එළැඹෙන උත්සව සමයේ වෙළෙඳපොළ තුළ අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍යවල කිසිදු හිඟයක් ඇතිවීමට ඉඩ නොතබන ලෙසත්, මිල ඉහළ යාමකින් තොරව සාධාරණ මිලට ආහාර ද්‍රව්‍ය ලබාගැනීමට පාරිභෝගික ජනතාවට අවස්ථාව සලසන ලෙසත් ජනාධිපතිතුමා අදාළ අංශවලට උපදෙස් දෙයි.
ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා මෙම උපදෙස් ලබා දුන්නේ උත්සව සමයේ ජීවන වියදම පිළිබඳ සාකච්ඡා කිරීම වෙනුවෙන් ඊයේ (11) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති විශේෂ සාකච්ඡාවක දී ය.
අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනයනකරුවන්ගේ සංගමයේ නියෝජිතයන් මෙන්ම අමාත්‍යාංශ ලේකම්වරු, මුදල් අමාත්‍යාංශයේ සහ වෙළෙඳ අමාත්‍යාංශයේ නිලධාරින් ඇතුළු අදාළ සියලු පාර්ශ්වයන් ජනාධිපතිතුමා විසින් මෙම සාකච්ඡාවට කැඳවා තිබුණි.
වෙළෙඳපොළ තුළ අසාධරණ ලෙස මිල වැඩිවීම්වලට ඉඩ නොතබා මිල නියාමනයක් සිදුකරමින් නිරන්තරයෙන් වෙළඳපොළ මිල පිළිබඳ අවධානයෙන් පසුවන ලෙස මෙහිදී පාරිභෝගික අධිකාරියේ නිලධාරින් වෙත උපදෙස් දුන් ජනාධිපතිතුමා, වෙළෙඳපොළ මිල දර්ශක පිළිබඳ නිරන්තරයෙන් පාරිභෝගික ජනතාව දැනුවත් කිරීමට වැඩපිළිවෙළක් සකස් කරන ලෙස ද උපදෙස් දුන්නේ ය.
එමෙන්ම එළැඹෙන උත්සව සමයේ සතොස හරහා සහන මිලට අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය ලබාදෙමින් පාරිභෝගික ජනතාවට උපරිම සහන සැලසීමේ වැඩපිළිවෙළක් පිළිබඳව ද මෙහිදී අවධානය යොමු විය.
වෙළෙඳපොළ තුළ තෙල් මිල අඩුවීමේ ප්‍රතිලාභය වක්‍රාකාරව පාරිභෝගියා වෙත ලබා දීමේ ක්‍රමවේදය පිළිබඳව ද මෙහිදී සාකච්ඡා කෙරිණි.
ජනාධිපති ලේකම් උදය ආර්. සෙනෙවිරත්න, මුදල් අමාත්‍යාංශයේ ලේකම් එස්.ආර්. ආටිගල යන මහත්වරුන් ඇතුළු අමාත්‍යාංශ ලේකම්වරු සහ රාජ්‍ය නිලධාරිහු මෙම සාකච්ඡාවට එක්ව සිටියහ.