් කළ ව්‍යාපෘති ඉංජිනේරු දිනූෂ ගුණරත්න මහතා සඳහන් කළේ මෙවැනි අදහසක්, මෙහි ගෙන එන කුණුවල බර මැනලා දින පහත් හතත් අතර ගණනක් තබාගෙන එම කුණුවල වතුර ගතිය ඉවත් වී වියළි තත්ත්වයට පත්වීමෙන් අනතුරුව නවීන තාක්ෂණය සහිත පෝරණුවක් තුළට එම කසළ ඇතුළු කර සෙල්සියස් අංශක 850-900ත් අතර අධික උෂ්ණත්වයකින් දහනය කරන බවයි. අනතුරුව එම දහනයෙන් ඇතිවන දුම බොයිලේරුවක් තුළට යැවීමට සලස්වා එම බොයිලේරුව තුළ තිබෙන ජලය සමඟ දුමෙහි උෂ්ණත්වය උරා ගැනීමට සලස්වයි. ඉන් අනතුරුව එය හුමාලය බවට පත්වෙයි. සෙල්සියස් අංශක 415ක පමණ උෂ්ණත්වයකින් යුතු හුමාලය අධික පීඩනයක් යටතේ ටර්බයින් යන්ත්‍රයකට ඇතුළු කිරීම සිදු කර ඉන් අනතුරුව විදුලි ජනන යන්ත්‍රය මඟින් විදුලිය නිපදවීම සිදු කරයි. පිටවන දුම පරිසර අධිකාරියේ නියාමනයන්ට අනුව පිරිපහදු කිරීමකින් අනතුරුව පරිසරයට මුදාහැරේ.

කසළවලින් විදුලිය නිපදවීම රටේ අනෙක් ප්‍රදේශවලටත් ව්‍යාප්ත කළයුතු කාලයකට අපි පැමිණ සිටිමු. ඒ අතරම කසළ විධිමත්ව ඉවත් කිරීමට මෙන්ම කසළ ජනනය අවම වන පරිදි ජන ජීවිතය පුරුදු කර ගැනීමටත් අපේ ජනතාව උනන්දු විය යුතුය.

මනෝජා සමරනායක
ජනමාධ්‍ය අමාත්‍යාංශය

balagara

images 1