ඉන්ධන මිල තීරණය කිරීමේ මිල යාන්ත්‍රණය අනුව ඊයේ(10) මධ්‍යම රාත්‍රියේ සිට පෙට්‍රල් සහ ඩීසල් ලීටරයක මිල රුපියල් 2/= බැගින් අඩු කිරීමට රජය තීරණය කර ඇත. එහෙත් යුරෝ 4 (EURO-4) විමෝචන ප්‍රමිතිකරණය යටතේ පරිසර හිතකාමී ඉන්ධන වර්ගයක් වන සුපිරි ඩීසල් ලීටරයක මිල රුපියල් 3.00 කින් අඩු කිරීමට රජය තීරණය කර ඇත. 

ඒ අනුව අද මධ්‍යම රාත්‍රියේ සිට ඩීසල් සහ පෙට්‍රල් මිල පහත පරිදි අඩු කරනු ලැබේ.


ඉන්ධන වර්ගය                    පවත්නා මිල ලීටරයක් රු.                     සංශෝධිත මිල ලීටරයක් රු.                     ලීටරයක අඩු වූ මිල රු.
ඔක්ටේන් 92 පෙට්‍රල්                         125/=                                       123/=                                                          2/=
ඔක්ටේන් 95 පෙට්‍රල්                         149/=                                       142/=                                                          2/=
ඔටෝ ඩීසල්                                     101/=                                         99/=                                                          2/=
සුපිරි ඩීසල්                                       121/=                                       118/=                                                          3/=

ඉන්ධන මිල සෑම මසකම 10 වැනි දින සමාලෝචනය කිරීම යටතේ මෙවර ද මිල අඩු කරන ලද නමුත් ජාත්‍යන්තර වෙළෙඳපොළේ ඉන්ධන මිල වැඩිවීමේ ප්‍රවණතාවක් පවතින බව රජය අවධාරණය කරයි. සිංගප්පූරුවේ බ්‍රෙන්ට් (BRENT) වෙළෙඳපොළේ බොරතෙල් මිල සහ සිංගප්පූරුවේ ම ෆ්ලැට්ස් (PLATTS) වෙළෙඳපොළේ නිමි පෙට්‍රල් සඳහා වන මිල පසුගිය සති දෙකක කාලයක් තිස්සේ අඛණ්ඩව වැඩි වෙමින් පවතී.
තෙල් මිල අවසන් වරට වැඩි කළ පසුගිය වසරේ ඔක්තෝබර් 10 වැනි දින තෙක් ඉන්ධන මිල අඛණ්ඩව වැඩි වූ අතර ඔක්තෝබර් මස 10 වන විට බොරතෙල් බැරලයක මිල ඇ.ඩො. 85ක් ලෙස සඳහන් විය. එය ඔක්තෝබර් 26 වැනි දා වන විට ඇ.ඩො. 58 දක්වා අඩු වූ අතර අවසන් වරට මිල අඩු කළ දෙසැම්බර් 21 වන විට බොරතෙල් බැරලයක මිල ඇ.ඩො. 52 දක්වා අඩු වී තිබිණි.
කෙසේ වෙතත් 2019 ජනවාරි මස දෙවැනි සතියේ සිට බොරතෙල් මිල අඛණ්ඩව වැඩිවෙමින් පවතින අතර අද වන විට (ජනවාරි 10) බොරතෙල් බැරලයක මිල ඇ.ඩො. 59 ඉක්මවා ගොස් ඇත.