මෙම වසරේ ජනවාරි මස සිට වාහන සඳහා කාබන් බද්දක් අය කිරීමට රජය තීරණය කර ඇත. නීල හරිත ආර්ථිකය පදනම් කර ගත් රජයේ ආර්ථික වැඩපිළිවෙළ යටතේ පරිසර හිතකාමී පියවරක් ලෙස පාරිසරික අවදානම අඩු කිරීමේ තවත් පියවරක් ලෙස මෙය ක්‍රියාත්මක කෙරේ.
මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා විසින් ඉදිරිපත් කරන ලද 2018 අයවැය මගින් යෝජිත පරිදි වාහන හිමිකරුවන්ගෙන් මෙම කාබන් බද්ද ලෙස ඉතා සුළු මුදලක් අය කරනු ලබන අතර පරිසර හිතකාමී තත්ත්වය දිරි ගැන්වීම සඳහා ඉලෙක්ට්‍රොනික වාහනවලින් මෙම බද්ද අය නොකිරීමට ද රජය තීරණය කර ඇත.
ඉලෙක්ට්‍රොනික වාහනවලින් හැර අන් සියලු වාහනවල එන්ජින් ධාරිතාව මත අය කරනු ලබන මෙම කාබන් බද්ද වාහනය ලියාපදිංචි කරන මුල් වසරේ දී අය කරනු නොලැබේ. 2019 ජනවාරි මස සිට ක්‍රියාත්මක මෙම බද්ද වාහනයේ ආදායම් බලපත්‍රය අලුත් කරන අවස්ථාවේ දී අය කරනු ලැබේ.
ඒ අනුව වර්ගීකරණ තුනක් යටතේ වාහනයක එන්ජින් ධාරිතාව පදනම් කරගෙන එහි
එක් ඝන සෙන්ටමීටරයක් (cm3) සඳහා වාර්ෂිකව මෙම බද්ද පහත පරිදි කරනු ලැබේ.


වාහන වර්ගය             වසර 5ට අඩු           වසර 5 -10 අතර           වසර 10ට වැඩි
ඉලෙක්ට්‍රික්                    නැත                        නැත                              නැත
දෙමුහුන්                       ශත 25                     ශත 50                          1.00
පෙට්‍රල් සහ ඩීසල්           ශත 50                     1.00                             1.50


ඒ අනුව උදාහරණයක් ලෙස වසර පහකට අඩු


එන්ජින් ධාරිතාව 125 යතුරු පැදියක් සඳහා (125 x ශත 50) = 62.50
එන්ජින් ධාරිතාව 1000 මෝටර් රථයක් සඳහා (1000 x ශත50) = 500.00
එන්ජින් ධාරිතාව 2600 ජීප් රථයක් සඳහා (2600 x ශත50) = 1300.00
වශයෙන් වාර්ෂිකව ගෙවිය යුතු වේ.

මගී ප්‍රවාහන බස් රථ සඳහා කාබන් බද්ද වාර්ෂික ස්ථාවර ගාස්තුවක් ලෙස
පහත පරිදි අය කරනු ලැබේ.


වාහන වර්ගය                               වසර 5ට අඩු                          වසර 5 – 10ත් අතර                 වසර 10ට වැඩි
මගී ප්‍රවාහන බස් රථ                         1000/=                                      2000/=                                 3000/=