ඉකුත් ඔක්තෝම්බර් 26 වැනිදා සිදුවූ දේශපාලන අස්ථාවරත්වය හේතුවෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් මෙරටට ලබාදීම ප්‍රමාද කළ ණය වාරික යළි දිනා ගැනීම සඳහා එහි බලධාරින් සමඟ සාකච්ඡා කිරීමට මුදල් හා ජනමාධ්‍ය ඇමැති මංගල සමරවීර මහතා හෙට (11) අමෙරිකා‍ව බලා පිටත්ව යෑමට නියමිතය.

වසර 2016 සිට 2019 දක්වා කාලය සඳහා එක්සත් ජනපද ඩොලර් බිලියන 1.5 ක ණය මුදලක් වාරික 06 ක් යටතේ ශ්‍රී ලංකාවට ලබාදීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල එකඟතාව පළකොට තිබුණි.
ඒ අනුව නියමිත පරිදි වාරික 04 ක් ශ්‍රී ලංකාවට ලබාදීමටද ඔවුන් කටයුතු කර තිබුණි. එහෙත් 2018 නොවම්බර් මාසයේ ලබාදීමට නියමිතව තිබූ වාරිකය මෙරටට ලබාදීම ප්‍රමාද විය. එයට හේතුව ඔක්තෝබර් 26 වැනිදා රටේ සිදුවූ දේශපාලන අස්ථාවරභාවයයි.
‍ෙම් නිසා නැවත එම වාරිකය ලබාගැනීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුද‍ෙල් ප්‍රධානීහු සමඟ සාකච්ඡා කිරීමට මංගල සමරවීර මහතා ප්‍රමුඛ ශ්‍රී ලංකා රජයේ නියෝජිත පිරිසක් හෙට මෙරටින් වොෂින්ටන් බලා පිටත්ව යති.
මේ පිරිස එහිදී ජාත්‍යන්තර මූල්‍ය අරමුද‍ෙල් කළමනාකාර අධ්‍යක්ෂ මිට්සුහීරෝ ෆොර්ෂුවා, නියෝජ්‍ය අධ්‍යක්ෂ චැංයෝන් හී, ආසියා පැසිෆික් කලාපීය අධ්‍යක්ෂ මනූයිල් ගොරෙතී සහ එහි විධායක කණ්ඩායමේ පිරිස හමුවී කතිකා කරනු ඇත.
ශ්‍රී ලංකාව නියෝජනය කරමින් මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය ආර්. එච්. එස්. සමරතුංග, මහ බැංකුවේ අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි යන මහත්වරු ප්‍රමුඛ පිරිසක් සහභාගි වෙති.